ඛනිජ වැලි යන්ත්‍රාගාරයට ගත් කෝටි 3 ක වත්කම් පැත්තක විගණනයෙන් හෙළි වෙයි

122

ඛනිජ වැලි සමාගම විසින් කෝකිලායි ඛනිජ වැලි ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් තුන්කෝටි, අනූතුන් ලක්ෂ තිස්නම දහස් හාරසිය හැත්තෑතුනක් වටිනා (39,339,473) වත්කම් යන්ත්‍රාගාරය සඳහා මිලදී ගෙන තිබූ අතර එම වත්කම් සියල්ල දැනට වසර 09ක පමණ කාලයක සිට කිසිදු ප්‍රයෝජනයක් නොගෙන නිශ්කාර්යව පවතින බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙකී ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2.25 මිලකට මිලදී ගත් ඉඩම නිසි පරිදි පවරාගෙන නව යන්ත්‍රාගාරයක් ඉදිකිරීමටත් පෙර 2013 වර්ෂයේ අගෝස්තු මස යන්ත්‍රාගාරය සඳහා මෙකී වත්කම් මිලදී ගෙන තිබිණි.

මිලදී ගෙන තිබූ වත්කම් සියල්ල පුල්මුඩේ යන්ත්‍රාගාරයේ වෙනත් ස්ථානවල ස්ථාපිත කොට නිශ්කාර්යව පැවතුණි. මෙකී ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර 2015 වර්ෂයේදී සේවකයින් 117 දෙනකු බඳවාගෙන තිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

මෙකී ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අරමුණ වූයේ ඛනිජ වැලි ලබා ගැනීම, එහි නිෂ්පාදනය වැඩිකිරීම, නිෂ්පාදනයට එකතු කළ අගයක් ලබාදීමයි. මෙහි ඉදිකිරීම් සඳහා ක්‍රියාකාරී සැලැස්මේ රුපියල් මිලියන 1000 ක මුදලක් වෙන්කර තිබිණි. එහෙත් 2022 වර්ෂයේ ජුලි මස අවසන් වනවිටත් ව්‍යාපෘති යෝජනාව සකස් කර අවසන් කර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර නොතිබිණි. ව්‍යාපෘති යෝජනාව සකස් කර නොමැති වුව ද ව්‍යාපෘතිය වෙනුවෙන් ඉකුත් වර්ෂය (2022) අවසන් වනවිට එක්කෝටි, හැත්තෑහත්ලක්ෂ, හැටහත්දහස්, පන්සිය හතරක වියදමක් දරා තිබිණි.

2022 වර්ෂයේදී ව්‍යාපෘති යෝජනාව සකස් කිරීම සඳහා භාරදුන්න ද, අදාළ කාල පරිච්ඡේදය තුළ වාර්තාව නොලැබුණු බව සමාගමේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කර ඇත. යෝජිත යන්ත්‍රාගාරයට වෙන් කරනු ලැබූ ඉඩමෙන් කොටසක් වර්ෂා කාලයේදී ජලයෙන් යටවන නිසා කනිනු ලබන වැලි ගබඩා කිරීම සඳහා යෝජිත එම ඉඩමේ පස් පිරවීමේ ව්‍යාපෘති යෝජනාව සකස් කිරීමට පෙර සිටම සිදුකරන බව කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment