ගංජා ඇදලා නිධනුත් හාරපු මොනරාගල එස්.එස්.පී

825

සැකකරුවන් අතර සැරයන්වරයෙක් හා පොලිස් රියැදුරෙක්…
ගංජා සඟවා තබා ගත්තේ නිල නිවසේ…
මහින්ද පාලන සමයේ ප්‍රබල ඇමැතිවරයෙකුගේ පෞද්ගලික ආරක්ෂකයකු ලෙසත් ඉඳලා….
හොඳම මිතුරන් ගංජා ජාවාරම්කරුවන්…

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාට දැනට මාස කිහිපයකට පමණ ඉහතදී වැදගත් තොරතුරක් ලැබුණි. ඒ මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර ඇතුළු පිරිසක් ප්‍රදේශයේ නිධන් හෑරීමේ සහ ගංජා අලෙවි කිරීමේ ජාවාරමක ට සම්බන්ධ වී ඇති බවටයි. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ නිලධාරීන් පිරිසක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කළහ. ඒ දැනට මාසයකට පමණ ඉහතදීය.

එම විමර්ශන සිදුකරන විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට පසුගිය දිනක වැදගත් තොරතුරක් සොයාගන්නට හැකි විය. ඒ නිධානයක් ගොඩ ගැනීමට පිරිසක් සූදානමින් සිටින බවත් ඔවුන් සතුව භූගත පාෂාණ හඳුනා ගැනීමේ යන්ත්‍රයක් පවතින බවත්ය. ඒ අනුව එම නිලධාරීහු පසුගිය 8 වැනිදා ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ලුහු බඳිමින් සිටියහ. ඒ එම ජීප් රථය තුළ භූගත පාෂාණ හඳුනා ගැනීමේ යන්ත්‍රයක් පවතින බවට ලද තොරතුරක් මතයි. එම ප්‍රාඩෝ වර්ගයේ ජීප්රථය කෙළින්ම ගියේ මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාරගේ නිල නිවසටයි. එහි පැමිණි පිරිස පැයකට පමණ ආසන්න කාලයක් එම නිල නිවසේ රැඳී සිටියහ.

යළි එම ජීප් රථය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවසින් පිටවූ පසු විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු තණමල්විල ප්‍රදේශයේදී එම ජීප් රථය නතර කොට පරීක්ෂා කිරීමට සූදානම් වූහ.

එහිදී දෙපිරිස අතර මෙලෙස කතාබහක්ද ඇති විය.

“අපිට මේ වාහනය පරීක්ෂා කරන්න ඕනා.”

“ඇයි මේ එකපාරටම.”

“අපිට තොරතුරක් ලැබිලා තියෙනවා.”

“ඕගොල්ලෝ දන්නවාද මේ ඉන්නේ කවුද කියලා.”

“අපිට වැඩක් නෑ කවුරු හිටියත්. වාහනය පරීක්ෂා කරන්න ඉඩ දෙන්න.”

“මේ ඉන්නේ මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර මහතා.”

ඒ සමඟම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාද මෙලෙස පැවසුවේය.

“ඕගොල්ලෝ දන්නවද මම මොනරාගල එස්. එස්. පී. ඇයි මගේ වාහනය චෙක් කරන්නේ. මේ ඉන්නේ මම දන්න කට්ටියක්.”

“අපිට තොරතුරක් ලැබිලා තියෙනවා. ඒක නිසා සර් වාහනය පරීක්ෂා කරන්න වෙනවා.”

“මොනවද මේ කරන්න හදන්නේ. උසස් නිලධාරියෙකුට සලකන්න වත් දන්නෙ නැද්ද?. මම මේ ගැන ඉහළට වාර්තා කරනවා.”

“දැන් එක පාරක් කිව්වනේ සර්. අපිට වාහනය පරීක්ෂා කරන්න වෙනවා. ඒක ඉහළින් ආපු නියෝගයක්.”

මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා තම බලතල උපරිම අයුරින් භාවිත කරමින් වාහනය පරීක්ෂා කිරීම වළක්වා ගැනීමට ප්‍රබල උත්සාහයක් ගත්තේය. එහෙත් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හමුවේ එය අසාර්ථක විය. අවසානයේ එම නිලධාරීහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැමිණි ජීප් රථය පරීක්ෂා කිරීමට පටන් ගත්හ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු පිරිස ජීප් රථයෙන් බස්සවා එය දැඩි පරීක්ෂාවකට ලක් කළේ භූගත පාෂාණ හඳුනා ගැනීමේ යන්ත්‍රය සොයා ගැනීමටයි. එහෙත් එවැනි යන්ත්‍රයක් එම ජීප් රථයේ තිබී නොමැති හෙයින් එහි සිටි සිවිල් පුද්ගලයන් තිදෙනාගේ අනන්‍යතාව පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී ඔවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී නිධන් ගොඩගැනීම් කිහිපයකට අදාළ වීඩියෝ දර්ශන එහි තිබී සොයාගෙන ඇත.

පසුව එම නිලධාරීහු ඒ පිළිබඳව උසස් නිලධාරීන්ට දැනුම් දී ඇත. එහිදී උසස් නිලධාරීන්ගේ උපදෙස් වලට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්පසු විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු ඔවුන් සමග ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවස පරීක්ෂා කිරීමට ගියහ.

විශේෂ කාර්ය බළකායේ ඉලක්කය වී ඇත්තේ එම නිල නිවස තුළින් භූගත පාෂාණ හඳුනා ගැනීමේ යන්ත්‍රය සොයා ගැනීමයි. එහිදී එම නිල නිවසේ සිවිලිමේ තිබී පත්තර පිටුවල ඔතා තිබුණු ගංජා ගස් 650ක් සොයාගැනීමට හැකිවිය. එලෙස එම ගංජා ඔතා තිබුණේ වේලීමටයි. එතනින් නොනැවතුණු එම නිලධාරීහු තවදුරටත් නිල නිවස සෝදිසි කළහ. එලෙස සෝදිසි කිරීමේදී භූගත පාෂාණ හඳුනා ගැනීමේ යන්ත්‍රය, පන්දම් කිහිපයක් ඇතුළු තවත් උපකරණ කන්න රැසක් සොයා සොයා ගැනීමට හැකිවිය.

ඉන්පසු මේ සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් විශේෂ කාර්ය බළකා ප්‍රධානීන් උපදෙස් පතා ඇති අතර එහිදී නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස පොලිස් බලධාරීන්ගෙන් නියෝග ලැබී තිබේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙක් සහ මොනරාගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ගංජා ජාවාරම්කරුවන් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත්හ. එම ගංජා ජාවාරම්කරු ටයිල් මල්ලි නමින් මොනරාගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙක් දේව වරමක් ලැබී ඇති පුද්ගලයෙක් බවද සඳහන් වේ.

මෙම සිද්ධිය දැනගත් පසු පොලිස්පතිවරයා විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරගෙන යෑමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේ ය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මොනරාගල බලා පිටත් විය. මෙම ලිපිය ලියන විටත් එලෙස ගිය නිලධාරීහු මෙම පිරිස රඳවාගෙන ඔවුන් හාරා ඇති සහ හාරන්නට සූදානම් වූ නිධාන ගැන මෙන්ම ගංජා ජාවාරම ගැනද වැඩිදුර තොරතුරු දැන ගැනීමට නියමිතය.

මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මොනරාගල පොලිස් ප්‍රධානියා ලෙස පත්ව ඇත්තේ දැනට වසර එකහමාරකට පෙරයි. ඔහු ගංජා ජාවාරම්කරුවන් සමග ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන පුද්ගලයකු බවත්, ඔහු පරිහරණය කරන මෝටර් රථයක් ගංජා ජාවාරම් කරුවෙකුගේ බවත් මොනරාගල ප්‍රදේශයේ ජනතාවම දන්නා ප්‍රසිද්ධ රහසකි.

සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර, උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වූ අතර පොලිස් පරීක්ෂකවරයෙකු දක්වා උසස් වීමෙන් පසු සහකාර පොලිස් අධිකාරී තරග විභාගයට ඉදිරිපත්වී ඇත. එහිදී සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස්වීම් ලබාගැනීමට ඔහුට හැකි විය. එම උසස්වීම ලබා ගැනීම දේශපාලන බලපෑම් මත සිදු වූ බවට චෝදනාවක් ද එල්ල වී තිබුණි.

උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරද්දී සැකකාර සිසිර කුමාර මහින්ද රාජපක්ෂ රජය සමයේ ප්‍රබල ඇමැතිවරයෙකුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස රාජකාරි කර ඇත. පොලිස් නිලධාරීන් චෝදනා එල්ල කළේ එම දේශපාලනඥයාගේ බලපෑම මත මෙම සැකකාර පොලිස් නිලධාරීයා උසස්වීම් ලබාගත් බවයි. උසස්වීම් ලබාගත් පසු මෙම පොලිස් නිලධාරියා වැඩිපුර රාජකාරි කර තිබුණේ මොනරාගල සහ තණමල්විල ප්‍රදේශවලයි.

මෙම නිලධාරියා මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස පත් කිරීමට පොලිස් මූලස්ථානයෙන් අනුමැතියක් ලැබී නොතිබූ අතර මොනරාගල ප්‍රදේශයේ ප්‍රබලම දේශපාලනඥයෙකුගේ දැඩි බලපෑම මත ඔහුව එම තනතුරට පත් කළ බව පොලිස් ආරංචි මාර්ග කියා සිටියේය. මෙම දේශපාලනඥයා නිලමේවරයෙකු ලෙසද සිටි අයෙකි.’ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර එම සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ වැඩද තහනම් කර තිබුණි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment