ඛනිජ තෙල් පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනියි

180

ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් අනුමත කළ යුතුයි
ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක පාර්ලිමේන්තුවට දන්වයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලද ඛණිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන (සංශෝධන) නමැති පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියට පටහැනි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඊට අමතරව තවත් වගන්ති කිහිපයක් ද ව්‍යවස්ථාවට පටහැනි අතර ඒවා සංශෝධනය කිරීමෙන් හෝ විශේෂ පාර්ලිමේන්තු බහුතර බලයකින් සම්මත කළ හැකි අතර ඇතැම් ඒවා ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරනු ලැබිය යුතු යැයි ද හෙතෙම නිවේදනය කළේය.

මෙරට තුළ ඉන්ධන විකිණීමට අදාළව විදෙස් සමාගම්වලට ඉඩ ලබා දීම සඳහා ඛනිජ තෙල් ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තු කටයුතු ඊයේ දින ආරම්භයේදී නිවේදන යටතේ කථානායක ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථනිරූපණය පිළිබඳ දැනුම් දෙමින් එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙසේ සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ 121(1) වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලද “ඛණිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන)” පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

පනත් කෙටුම්පතේ විධිවිධාන පිළිබඳ සමස්ත සලකා බැලීමක් මත, ශ්‍රේෂ්ඨාධිකරණය පහත තීරණය ගෙන ඇත.

පනත් කෙටුම්පතේ 3(2) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට නොගැළපෙන අතර එය සම්මත කළ හැක්කේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයේ විධිවිධාන යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණි.

එහෙත් පහත සඳහන් දෑ ඇතුළත් වන පරිදි කමිටුවේ සංයුතිය වෙනස් කළහොත් නොගැළපීම නතර වනු ඇත.

  1. ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධන විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්.
  2. ආයෝජන ප්‍රවර්ධන විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්.

පනත් කෙටුම්පතේ 7 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 (ඇ) වගන්තිවලට නොගැළපෙන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයේ විධිවිධාන යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කළ හැකි අතර ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරනු ලැබේ.

සමස්තයක් ලෙස පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියට පටහැනිය.

එහෙත්, පනත් කෙටුම්පතට පහත වගන්තිය එකතු කළහොත් මෙම නොගැළපීම නතර වනු ඇත.

‘අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව අල්ලස් පනතේ අර්ථය තුළ උපලේඛනගත ආයතනයක් ලෙස සැලකිය යුතු අතර, එම පනතේ විධිවිධාන ඒ අනුව අර්ථ දැක්විය යුතුය.’

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment