ක‍්‍රීඩාවේ ජාත්‍යන්තර ජයග‍්‍රහණ කරා යාමට අවශ්‍ය මාවත විවර කර දෙනවා – ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ

102

ක‍්‍රීඩාවේ ජාත්‍යන්තර ජයග‍්‍රහණ කරා යාමට අවශ්‍ය මාවත නිර්මාණය කිරීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය ප‍්‍රමුඛ ආයතන සූදානම් යැයි තරුණ හා ක‍්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය හා ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

 පසුගියදා පැවති ලෝක ශූරතා රෝද පුටු ටෙනිස් තරගාවලියේ දී 06 ස්ථානයට පැමිණි ශ‍්‍රී ලාංකේය ක‍්‍රීඩකයන් අගයමින් තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

 පසුගිය සැප්තැම්බර් මස 27 සිට ඔක්තෝම්බර් 03 දක්වා රටවල් 16ක සහභාගීත්වයෙන් ඉතාලියේ සාඩිනියා නගරයේ පැවති ලෝක ශූරතා රෝද පුටු ටෙනිස් තරගාවලියේ දී 06 වන ස්ථානය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා රෝද පුටු ටෙනිස් කණ්ඩායම සමත් විය.

 පවතින වසංගත තත්ත්වය හමුවේ වුවද ජගත් වැලිකල මහතාගේ පුහුණුකිරීම් හා මග පෙන්වීම යටතේ සුරේෂ් ධර්මසේන, ලසන්ත රත්නවීර, ඞී.එම්. ගාමිණි යන ක‍්‍රීඩකයන් තිදෙනා මෙම තරගාවලියදී ශ‍්‍රී ලංකාව ලෝක ශේණිගත කිරීම්වල 06 වන ස්ථානය දක්වා ඔසවා තැබීය.

 එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

 ඉතිහාසයේ පළමු වතාවට අපේ රෝද පුටු ටෙනිස් කණ්ඩායමට ලෝකයේ 06 වන ස්ථානය ලබාගත හැකි වී තිබෙනවා. මෙතෙක් අපි බලාපොරොත්තු වූ ඉලක්කයන් සියල්ල අභිබවා යන්න මේ තරුණ ක‍්‍රීඩකයින්ට හැකියාව ලැබිලා තිබෙනවා. අනෙකුත් ක‍්‍රීඩාවල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ටත් තම ක‍්‍රීඩා සැලැස්ම පිළිබදව හා තමන්ට මුහුණ දෙන්න තිබෙන අභියෝග පිළිබඳව ඉතාමත් අනාගතවාදීව සහ බලාපොරොත්තු සහගතව බලන්න පුළුවන් පිළිතුරක් මේ ක‍්‍රීඩකයන් ඔබට ලබා දී තිබෙනවා.

 අමාත්‍යාංශයක් විදියට අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නෙ ජාත්‍යන්තරය ජයගන්න පුළුවන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බිහි කරන්න. දකුණු ආසියාවේ වේගවත්ම ක‍්‍රීඩකයා ශ‍්‍රී ලංකාවෙන් බිහිවුණා. උස පැනීමේන් දකුණු ආසියානු වාර්තාවක් තබන්න හැකිවෙලා තිබෙනවා. කාන්තා මේස පන්දු ක‍්‍රීඩිකාවන් 12 වෙනි ස්ථානය දිනාගෙන තිබෙනවා. වොලිබෝල් ක‍්‍රීඩාවෙන් ද ලෝකශ්‍රේණිගත කිරීම්වල 50 වෙනි තැන රැුඳෙන්න අපිට හැකියාව ලැබුණා.

 ක‍්‍රීඩාවේ ජාතික ජයග‍්‍රහණ තුළින් ඔබ්බට ගොස් ජාත්‍යන්තර ජයග‍්‍රහණ පිළිබඳව බලාපොරොත්තුවක් ඇති කරගන්න වගේම ජාත්‍යන්තර ජයග‍්‍රහණ ලබන්නත් අපිට හැකියාව ලැබුණා. ජාත්‍යන්තර ජයග‍්‍රහණ කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළ යුතුයි කියන කාරණය පිළිබඳ අපි අමාත්‍යාංශයක් විදියට විශ්වාස කරනවා. එහි ප‍්‍රතිඵල අපිට දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම අද මම රෝද පුටු ටෙනිස් කණ්ඩායමට සුබ පතනවා. ඔවුන් විශාල කැපකිරීමක් කළා පහුගිය කාලය පුරාවටම. අපි ඒක දැක්කා. ජාතික ක‍්‍රීඩා සභාව ඒ සඳහා සහයෝගය ලබා දුන්නා. ජාත්‍යන්තර ජයග‍්‍රහණ කරා යන්න ඔබ සැමට අවශ්‍ය මාවත නිර්මාණය කරන්න ක‍්‍රීඩා අමාත්‍යාංශය ප‍්‍රමුඛ ආයතන සියල්ල නිරන්තරයෙන් සූදානමින් සිටිනවා.

advertistmentadvertistment
advertistmentadvertistment