ගංවතුරින් පසු ගිංගඟ පහළ නිම්නයේ තේ වගාවට දැඩි හානි

18

ගස් පිච්චිලා මැරෙනවා – වතුරට බහින්න බෑ විෂයි

කටුපොල් කම්හලේ අපද්‍රව්‍යවලින් ගස් මියයනවා දැයි සැකයි – කුඩා තේ වතු හිමි සිසිර හෑගොඩආරච්චි

ආදායම් මාර්ගය නැති වීමෙන් අපි අමාරුවේ වැටිලා – කුඩා තේ වතු හිමියෝ

ගංවතුරත් සමග ගිංගඟ පහළ නිම්නයට අයත් නාගොඩ උනන්විටිය, ගුදපනාගම, අඟුරුවල, කැප්පිටියගොඩ යන ප්‍රදේශවල තේ වගාබිම් රැසකට හානි සිදුවී ඇති බැව් එම ප්‍රදේශවල කුඩා තේ වතු හිමියෝ පවසති.

නාකියාදෙණිය වත්තේ කටුපොල් තෙල් සිඳීමේ කම්හලින් බැහැරවන අපද්‍රව්‍ය හේතුවෙන් ගංවතුර බැසයෑමත් සමග කිසිදිනක නොවූ අයුරින් තේ ගස් වියළී මැරීගොස් ඇති බවද වතු හිමියෝ පෙන්වා දෙති.

ඇතැම් කුඩා තේ වතු හිමියන්ගේ තේ වගාබිම් අක්කර ගණනින් විනාශ වී ඇත. මේ වතාවේ දින තුනක පමණ කාලයක් ඇතුළත ජලය බැසගියත්, මේ අයුරින් තේ ගස් වියළී මැරී යෑමට මෙය හේතුවක් නොමැති බවද ඔවුහු පෙන්වා දෙති. කටුපොල් තෙල් සිඳීමේ කම්හලින් බැහැරවන අපද්‍රව්‍ය ජලය සමග මිශ්‍රවීම නිසා තේ ගස් කුණුවී පිච්චී ගොස් ඇති බවට කුඩා තේ වතු හිමියන් පවසති.

මේ පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණයක් සිදුකළ යුතු බව සඳහන් කරන කුඩා තේ වතුහිමියන් තමන්ගේ තේ වගාවන්ට වූ හානි සඳහා වන්දි ලබාදීමට රජය මැදිහත් විය යුතු බවද ඔවුහු පවසති.

ගංවතුරින් පසු ගිංගඟ පහළ නිම්නයේ තේ වගාවට දැඩි හානි

උනන්විටියේ පදිංචි කුඩා තේ වතු හිමියකු වන සිසිර හෑගොඩආරච්චි පැවසුවේ මෙවැනි කථාවකි.

අවුරුද්දකට දෙවතාවක් විතර ගංවතුරට තේ වතු යටවෙනවා. මේ වතාවේ දින තුනක් වගේ ඇතුළත ගංවතුර බැහැලා ගියා. නමුත් මේ වතාවේ තේ පැළ මෙන්ම තේ ගස් වියළී මැරිලා ගිහින් තියෙනවා. ගංවතුරත් සමග විෂ වගේ දෙයක් ඇවිත් තියෙනවා. නාකියාදෙණිය වත්තේ කටුපොල් කම්හලෙන් බැහැර කරන අපද්‍රව්‍ය නිසා මේ අයුරින් තේ ගස් වියළී මැරීගොස් ඇති බවට අපිට සැකයක් තියෙනවා. ගංවතුරෙන් පස්සේ තේ ගස්වල බැඳිලා තියෙන රොන් මඩ සෝදලා දානවා. නමුත් දැන් මිනිස්සු වතුරට බහින්නෙත් නැහැ. ඒ තරමට වතුර විෂයි. අපේ ප්‍රධාන ආදායම් මාර්ගය නැතිවෙලා තියෙන්නේ. ඒ නිසා වන්දි මුදලක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.

කැප්පිටියාගොඩ පදිංචි කුඩා තේ වතු හිමියකු වන අමින්ද මහතා පැවසුවේ,

තේ අක්කර දෙකක් විතර හානිවෙලා. නැවත තේ දලු ලියලාවි කියලා විශ්වාසයක් තියන්න බැහැ. කළුපාට විෂ සහිත වතුරක් තමයි මේ වතාවේ ආවේ. නාකියාදෙණිය වත්තේ කටුපොල් ටැංකිය අරින නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවට තේ වතු හිමියන් අතර මතයක් තියෙනවා. කුඩා තේ වතු සංවර්ධන අධිකාරියෙන් ද අපිට සහනයක් නැහැ.

අප කළ විමසුමකදී නාගොඩ ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුවේ මේ ගැන සොයා බලා පරීක්‍ෂණයක් සිදු කරන බවයි.

නාකියදෙණිය පාම් ඔයිල් කම්හලේ කළමණාකරු කේ.එච් තනුෂ්ක මහතාගෙන් මේ පිළිබද අප කළ විමසුමකදි මෙසේ කිවේය.

2016/2017 වර්ෂවල පැවති මහා ගංවතුර අවස්ථාවේත් ඔය චෝදනාව ආවා. උනන්විටිය ප්‍රදේශයට කිසිදු සම්බන්ධයක් නැති ප්‍රදේශවලත් එම ගංවතුර අවස්ථාවේ තේ ගස් පිච්චිලා ගොස් තිබුණා. කිසිදු අපද්‍රව්‍යයක් අපේ කම්හලෙන් ඇළ මාර්ගවලට බැහැර කරන්නේ නැහැ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment