කෝ මේ චන්ඩි?

2059

පෝට් සිටිය නමැති චීන දූපතේ දේශසීමාවේ පිහිටි ගෝඨාගෝගම නමැති ග්‍රාමසේවක වසමට කඩා වැදී එහි වැසියන්ට පොලුවලින් තඩි බා, අත පය කැඩූ, ඔළු පැලූ පාදඩයන් රැළ හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය පතන බව පොලිසිය නිවේදනය කර තිබේ. පාදඩ ප්‍රහාරය එල්ල වන්නේ මේ මස 9 වන දාය. එය සම්පූර්ණයෙන්ම සංවිධානාත්මක ප්‍රහාරයකි. ප්‍රහාරක පාදඩයන් අතේ තිබූ ඇණ ඔබ්බවන ලද පොලු සියල්ලම දිගින් හා ඝනකමින් එක සමානය. එබැවින් එක්කෝ මේ සියල්ල ගෙනෙන ලද්දේ එකම වඩු මඩුවකිනි. නොඑසේ නම් ප්‍රහාරය සංවිධානය කළ නායක පාදඩයන් 9 වැනිදා අරලියගහ මන්දිරයේ පැවති මහින්දට යන්න එපා කියන රැස්වීමට එන විට එක සමාන පොලු ගෙනෙන ලෙස ගෝල පාදඩයන් ට කල් තියා දන්වා තිබිණ. අරලියගහ මන්දිරය තුළ සාමාන්‍යයෙන් පොලු ිඑදජන කරනු නොලැබේ. එබැවින් මෙම පොලු පාදඩයන් විසින් ගෙදරින් එන විට ගෙනෙනු ලැබූ ඒවාය. මහින්ද රාජපක්ෂට අගමැතිකමින් ඉවත් නොවන ලෙස බල කිරීම සඳහා අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමට ඔවුන් පැමිණියේ ගෝඨා ගෝ ගමේ වැසියන්ට පහරදීම සැලසුම්
 කරගෙනය. මේ පාදඩ රැළ අරලියගහ මන්දිරයේ සිට ගෝල්ෆේස් පිට්ටනියට පැමිණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසටත් ගුටි දී අරගල කරුවන්ට පහරදෙන විට පොලිසිය ගල් බිල්ලන් සේ බලා සිටියා මිස එම පහරදීම නැවැත්වීම සඳහා හෝ අරගලය බේරීම සඳහා සාධනීය උත්සාහයක නිරත වූයේ නැත. පොලිසිය වැඩියෙන්ම උනන්දු වුණේ අහක යන පොලු පහරවල් තමන්ට වැදීම වළක්වා ගැනීමටය. ඒ ගැන පොලිසියට අපි නොබනිමු. එය පෘථග්ජන ගතියයි.

ගෝල්ෆේස් සිද්ධියේ දාමරික පාදඩයන් හඳුනාගැනීමේ හැකියාව වැඩිපුරම ඇත්තේ පොලිසියටය. මේ නින්දනීය සිද්ධිය පටන් ගන්නා තැන සිට අවසානය දක්වාම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මැදිහත්වීමක් තිබූ බව පෙනේ. දාමරිකයන් වැළැක්වීම සඳහා ඔහු කිසිදු උත්සාහයක් ගෙන නැත. එහෙත් එම ප්‍රහාරයෙන් අරගලකරුවන් බේරා ගන්නා බවට ඔහු පොරොන්දු වන ආකාරය පිළිබඳ වීඩියෝ සාක්ෂි අන්තර්ජාලයේ ඇත. ඒත් ඒ පොරොන්දුවෙන් වැඩක් වූයේ නැත. පළමුවැනි පොලු පහරින්ම පොරොන්දුව කැඩුනේය. දේශබන්දු තෙන්නකෝන් යනු මීළඟ පොලිස්පති වීමට සුදුසුකම් ලබා සිටි අනගි පුරුෂයෙකි. එහෙත් දැන් ඉතින් උසස් තනතුරු සඳහා ඔහුට අයිතියක් තිබේද යන සැකය මතුවේ. මැයි 9 වැනිදා ගෝල්ෆේස් සිද්ධියත් සමගම ශ්‍රී ලංකාවේ පාදඩ සංස්කෘතිය ක්ෂණයකින් ඉහළට මතුවිය. එය පොහොට්ටුවට විරුද්ධව පොහොට්ටුවේම අය විසින් සහ පොහොට්ටුවේ නොවන අය විසින් ක්ෂණිකව සංවිධානය කෙරුණු අවලම් ප්‍රහාරයකි. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් විශාල ගණනකගේ ගෙවල් ගිනි තැබීම, දේපළවලට පහර දීම, වාහන ගිනි තැබීම, මීට අවුරුදු 20 කට පෙර මහින්ද රාජපක්ෂට වැඩ කළ අයට පවා පහර දීම යනාදිය එම ප්‍රහාරයේ ලක්ෂණ විය. ඇමැතිවරුන් ගේ දේපළවලට පහර දීමේ දී වැඩිම පාඩුව සිදුවුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දුටය. එයට හේතුව ඔහුට වැඩිම දේපළක් තිබීමය. සෙසු අය ගුටි කෑවේ තමන්ට හිමි දේපළවල ප්‍රමාණයට අනුවය. මේ සියලු කටයුතු මගින් පෙනී යන්නේ මේ රටේ ජනයා පොහොට්ටු ආණ්ඩුව කෙරෙහි දැඩි වෛරයකින් පසුවෙමින් සිටි බවය. ඒ අතර එක් පොහොට්ටු මන්ත්‍රීවරයකුගේ නිවස ගෙවල් ගිනි තබන්නන්ගෙන් බේරාදීමට ගැමියෝ ඉදිරිපත් වූහ.

පහරදීම් සඳහා බැහැපු සෙට් එක අලුත්ම පිරිසකි. මාල දමාගෙන, පච්ච කොටාගෙන, ඩෙනිම් කලිසම් ඇඳ සිටි ඔවුහු ප්‍රවාහනය සඳහා ටේ්‍රලර් බයික් යොදා ගත්හ. මේ හැම ප්‍රහාරයකම CCTV දර්ශන තිබේ. මේ හැම ප්‍රහාරයක් සම්බන්ධයෙන්ම එකා දෙන්නා බැගින් අත්අඩංගුවට ද ගනු ලැබේ. පොහොට්ටුවේ මන්ත්‍රී කෝකිලා ගුණවර්ධනගේ ගේ ගිනි තැබීම මෙහෙයවන ලද්දේ ගිරිඋල්ලගම භික්ෂුවක් බවට සාක්ෂි ඇත. උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇත. මහාචාර්ය චන්න ජයසුමනගේ ගේ ගිනි තබන අවස්ථාවේදී එතැන රැඳී සිටි කතෝලික පූජකවරයකුගේ CCTV දර්ශන ඇති නමුත් එතුමා තවමත් අත්අඩංගුවට ගෙන නැත. නිට්ටඹුවේදී අමරකීර්ති අතුකෝරල නමැති මන්ත්‍රීවරයා ඇතුළු දෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මේ දෙදෙනා තවත් 40 කගේ පමණ නම් ගම් වමාරනවා ඇති. මේ රටේ පොලිසියට කරන්නට බැරි දෙයක් නැති බව අපි දනිමු. ඔවුන්ට කරන්නට බැරිවූ හෙවත් ඔවුන් නොකළ එකම දේ ගෝල්ෆේස් ගුටි කෙලිය නොනැවැත්වීම පමණි.

පක්ෂය මොකක් වේවා ජාතිය සහ ආගම මොකක් වේවා මැයි 9 දා ගිනි පූජාවට එක්වූ සියලුම දෙනා අත්අඩංගුවට ගෙන සත්කාර සම්මාන ආදිය කර නීතිය ඉදිරියට පැමිණවීම පොලිසියේ වගකීමය. ගෝල්ෆේස් ප්‍රහාරය යන වෙලාවේදී දේශබන්දු තෙන්නකෝන් සහ පොහොට්ටු මන්ත්‍රී සනත් නිශාන්ත එක ළඟ සිටිමින් කතා කරනු වීඩියෝ මගින් අපි දුටුවෙමු. කුණු දේශපාලනඥයන්ට සර් යනුවෙන් ආමන්ත්‍රණය කිරීමෙන් වළකින්නැයි අපි පොලිසියෙන් ඉල්ලමු. මේ තිබෙන තත්ත්වය අනුව සර් යනුවෙන් ආමන්ත්‍රණය කළ යුත්තේ ගුරුවරයකුට පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment