ඛනිජ තෙල් දුම්රියෙන් බෙදාහැරීම 60% කින් වැඩි කිරීමට පියවර

174

ඛනිජ තෙල් සංස්ථාව විසින් දිවයින පුරා සිදු කරන තෙල් බෙදාහැරීම සඳහා දුම්රිය භාවිතය වැඩිකිරීමට තීරණය කර ඇත. ඒ අනුව දැනට 38% ක් වන දුම්රිය මඟින් ඛනිජ තෙල් ප‍්‍රවාහනය කිරීමේ කටයුතු 60% දක්වා වැඩි කිරීමට පියවර ගනු ලැබේ. බවුසර් මගින් මහාමාර්ග හරහා සිදු කෙරෙන තෙල් ප‍්‍රවාහනයෙන් මාර්ගවල තදබදයත්, පරිසර දූෂණය හා රිය අනතුරුත් වැළැක්විය හැකි යැයි ප‍්‍රවාහන අමාත්‍යාංශය හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

 මේ කටයුතු ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡුාවක් ප‍්‍රවාහන අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (29 දා) පෙරවරුවේ බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණ.

 මෙම සාකච්ඡුාවේදී ගනු ලැබූ තීරණ අනුව දැනට දුම්රිය දෙපාර්තමේන්තුව සතු ටැංකි සහිත ගැල් අලූත්වැඩියා කිරීම, නව ටැංකි සහිත ගැල් මිලදී ගැනීම ඇතුළු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සිදුකරනු ඇත.

 මෙහිදී හෙළිවුණු කරුණු අනුව අවම වශයෙන් එක් දුම්රිය එන්ජිමක් මගින් ලීටර 50,000 ටැංකි 14 ක් තෙල් ප‍්‍රවාහනයට යොදා ගැනෙන බවත්, ඒ තුළින් ලීටර් ලක්ෂ 7 ක් එකවරකට ප‍්‍රවාහනය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවය.

 මෙහිදී ප‍්‍රවාහන ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කළේ දැනට දුම්රිය, සේවාවක් ලෙස මගී ප‍්‍රවාහනය සඳහා වැඩි අවධානයක් යොමුකර ඇති බවත්, රජයේ ඉලක්කය වී ඇත්තේ භාණ්ඩ ප‍්‍රවාහනය වැඩි දියුණු කිරීම තුළින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම් ඉහළ නැංවීම බවය. ඒ අනුව දැනට සිදු කෙරෙන 1% ක් වන දුම්රිය භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමේ කටයුතු 5% දක්වා වැඩි කිරීමට සැලසුම් කිරීමට හැකි බවත් පැවසුවාය.

 මෙම අවස්ථාවට ප‍්‍රවාහන අමාත්‍යංශ ලේකම් මොන්ටි රණතුංග, බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ. ඞී. රෝස්මරි ඔල්ගා, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment