ගජබාවෝ තිස් අට සමරති…ඉන්දීය හමුදාපති ත‍්‍රිකුණාමලයේ අතීතයි සිහි කරයි

263

හැත්තෑ දෙවැනි යුද හමුදා සංවත්සරයේ සමාප්ති උළෙල පසුගිය ඉරිදා සන්ධ්‍යාවේ අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්වීම පසුගිය සති අන්තයේ ආරක්ෂක අංශ සඳහා සුවිශේෂ විය. විශේෂයෙන්ම සාලියපුර ගජබා රෙජිමේන්තුවේ මූලස්ථානය වූ හෙයින් එහිදී යුද හමුදා සංවත්සරය පැවැත්වීම තවත් සුවිශේෂී කාරණයක් විය. යුද හමුදාපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙවර යුද හමුදා සංවත්සරය ආරම්භ වූයේ ආගමික වතාවත් ඉටු කරමිනි. ඒ අනුව ශ‍්‍රී දළදා මාලිගාව, අනුරාධපුර ජයශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින උඩමළුව යන ස්ථාන හි යුද හමුදාවේ, ස්වේච්ඡා ඒකකයන් ඇතුළුව රෙජිමේන්තු විසි පහේ ධජ තැන්පත් කරමින්, ඒ සඳහා ආශිර්වාද ලබා ගැනීම ප‍්‍රමුඛ විය. එසේම අනෙකුත් ආගමික වතාවත් සඳහා කටයුතු යොදා තිබූ අතර යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප‍්‍රමුඛ යුද හමුදා ප‍්‍රධානීන් ඒ සඳහා සහභාගී වූහ.

  • අභිමංසල රණවිරුවන් සමග දිවා භෝජනය
ගජබාවෝ තිස් අට සමරති...ඉන්දීය හමුදාපති ත‍්‍රිකුණාමලයේ අතීතයි සිහි කරයි

යුද හමුදා සංවත්සරය යෙදෙනදාට පෙරදා, නවවෙනිදා, යුද හමුදාපතිවරයා ප‍්‍රධාන හමුදා ප‍්‍රධානින් සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය ඇතුළු පිරිසක්, අනුරාධපුර නුවර වැව අසල අක්කර පහක පමණ මනරම් භුමි භාගයක පිහිටා තිබූ අභිමංසලට පැමිණ සිටියහ. අභීත හදවත් ඇති සිය දේශය වෙනුවෙන් කාය දානය කළ සිංහල විරුවන්ගේ සුව දුක් බැලීම යුද හමුදාපතිවරයාගේ අරමුණ වී තිබුණි. සටන් බිමේදී සිය ජීවිතය නොතකා ජාතිය වෙනුවෙන් සිදු කළ කැපකිරීම වෙනුවෙන් එම අභීත හදවත් දැරුවන් වෙත සිය උපහාරය පුද කිරීම යුද හමුදාපතිවරයාගේ අරමුණ වී තිබුණි. සෙනසුරාදා දිනය පුරාම එම රණවිරුවන් සමග ගත කළ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, එදින දිවා ආහාරය ලබා ගත්තේද රණවිරුවන් සමගය. අභිමංසල අනගි ලෙස පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් බි‍්‍රගේඩියර් ශිරෝන් ඒකනායක, මෙහිදී යුද හමුදාපතිවරයාගේ ඇගැයීමට පාත‍්‍ර විය.

පසුදා යුද හමුදා දිනයේ උත්කර්ශවත් අවස්ථාව සඳහා ප‍්‍රධාන ආරාධිතයා ලෙස පැමිණ සිටියේ සන්නද්ධ සේවාවන්හි සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. සාලියපුර යුද හමුදා කඳවුරක් පිහිටුවීම සිදුවන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙනි. ලූතිනන් කර්නල් කේ. නානායක්කාර විසින් රජරට රයිෆල් රෙජිමේන්තුව සඳහා තෝරා ගනු ලැබුවේ විශිෂ්ටයන්ගේත් විශිෂ්ටයන්ය. එවකට තිබූ සියලූ රෙජිමේන්තු හි විශිෂ්ටයන් සොයා ගිය ලූතිනන් කර්නල් නානායක්කාර, සිංහ රෙජිමේන්තුවේ සිටි ගෝඨාභය රාජපක්ෂ ද ඒ සඳහා එක් කර ගත්තේය. ඒ අනුව නව රෙජිමේන්තුවේ මූලස්ථානය සඳහා අවශ්‍ය ඉඩම තෝරා ගැනීමේ සිට ගන කැලෑවක් වූ එම ඉඩම රෙජිමේන්තු මූලස්ථානයක් දක්වා වර්ධනය කර ගැනීම සඳහා පෙරමුණ ගනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ ය. අනුරාධපුර – යාපනය පාරේ පිහිටි සාලියපුර ග‍්‍රාමයේ ගජබා රෙජිමේන්තු මූලස්ථානය පිහිටුවන්නේ එසේය. තමා මූලික වී පිහිටුවන ලද ගජබා රෙජිමේන්තු මූලස්ථානය සඳහා ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණෙන්නේ ප‍්‍රථම වරට වීම මෙවර යුද හමුදා දිනයේ තවත් විශේෂත්වයකි. ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් සමයේදී පුවත්පතකට ලබාදුන් සාකච්ඡාවකදී සඳහන් කර තිබුණේ තමාගේ වීරයා, මේජර් ජෙනරාල් විජය විමලරත්න බවය. වීරයාගේ ප‍්‍රතිමාවට, ජනධිපතිවරයා මල් මාලයක් පැළඳවීමෙන් පසු සාලියපුර කඳවුරේදී, යුද හමුදා දින සැමරුම ආරම්භ විය.

  • ජනාධිපතිගෙන් මේජර් පෙරේරාට වේගවත් ප‍්‍රහාරයක්

යුද හමුදාපතිවරයාගේ අණ සහ සැලසුම් අනුව සාලියපුර කඳවුර ලෝකයේ නවීන සහ අලංකාරම යුද හමුදා කඳවුරක් බවට පත් කර ඇති බව දුටු ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක ලේකම්වරයා ද ඒ පිළිබඳව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත සිය මවිතය සහ ස්තුතිය පළ කළේය. එදින යුද හමුදාව අමතමින් ජනාධිපතිවරයා පවත්වන ලද කතාව, සමස්ත ජාතියම ආමන්ත‍්‍රණය කළාක් බඳු විය. එය ජනතාවට දැනී තිබුණේ ජාතියේ ඇමතීමේ කතාවක් ලෙසය. සිය ‘මහගෙදරට’ පැමිණ සිටි ජනාධිපතිවරයා, සාලියපුර කඳවුරේ ඉදිකර තිබූ ගෝඨාභය රාජපක්ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනය විවෘත කිරීම සඳහා ද සහභාගී විය. තණතිල්ල අසලට පැමිණි ජනාධිපතිවරයා, වෙත යුද හමුදාපතිවරයා පිත්තක් ලබාදුන්නේ, පන්දු යැවීමේ අටියෙන් නොව, පිත්ත කඩුල්ල ඉදිරිපිට තබා, විවෘත කිරීම සංකේතවත් කිරීම සඳහාය. ”බැට් එකක් තියෙනවා නම්, බෝලයක් දාන්න” යනුවෙන් අනපේක්ෂිත ලෙස ජනාධිපතිවරයා ප‍්‍රකාශ කිරීමත් සමග රාජ්‍ය නායකයා වෙත අනෙක් අන්තයේ සිට පන්දු යැවීම සඳහා යුද හමුදාපතිවරයා විසින් භාර දෙනු ලැබුවේ, ගජබා රෙජිමේන්තුවේ මේජර් තිසර පෙරේරා වෙතය, ශ‍්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ මේජර් පෙරේරා, ජනාධිපතිවරයා පිත්ත අතට ගත් ආකාරය දෙස බලා සාමාන්‍ය පරිදි පන්දුවක් යැවූ අතර ඒ සඳහා ලෝන්ග් ඔෆ් දෙසට පහරක් එල්ල කළ ජනාධිපතිවරයා, තිසරගේ ඊළඟ පන්දුව සඳහා පන්දු යවන්නාගේ උර හිසට ඉහළින් යන ලෙස වේගවත් පහරක් එල්ල කළේය.

”ජනාධිපතිතුමා බැට් ඒක අතට අරගෙන මීට කරකවලා, තණතිල්ලට තට්ටු කරන කොට මට තේරුණා, සර් හොඳට ක‍්‍රිකට් දන්නවා කියලා. කොහොමද සර් ගහපු පාරවල් දෙක…” යැයි සිය සගයන් සමග පවසන විටත් ජනාධිපතිවරයා හමුදා සාමාජිකයෙක් ලෙස යුද හමුදාවට ක‍්‍රිකට් ක‍්‍රීඩා කර තිබූ බව, මේජර් පෙරේරා දැන සිටියේ නැත.

  • නව මේජර් ජෙනරාල්වරු අටක්
ගජබාවෝ තිස් අට සමරති...ඉන්දීය හමුදාපති ත‍්‍රිකුණාමලයේ අතීතයි සිහි කරයි

කොළඹින් පිටත යුද හමුදා දිනයක් පවත්වන ලද ප‍්‍රථම වතාව ලෙස වාර්තා වන්නේ ද හැත්තෑ දෙවැනි යුද හමුදා සැමරුමය. රෙජිමේන්තුවක කොඳු නාරටිය බඳු, සැරයන්වරුන්ගේ සහ බලලත් නිලධාරීන්ගේ භෝජනාගාරය විවෘත කිරීම, ඇතුළු විවෘත කිරීම් රාශියක් සඳහා දායක වූ ජනාධිපතිවරයා, ගජබා රෙජිමේන්තුවේ පැරණි නිලධාරීන් සහ සෙසු නිලයන් සමග මෙහිදී තේපැන් සංග‍්‍රහයකට ද සහභාගී විය.

යුද හමුදා දිනය නිමිත්තෙන්, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය මත නිලධාරින් 567 ක් සහ සෙසු නිලයින් 10,368 දෙනෙකු වෙත උසස්වීම් ලබාදීමක් සිදුවිය. යුද හමුදා ඉතිහාසයේ වැඩිම උසස්වීම් ප‍්‍රමාණයක් ලබාදී ඇත්තේ වත්මන් යුද හමුදාපතිවරයා, මෙම තනතුරට පත්වූ 2019 අගෝස්තු මස 18 දින සිට මේ දක්වාය. යුද්ධ හමුදා නිලධාරීන් 3,873 දෙනෙකු සහ සෙසු නිලයින් 78,707 දෙනෙකු වෙත මෙම කාල සීමාවේදී උසස්වීම් පිරිනමා තිබේ.

මෙවර නිලධාරීන් 8 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට, කර්නල්වරු 17 දෙනෙකු බි‍්‍රගේඩියර් නිලයට, නිලධාරීන් 42 දෙනෙකු කර්නල් නිලයට, නිලධාරීන් 60 දෙනෙකු ලූතිනන් කර්නල් නිලයට, 256 දෙනෙකු මේජර් නිලයට, 10 දෙනෙකු කපිතන් නිලයට, දෙවන ලූතිනන් නිලයේ නිලධාරීන් 152 දෙනෙකු ලූතිනන් නිලයට සහ උපපන්න නිලධාරින් 22 දෙනෙකු ලූතිනන් නිලයට උසස් කර තිබුණි.

යුද හමුදා යුධෝපකරණ බලකායේ මේජර් ජෙනරාල් ප‍්‍රියන්ත වීරසිංහ, ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන්, සන්නද්ධ බුද්ධි බලකායේ මේජර් ජෙනරල් රොබින් ජයසූරිය, ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සංජය ප‍්‍රනාන්දු, විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් රෝහිත අළුවිහාරේ, සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර, කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් චන්දන වික‍්‍රමසිංහ යන නිලධාරීහු මෙලෙස මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ පිරිස වෙති.

  • ඉන්දීය යුද හමුදා ප‍්‍රධානිගේ මතකය
ගජබාවෝ තිස් අට සමරති...ඉන්දීය හමුදාපති ත‍්‍රිකුණාමලයේ අතීතයි සිහි කරයි

ඉන්දීය සහ ශ‍්‍රී ලංකා යුද හමුදා ඒකාබද්ධ අභ්‍යාසයක් වන මිත‍්‍රශක්ති යුද අභ්‍යාසය සඳහා සහභාගිවීම මූලික කරගනිමින්, ඉන්දීය යුද හමුදා ප‍්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන ශ‍්‍රී ලංකාවට පැමිණියේ පසුගිය 12 වෙනිදා උදෑසනය. පැමිණි ඉන්දියානු දූත පිරිසට ඉන්දියානු යුද්ධ හමුදා භාර්යාවන්ගේ සුභසාධක සංගමයේ සභාපතිනි වීනා නාරාවන, ඉන්දියානු යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අණදෙන සහ මේජර් ජෙනරල් ප‍්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් රජීව් තාපර්, හමුදා සහයක මේජර් ජෙනරල් වික්රාන්ත් නයික් සහ කර්නල් මන්දීප් සිං දිල්ලොන් අයත් වූහ. ඉන්දීය යුද හමුදා ප‍්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ආරක්ෂක සහ විදේශ අමාත්‍යංශයේ ලේකම්වරු සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන පිරිස සමග සාකච්ඡා පැවැත්වනු ලැබිය. ඉන්දීය සාම සාධක හමුදාව නියෝජනය කරමින් ත‍්‍රිකුණාමලය 4 කණුව ප‍්‍රදේශයේ සේවය කරන ලද, වත්මන් ඉන්දීය යුද හමුදා ප‍්‍රධානියා, ශ‍්‍රී ලංකාවේ සිය අතීත අත්දැකීම් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග විස්තර කළේය. ශ‍්‍රී ලංකා හමුදා නිලධාරීහු දහසකට ආසන්න පිරිසක් වාර්ෂිකව ඉන්දියාවේදී යුද පුහුණුව ලබති. එම පිරිසට අමතරව ඉදිරි කාලය තුළදී හමුදා නිලධාරීන් 50 දෙනෙකුට විශේෂයෙන් සකස් කළ පුහුණු පාඨමාලාවක්, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී හා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ඉල්ලීම මත ලබාදීමට පියවර ගන්නා බව ඉන්දීය යුද්ධ හමුදා ප‍්‍රධානියා ජනාධිපතිවරයා වෙත පවසා සිටියේය. යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත 53 වන සේනාංකයේ සේනාංකාධිපති සහ ‘මිත‍්‍ර ශක්ති’ යුද පුහුණු අභ්‍යාසයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ගේ අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක වූ යුද අභ්‍යාසයේ සමාප්තිය සඳහා ද ඉන්දීය යුද හමුදාපතිවරයා සහභාගි විය. ඉන්දීය යුද හමුදා පැසිපන්දු සහ වොලිබෝල් කණ්ඩායම් ද මේ හා සමාන්තරව ශ‍්‍රී ලංකා යුද හමුදාව සමග තරගාවලියකට පැමිණ සිටියහ. කලාපීය වශයෙන් මෙවැනි අන්තර් හමුදා සම්බන්ධතා අතිශයින් වැදගත් අතර යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මීට පෙර පාකිස්ථාන ජාතික දිනයේ විශේෂ ආරාධිතයෙක් ලෙස එරට ගිය අතර ඉන්දීය යුද හමුදාවේ විශාලම අංගයක් වන කෙඩෙට් නිලධාරීන් විසිර යෑමේ අවස්ථාවක් සඳහා ද යුද හමුදාපතිවරයාට ආරාධනා කොට තිබූ මුත්, වසංගත තත්ත්වය හේතුවෙන් ඒ සඳහා ඔහු සහභාගී නොවීය.

  • ගජබා තිස් අට සමරයි

වසර 38 කට පෙර ඔක්තෝබර් 14දා දිනක, ආරම්භ කරන ලද ගජබා රෙජිමේන්තුවේ සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. මේජර් ජෙනරල් විජය විමලරත්න විසින් 1 වන රජරට රයිෆල් බලකාය සහ 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුව ඒකාබද්ධ කරමින් ගජබා රෙජිමේන්තුව ආරම්භ කරන ලද අතර, ‘සමගිය ශක්තියයි’ තේමා පාඨය පෙරදැරිව ‘ගජබා’ යන නාමයෙන් මෙම රෙජිමේන්තුව ස්ථාපිත විය. ඇතෙකුගේ ශක්තියට හා යුද කුසලතාවයට අභියෝග කළ හැකි ශාරීරික ශක්තියකින් හෙබි රජෙකු ලෙස විරුදාවලි ලත් ගජබා රජුට උපහාරයක් වශයෙන් ‘ගජබා’ යන නාමය මෙම රෙජිමේන්තුව සඳහා තෝරාගනු ලැබීය.

වත්මන් ජනාධිපතිවරයා, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, වත්මන් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් යන රාජ්‍ය ප‍්‍රධානීන් සියලූදෙනාම ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන නිලධාරීහු වෙති. ඒ හේතුවෙන් වත්මන් පාලන තන්ත‍්‍රය සඳහා ගජබා රෙජිමේන්තුවේ සුවිශේෂ දායකත්වයක් හිමිව ඇති බව කිව හැකිය. වත්මන් යුද හමුදාපතිවරයා ගජබා රෙජිමේන්තුවට සුවිශේෂ චරිතයකි. ගජබා රෙජිමේන්තුව සඳහා මුල් අවස්ථාවේදී නිලධාරීන් බඳවා ගනු ලැබුවේ, සෙසු රෙජිමේන්තුවලිනි. වත්මන් යුද හමුදාපතිවරයා සිය පුහුණුව නිමවා ගජබා රෙජිමේන්තුවට නිලධාරියකු ලෙස සේවයට බැඳුණු හෙයින් වෙනත් රෙජිමේන්තු සම්භවයක් නොමැතිව ගජබා රෙජිමේන්තුවේම උපන් පළමු නිලධාරියා වන්නේ ඔහුය. එසේම එම රෙජිමේන්තුව බිහි කරන ලද පළමු ජෙනරාල්වරයා, පළමු හමුදාපතිවරයා ආදී සුවිශේෂතා ගණනාවක් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සතුව තිබේ. ගජබා රෙජිමේන්තුව මානුෂීය මෙහෙයුම සඳහා සුවිශේෂ දායකත්වයක් ලබාදුන් අතර එම මෙහෙයුම සඳහා සේනාංක මෙහෙයවූ ජෙනරාල් කමල් ගුණරත්න, ලූතිනන් ජෙනරාල් ජගත් ඩයස්, මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන පිරිස ගජබා රෙජිමේන්තුව බිහි කළ නිලධාරීහු වෙති. එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන්ට එරෙහිව සිදු කළ සටනේදී ගජබා නිලධාරීහු 175 දෙනෙක්, සෙසුනිලයෝ 4075ක් සිය ජීවිත පූජා කළහ. මෙය ත‍්‍රස්තවාදයට එරෙහිව රෙජිමේන්තුවක් වැඩිම දිවි පිදීම් කළ අවස්ථාවය. රෙජිමේන්තු සංවත්සර උත්සවයේ ප‍්‍රධාන අමුත්තා ලෙස ඉන්දීය යුද හමුදා ප‍්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන සහභාගි විය.

  • නව බලකාය හරේන්ද්‍රට

සම්ප‍්‍රදායික සහ ලෝක හමුදා ආකෘතින් අනුව ශ‍්‍රී ලංකා යුද හමුදාව නවීකරණය සඳහා වන තවත් පියවරක් ලෙස බලකා සංකල්පය, යුද හමුදාව වෙත හඳුන්වාදීමට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පියවර ගනිමින් සිටියි. බල ඇණි නවයක් හෙවත් බල සේනා තුනක්, සේනාංකයක් වන අතර, සේනාංක තුනක් හෙවත් බල ඇණි 27ක් මෙම බලකායක් ලෙස හැඳින්වේ. 53, 58, විශේෂ බලකාය, කොමාන්ඩෝ යන රෙජිමේන්තු එකතු කර ශ‍්‍රී ලංකා හමුදාවේ පළමු බලකාය ඉතා මෑතදීම නිර්මාණය වීමට නියමිත අතර එහි අණදෙන්නා හෙවත් ශ‍්‍රී ලංකා හමුදා ඉතිහාසයේ පළමු බලකා අණදෙන නිලධාරී ලෙස මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ පත්වීමට නියමිතය. ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය සංවිධානය කරන ලද ආරක්ෂක කථිකාවතේ ආරාධිත දේශනය සඳහා ඉන්දීය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය සුබ‍්‍රමනියම් ස්වාමි පැමිණීම ද මේ සතියේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ කාරණයක් විය.

‘21 වන සියවසේ ජාතික ආරක්ෂාව’ යන මැයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ නන්දිමිත‍්‍ර ශ‍්‍රවණාගාරයේදී සිය දේශනය පැවැත්වූ ආචාර්ය සුබ‍්‍රමනියම් ස්වාමි වෙත දේශනය අවසානයේදී, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, ඔහු විසින් රචිත ‘රණමග ඔස්සේ නන්දිකඩාල්’ සහ ‘ගෝඨාභය’ යන පොත් ද්විත්වය ද පිරිනමන ලදී. ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය රොහාන් ගුණරත්න මෙම වැඩසටහන මෙහෙයවන ලදී.

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment