කෞෂල්‍යාගේ මරණය ගැන සාක්‍ෂි දෙන්න පුහුණුකරු සහ ක්‍රීඩිකාවක් මරණ පරීක්‍ෂක උසාවියට

1067

සිය නිවසේදී දිවි නසාගත් කඩුළු පැන දිවිමේ ජාතික ශූරියක වූ කෞෂල්‍යා මධුෂානි ක්‍රීඩිකාවගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර සාක්‍ෂි දීම සඳහා ඇයගේ ජාතික තලයේ පුහුණුකරුට සහ සහෝදර ක්‍රීඩිකාවකට ලබන 30 වැනිදා සෙනසුරාදා කුලියාපිටිය රෝහලේ මරණ පරීක්‍ෂක උසාවියේ පෙනීසිටින ලෙසට කුලියාපිටිය රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක නන්දන පී. හෙට්ටිගමගේ මහතා විසින් නියෝග කර තිබේ.

මේ වනවිට මෙම මරණය සම්බන්ධයෙන් දිවිනසා ගත් ක්‍රිඩිකාවගේ මව, වැඩිමහල් සොයුරියක සහ ඇයගේ ස්වාමිපුරුෂයා, හදිසි මරණ පරීක්‍ෂක හෙට්ටිගමගේ මහතා ඉදිරියේ සාක්‍ෂි ලබා දී තිබේ.

කෞෂල්‍යා මධුෂානි ක්‍රීඩිකාවගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්‍ෂණය කුලියාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී. කේ. විජේවර්ධන මහතා විසින් සිදු කරනු ලැබූ අතර ඒ අනුව මෙම මරණය ගෙල සිරකර ගැනීමෙන් සිදු කරගත් මරණයක් බවත් එය සිය දිවි නසාගැනීමක් බවත් තීරණය කළේය.

ක්‍රිඩිකාව දිවි නසා ගැනීමට පෙර ලියා තබන ලද ලිපියක්ද ඇයගේ මව හදිසි මරණ පරික්‍ෂකවරයා වෙත ඉදිරිපත් කළාය.

මෙය මා විසින් සිදුකරගත් දෙයක් නිසා කිසිවකුත් මෙයට වගකිවයුතු නැහැ. මේ ගැන වැඩිදුර සොයන්න එපා යනුවෙන් එම ලිපියේ සඳහන්ව ඇත.

මේ පිළිබඳව දුම්මලසූරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන් සුරවීර මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක පුන්සිරි මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් චමින්ද (49128) වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment