ක‍්‍රීඩාව තුළත් ක‍්‍රීඩාවෙන් පිටතදීත් විනය ආරක්ෂා කරගෙන කටයුතු කිරීම වැදගත් – ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ

390

විනය කියන කාරණය ක‍්‍රීඩාව තුළත් ක‍්‍රීඩාවෙන් පිටතදීත් ආරක්ෂා කරගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත් කියන කාරණය තමන් දැඩි ලෙස විශ්වාස කරන බව තරුණ හා ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැරාලිම්පික් තරගාවලියේදී පදක්කම් දිනූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හට මුදල් තිළිණ පිරිනැමීමේ අවස්ථාවට එක් වෙමින් පැවසීය.

තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යාංශයේදී පෙරේදා පැවැති එම උත්සවයේදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

2032 වර්ෂය දක්වා ඉලක්ක සහගතව නොයෙක් තරග කාණ්ඩයන් තුළ ජාත්‍යන්තර ජයග‍්‍රහණ ස`දහා අපේ රටේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැුගෙන යෑමට ජාතික ක‍්‍රීඩා සභාව හරහා අපි වැඩපිළිවෙළක් හදලා තිබෙනවා. අපි ඉතිහාසයේ දැක්කේ තරගාවලියක් ලංවෙන විටයි ක‍්‍රීඩකයන් මතක් වෙන්නේ. ක‍්‍රීඩකයාටත් තරගාවලිය මතක් වෙන්නේ. ඒ තත්ත්වය වෙනස් කර වසර කීපයක ඉලක්කයක් ඇතිව ජයග‍්‍රහණවලට යන්න සූදානම් විය යුතුයි.

පැරාලිම්පික් සංගමයේ සාර්ථකත්වය තිබෙන්නෙත්, අද රන් පදක්කමකින්, ලෝකඩ පදක්කමකින් අපට ජයග‍්‍රහණවලට යන්න හැකියාව ලැබුණෙත් වසර තුන හතරක් පුරා ඉලක්කයක් අරගෙන ඒ ඉලක්කයට ගමන් කළ නිසායි.

පැරාලිම්පික් තරගාවලියට සහභාගි වූ ක‍්‍රීඩකයන් 09 දෙනාගෙන් 08 දෙනකුටම ලෝකයේ පළමු 16 දෙනා අතරට එන්න හැකියාව ලැබුණා. ඒ ඉලක්කයක් සහිතව කටයුතු කළ නිසයි. ජාතික ක‍්‍රීඩා සභාව විසින් අනෙක් හැම ක‍්‍රීඩාවකටම ඉලක්කයක් ලබාදී 2032 වර්ෂය දක්වා යන්න සූදානම් වෙනවා. එහිදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ පුහුණුවීම වගේම ඔවුන්ට ක‍්‍රීඩාව තුළ ඉදිරියට යෑමට අවශ්‍ය පහසුකම් සලසන්නත් අපි අමාත්‍යාංශයක් විදියට කටයුතු කරනවා.

එහිදී විනය කියන කාරණය ක‍්‍රීඩාව තුළත්, ක‍්‍රීඩාවෙන් පිටතදීත් ආරක්ෂා කරගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත් කියන කාරණය මමත්, අපේ අමාත්‍යාංශයත් දැඩි ලෙස විස්වාශ කරනවා. අපි දකිනවා සමහර අවස්ථාවල ක‍්‍රීඩකයන් ජයග‍්‍රහණය නොලැබුවත් තමන්ගේ දක්ෂතාවය තුළ ක‍්‍රීඩාවේ ජයග‍්‍රහණය කරා යනවාට වඩා දක්ෂව තමන්ට ප‍්‍රයෝජනය ගන්නා අවස්ථාවන් තිබෙනවා. එවැනි අවස්ථාවන්වල අපි බොහෝ වෙලාවට දකින්නේ සමස්ත ක‍්‍රීඩකයා දිහාම සමාජය වපර ඇහෙන් බලන්න පුරුදු වෙලා ඉන්නවා කියන දේ.

මම පෞද්ගලිකව කැමති නැහැ තරගාවලිය ස`දහා පිටත්ව යෑමේදී තරග සංචාරය කියලා කියනවාට. සමහර විට අපේ අය යන්නේ ම සංචාරවලට. තරගයට නෙවෙයි. එහෙම වුණාම යන තරගය අමතක වෙනවා. සංචාරය ගැන තමයි මතක තියෙන්නේ.

පාසල් ක‍්‍රීඩාවලිනුත් මම ඉල්ලීමක් කරන්න හදන්නේ ජාත්‍යන්තර තරගාවලියකට සම්බන්ධ වෙනවා නම් ක‍්‍රීඩා සංචාරය කියන වචනය අයින් කර තරගාවලියකට සම්බන්ධ වෙනවා කියන වචනය භාවිතා කරන්න කියන කාරණය.

එසේ නොවුනහොත් සිදු වන්නේ රටෙන් එළියට යන්නේම සංචාරයකට. ඊට පස්සේ සමහරු ආපසු එන්නෙත් නැහැ. පසුගිය කාලේ එහෙම ප‍්‍රශ්නයකුත් ඇති වී තිබෙනවා. අවසානේ අපකීර්තියට පත් වෙන්නේ අමාත්‍යවරයා හා අමාත්‍යාංශය පමණක් නොවෙයි. සමස්ත රටම. ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික ක‍්‍රීඩා සභාව මේ හැම තරගාවලියක් හා සියලූම ක‍්‍රීඩකයන් සම්බන්ධව සොයා බලනවා. එහිදී අපි නිර්දේශ ලබා දෙනවා. අපි නිර්දේශ ඉදිරිපත් කළාම මාධ්‍ය හා සමාජය ඒ දෙස වපර ඇහෙන් බලන අවස්ථා තිබෙනවා. පසුගිය කාලේ එහෙම සිදු වුණා. මාධ්‍ය මගින් වාර්තා කර තිබුණේ ඇයි මේ අයට යන්න දෙන්නේ නැත්තේ කියලා. අපි යන්න දුන්නා. ආවේ නැහැ. එක පැත්තකින් අපි ජයග‍්‍රහණ කරා යා යුතුයි. ජයග‍්‍රහණ කරා යනවා වගේම අපේ රටේ ගෞරවය ආරක්ෂා වෙන විදියට කටයුතු කිරීම පිළිබඳ අපි සියලූ දෙනාටම විශේෂ වගකීමක් තිබෙනවා..

ක‍්‍රීඩකයෙක්, ක‍්‍රීඩිකාවක්, පරිපාලකයෙක්, සංගමයක් කරන ක‍්‍රියාකාරකම් නිසා අපේ රටේ සමස්ත ක‍්‍රීඩා පද්ධතියම දිහා වපරැුහෙන් බලන එක සාධාරණ නැහැ. අපි අමාත්‍යාංශයක් විදියට ක‍්‍රීඩකයාගේ සහ පුහුණුකරුගේ අභිවෘද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී වැඩකටයුතු සිදු කරනවා. ඒ ගමන යනකොට දක්ෂතාවය පදනම් කරගෙන දිරිගැන්වීම්වලට ක‍්‍රීඩකයා ක‍්‍රීඩිකාව යොමු කරවීම, පුහුණුකරුවන් යොමු කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

ලබන වසර ඉතාමත් තීරණාත්මක වසරක්. ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට වැදගත් වසරක්. ආසියානු ක‍්‍රීඩා උළෙල, පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල එනවා. ක‍්‍රිකට් ලෝක ශූරතාවලි තිබෙනවා. මේ වසර කීපය තුළ ඉතාමත් වැදගත් තරගාවලි බොහොමයකට සහභාගි වී කෙටිකාලීන ජයග‍්‍රහණ කරා යන්නත්, 2024 න් ඔබ්බට මධ්‍යකාලීනවත්, 2032 න් එහාට දිගුකාලීන ජයග‍්‍රහණවලට යන්නත් අවශ්‍ය සැලසුම් අපි ක‍්‍රියාත්මක කරනවා. පැරාලිම්පික් තරගාවලිය නියෝජනය කරමින් රන් පදක්කම හා ලෝකඩ පදක්කම ජයග‍්‍රහණය කරපු ඔබ දෙපොළ ඇතුළු සියලූම දෙනාට, ඉතාමත් අභිමානයෙන් කටයුතු කළ හැකි පිරිසක්.

ලබන වසරේ විදේශ පුහුණුවීම් ස`දහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

පසුගියදා කෙන්යාව සමග සාකච්ඡුා කළා දුර ධාවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පුහුණු කිරීම ස`දහා යොමු කිරීමට. අනෙකුත් ක‍්‍රීඩාවන්වල පුහුණු කටයුතු පිළිබඳවත් රටවල් ගණනාවක් සමග සාකච්ඡුා කර තිබෙනවා.

මෙම අවස්ථාවට තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ග‍්‍රාමීය හා පාසල් ක‍්‍රීඩා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර සමරවික‍්‍රම, ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික ක‍්‍රීඩා සභාවේ සාමාජික සංජීව වික‍්‍රමනායක, ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති ලූතිනන් කර්නල් එල්.ආර්.ටී.ඞී. හේරත් (විශ‍්‍රාමික) යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment