ගංජා මිශ්‍ර ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට අවසර ලැබුණොත් ඩොලර් හිඟා කන්න ඕනෑ නෑ

423

ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ සභාපති ගාලු නාගරික මන්ත්‍රී ජයවීර පීරිස්

ගංජා මිශ්‍ර ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කිරීමට අපට අවසර දෙන්නේ නම් ඒවා නිෂ්පාදනය කර පිටරට යවා විශාල ඩොලර් ප්‍රමාණයක් උපයාගත හැකි බවත්, කෙසේ වෙතත් මෙම යෝජනාව ගෙනා ගමගේ මහත්මියට ස්තුතිවන්ත වන බවත් සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ සභාපති ගාල්ල නාගරික මන්ත්‍රී ජයවීර පීරිස් මහතා පැවැසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් ආයුර්වේද සංරක්ෂණ සභා බල මණ්ඩල රැස්වීමේදීය.

එහිදී තවදුරටත් කතා කළ ඒ මහතා, ත්‍රෛයිලෝක විජය පත්‍ර කියන්නේ තුන් ලෝකයම ජය ගන්න පුළුවන් ඖෂධයක්. මේ ගංජා වලින් ඖෂධ නිෂ්පාදනය කරන්න අපට අවසර දෙනවා නම් ඩොලර් ගේන හැටි අපි දන්නවා. මේකෙන් සිරප් හදන්න පුළුවනි. පැරසිටමෝල් පෙත්තට පෙත්තක් හදන්න පුළුවනි. මේක හොඳ ඖෂධයක්. ආහාර ජීරණයට, පණු රෝග වලට, නින්ද නොයාමට, ස්නායු රෝග වලට සහ තවත් රෝග රැසකට කංසා මිශ්‍රකර හොඳ ඖෂධ හදන්න පුළුවනි. ඒ නිසා අප සම්බන්ධ කරගෙන කටයුතු කරනවා නම් ඩොලර් හිඟා කන්න ඕනෑ නෑ. ගංජා මිශ්‍ර ඖෂධ නිෂ්පාදනයට සභාවේ කැමැත්ත විමසීමේදී පැමිණ සිටි සියලුම ආයුර්වේද වෛද්‍ය මහත්ම මහත්මීන් අත් ඔසවා කැමැත්ත පල කළහ.

මෙහිදී දේශීය වෙදකම සඳහා පාවිච්චි කරනු ලබන දුර්ලබ සහ ගෙවත්තෙන් සොයාගත හැකි ඖෂධිය පැළෑටි, ගස්, වැල් ආදිය පිළිබඳ දැනුවත් කරන ලදි. ආයුර්වේද වෛද්‍යවරුන් වන ලියනගමගේ වික්‍රමසිංහ, ජගත් සිසිර කුමාර සහ තරංග විතානවසම් යන මහත්වරුන්ද කතා කළ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ආයුර්වේද වෛද්‍යවරුන් වෛද්‍යවරියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

අහංගම – සුගතපාල දියගහගේ සහ ගාල්ල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment