ගංදිය පතුලේ සැඟව ගිය ඉංග්‍රීසි ගුරුවරයාගේ සහ දියණියගේ කඳුළු කතාව

700

ගඟට වැටුණු නංගීව බේරගන්න ගිය තාත්තා සැඩ පහරේ ගසාගෙන ගියා – කුඹුක්කන්ආර ඔයට වැටී මියගිය පියා සහ දියණියගේ මරණ පරීක්‍ෂණයේදී වැඩිමහල් දියණිය කියයි

“තාත්තා පදවාගෙන ආ යතුරුපැදියේ නැගී මමයි, මල්ලියි, නංගියි අවට තිබුණු කුඹුරු දිහා බලමින් ඉදිරියට ආවා. අපි තඹාල ගල්වල පාලම තිබෙන තැනට එනවිට උදේ 10.30ට පමණ ඇති. එසේ පැමිණි පසු නංගී එම ස්ථානයේ සෙල්ලම් කරන්න පටන් ගත්තා. එසේ සෙල්ලම් කරමින් සිටින විට නංගීගේ පය ලිස්සලා ගිහින් අසල තිබුණු ගඟට වැටුණා. ඒ ගඟේ වතුර හරිම සැරයි. නංගී වතුරේ ගහගෙන ගියා. එවිට නංගීව ගොඩට ගන්න තාත්තා වතුරට බැස්සා. එවිට තාත්තාවත් ගඟේ ගහගෙන ගියා.

පොලොන්නරුව, තඹාල ප්‍රදේශයේදී ඉකුත් අඟහරුවාදා (07 දා) කුඹුක්කන්ආරුව ඔයට ඇදවැටී සැඩ පහරේ ගසාගෙන ගොස් මියගිය පාසල් ගුරුවරයෙකු වන මඩකලපුව, කාත්තන්කුඩි 06, වික්ටරි පාර අංක 243/බී යන ලිපිනයේ පදිංචිව සිටි ආදම් ලෙබ්බේ සාජහාන් (48) සහ ඔහුගේ දියණියක වන කාත්තන්කුඩි මීරා බාලිකා ජාතික පාසලේ 07 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සාජහාන් සයාන් පරිත්තා (13) යන දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් පොලොන්නරුව නාගරික හදිසි මරණ පරීක්‍ෂක එල්. එම්. චමින්ද ලක්මාල් මහතා ඉදිරියේ පොලොන්නරුව මහ රෝහලේ පෙරේදා (08) පැවැති මරණ පරීක්‍ෂණයේදී සාක්කි දුන් සිද්ධිය ඇසින් දුටු මියගිය දැරියගේ සහෝදරියක මෙන්ම මියගිය ආදම් ලෙබ්බේ සාජහාන් යන අයගේ වැඩිමහල් දියණිය වන කාත්තන්කුඩි මීරා ජාතික පාසලේ උසස් පෙළ හදාරන සිසුවියක වන සාජහාන් සකියා සර්හත් (19) එසේ කියා සිටියාය.

එහිදී මරණ පරීක්‍ෂකවරයා ඉදිරියේ වැඩිදුරටත් සාක්කි දුන් සාක්කිකාරිය මෙසේද කීවාය.

“මියගොස් සිටින්නේ මාගේ පියා සහ නංගීයි. අපේ තාත්තා පොලොන්නරුව, පුදූර් අල්සනා මහා විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස සේවය කරනවා. මමයි, නංගියි, මල්ලියි තාත්තා සමඟ බස් රථයකින් පොලොන්නරුවේ තඹාල ප්‍රදේශයේ පිහිටි පුංචි අම්මලාගේ ගෙදර ගියා. එසේ ගොස් ඉකුත් 07 දා මමයි, නංගියි, මල්ලියි තාත්තාගේ යතුරුපැදියේ නැඟී කුඹුරු දෙස බලමින් ඉදිරියට ආවා. එසේ පැමිණ උදේ 10.30ට පමණ තඹාල ගල්වල පාලම ළඟට ආවා. එතැන නතරවෙලා ගඟේ වතුර බලමින් සිටියා. නංගී එවේලේ එතැන අයිනේ සෙල්ලම් කරමින් සිටියේ. එයා එකපාරටම ලිස්සලා ගිහින් ගඟට වැටුණා. ගඟේ වතුර පාර සැරට තිබුණා. නංගීව වතුරේ ගහගෙන ගියා. ඒ සමඟම තාත්තා නංගීව ගොඩට ගන්න ගඟට බැස්සා. තාත්තාවත් ගඟේ ගහගෙන ගියා. මම මල්ලීව අල්ලාගෙන පාලම උඩසිටි අයට මේ බව කීවා. පසුව කට්ට්ය ගඟට බැහැලා තාත්තාව ගඟෙන් ගොඩට අරගෙන පොලොන්නරුව රෝහලට රැගෙන ආවා. එහිදී තාත්තා මියගිහින් කියලා වෛද්‍යවරු කීවා. මට මේ මරණය ගැන කිසිම සැකයක් නෑ. නංගීව බේරගන්න ගිය තාත්තා දියේ ගිලී මියගියා කියලා විශ්වාස කරනවා”

මියගිය අයගේ බිරිය වන තුති ෆාතිමා සිජානා (38) සහ පුදූර් ප්‍රාථමික විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක වන ධර්මරත්නම් සුභාෂිණී දේවී යන දෙදෙනාද මෙහිදී සාක්කි දුන්හ.

පොලොන්නරුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ. එල්. එම්. එස්. පෙරේරා මහතා විසින් මියගිය දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකරනු ලැබූ අතර දියේ ගිලීමක් හේතුවෙන් මරණ සිදුවී ඇති බවට නිගමනය කළේය.

ඉදිරිපත්වූ සාක්කි සහ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අනුව ආදම් ලෙබ්බේ සාජහාන් යන අයගේ මරණය තම දියණිය ගඟට වැටුණු අවස්ථාවේ ඇයව බේරාගැනීමට උත්සාහ කරද්දි දියේ ගිලීමෙන් සිදුවූ හදිසි මරණයක් බවටත්, සාජහාන් සයාන් පරිත්තා යන අයගේ මරණය සෙල්ලම් කරමින් සිටින විට ගඟට ඇදවැටී දියේ ගිලීමෙන් සිදුවූ හදිසි මරණයක් බවටත් හදිසි මරණ පරීක්‍ෂකවරයා නිගමනය කළේය.

පුලස්තිපුර පොලිසියේ පො.සැ. (50742) කේ. ඒ. පී. කුසුම්සිරි මහතා මෙහිදී සාක්කි මෙහෙයවිය.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment