ගංවතුරෙන් ජාඇල පවුල් 5000 ක් පීඩාවට පත්වෙද්දී දේශපාලනඥයන්ගේ සහාය මත මුතුරාජවෙල යළි ගොඩ කරනවා

164

බී. ටී. කේ. – ජාඇල අතිරේක
 
 කොළඔ – කටුනායක අධිවේගී මාර්ගයට ඉතා ආසන්නයේ මුතුරාජවෙල රක්ෂිතයට අයත් ජාඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාරිස් පෙරේරා ප‍්‍රදේශයේ අක්කරයකට වැඩි ප‍්‍රමාණයක අනවසර ගොඩ කිරීම් යළි ආරම්භ කොට සංවර්ධනය කරමින් පවතින බව ජාඇල නාගරික මන්ත‍්‍රී ස්ටෙෆ්නි ප‍්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.
 
 අදාළ ගොඩ කිරීම්වලට මූලිකත්වය ගෙන ඇත්තේ දේශපාලන බල අධිකාරියේ පූර්ණ සහාය ලබන ලොකු ව්‍යාපාරිකයන් පිරිසක් බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කරයි.
 
 ගම්පහ දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව විසින් පසුගියදා ජාඇල ප‍්‍රදේශයේ ඇතිවූ ගංවතුර තත්ත්වයට ප‍්‍රධානතම හේතු සාධකය වූයේ අනවසර ගොඩ කිරීම් බවට තහවුරු කොට අනවසර ගොඩ කිරීම්වලට ලක්වූ ඉඩම්වල පුරවපු පස් හා කැළිකසළ ඉවත් කිරීමට නියෝග කර ඇති බව ජාඇල නගරාධිපති ශම්මික ඩයස් මහතා පසුගිය මහ සභා රැුස්වීමේදී ප‍්‍රකාශ කර සිටියත්, අද සිදු වන්නේ පස් ඉවත් කරගන්නවා වෙනුවට අතුරු ඇළ මාර්ග අවහිර කරමින් එම ඉඩම් මායිම්වල ස්ථිර බැමි බැඳීම බවද මන්ත‍්‍රීවරයා සඳහන් කරයි.
 
 මේ පිළිබඳ ජාඇල නගරාධිපතිවරයා පැවසුවේ, ‘‘රටේ වත්මන් තත්ත්වය නිසා නගර සභාවේ සීමිත නිලධාරින් පිරිසක් සේවයේ යෙදී සිටින අතර අදාළ සිද්ධීන් පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු සොයා බැලීමට නගර සභාවට අපහසු බවයි.
 
 නමුත් ඒ පිළිබඳව ලද පැමිණිලි මත තමා ලිඛිතව ජාඇල පොලිසියත් විශේෂයෙන් ජාඇල පොලිසියේ ස්ථානාධිපති වරයාත් දැනුවත් කොට ඇති බවය.
 
 ජාඇල ගොවිජන සේවා නිලධාරී උදය රංගජීව මහතා පවසන්නේ මේ පිළිබඳව පරීක්ෂණ කරගෙන යන අතර ඉඩම් ගොඩ කිරීමේ නියැලූන පිරිස් වගකිව යුතු රාජ්‍ය ආයතනවලින් ඒ සඳහා ලබාගත් අවසර පත් ඉදිරිපත් කිරීම නිසා බොහෝ අවස්ථාවල තම නිලධාරීන්  ගැටලූවලට මුහුණ දෙන බවයි.
 
 පසුගියදා ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා ජාඇල පවුල් 5000 කට අධික පිරිසක් පීඩාවට පත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment