ගජමෑන් පත්තරෙන් හෝල් එකට

342

ලංකාවේ පැරණිතම පුවත්පත් චිත්‍ර කතාවක් වන කැමිලස් පෙරේරාගේ ගජමෑන් කාටූනය ඇසුරෙන් නිර්මාණය කරන ලද ‘කැමිලස්ගේ ගජමෑන් 3D’ සිනමා නිර්මාණය මෙරට සිනමා ඉතිහාසයේ බිහිවූ පළමු 3D Animation චිත්‍රපටය වේ. Avator The Adventunes of Tin Tin වැනි ලෝක ප්‍රසිද්ධ චිත්‍රපටවල භාවිතා කළ නවීනතම Motion Capture තාක්‍ෂණය ලාංකේය නිර්මාණයකට උපයෝගී කරගත් මෙය චානක පෙරේරාගේ අධ්‍යක්‍ෂණයකි.

ගජමෑන් පත්තරෙන් හෝල් එකට

Studio 101 සජීවීකරණ කණ්ඩායමේ මූලිකත්වයෙන් නිෂ්පාදන කටයුතු ඇරඹූ මෙය 2010 වසරේ අගෝස්තු මාසයේදී මූලික වැඩ කටයුතු ආරම්භ කළ අතර පසුව ගජමෑන් චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වූයේ 2018 වසරේදී ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී ය.

ගජමෑන් (දසුන් පතිරණ), මගෝඩිස්තුමා (ටිරාන් අබේවර්ධන), ඇම්ඩා (චාමර ප්‍රියදර්ශන), ස්වීටි (නිපුනි ශාරදා), පද්මාවතී (කසුනි කාවින්දි), ටික්කා (ප්‍රදීප් රාමවික්‍රම) Motion Capture තාක්‍ෂණයෙන් සිදු වූ මෙහි දර්ශන සඳහා ප්‍රධාන රංගනයෙන් සම්බන්ධ වේ.

ගජමෑන් පත්තරෙන් හෝල් එකට

ගජමෑන් යනුවෙන් හැඳින්වෙන එක්තරා තරුණයකු වටා මෙම සිනමා පටය දුවයයි. ගජමෑන් සහ ඔහු ගේ ගම්මානයේ ජීවත්වන තවත් පුද්ගලයන් අතර සිදුවන සිද්ධි දාමයක් වටා චිත්‍රපටය නිර්මාණය වී තිබේ. මගෝඩිස්තුමා නමැති ප්‍රාදේශීය දේශපාලකයා සමීපයේ සිටින ගජමෑන්, මගෝඩිස්තුමාගේ ඡන්ද කටයුතුවලට සහාය දෙමින් ඔහුගේ සහායකයකු ලෙස සේවය කරයි. ගජමෑන්ගේ ජීවිතයේ බොහෝ දේ වෙනස් වන්නට යන්නේ මගෝඩිස්තුමාගේ දියණිය වන පද්මාවතී විදේශරටක සිට නැවත ගම්මානයට පැමිණීමත් සමගයි. ගජමෑන්ගේ සිතෙහි ඇය ගැන ආදරයක් හට ගන්නා අතර විවිධ උපක්‍රම යොදා ගනිමින් ඇගේ සිත දිනා ගැනීමටයි ඔහු උත්සාහ දරන්නේ.

ගජමෑන් පත්තරෙන් හෝල් එකට

ගජමෑන්ගේ මෙම උත්සාහයට ඔහුගේ මිතුරන් දෙදෙනා වන ඇම්ඩා සහ ලපයාගේ සහාය ද ලැබේ. ගජමෑන් සිනමාපටය ගෙනෙන්නේ, ඔවුන් එක්ව පද්මාවතීගේ සිත දිනා ගැනීමට උත්සාහ කරන ආකාරයත්, ඒ අතරතුරදී ඔවුන්ට මුහුණ දීමට සිදුවන නොසිතූ කරදරවලින් බේරෙන ආකාරයත් පාදක කොට ගෙනයි. සිනමාපටයේ චරිත සඳහා හඬ මුසු කරන්නට පොඩි මල්ලී සහ චූටි මල්ලී යුගලයේ මූලිකත්වයෙන් ජනප්‍රිය හාස්‍ය ශිල්පීන්, නළු නිළියන්, රේඩියෝ නිවේදකයන් රැසක් එකතු වී තිබේ.

ගජමෑන් පත්තරෙන් හෝල් එකට

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ගජමෑන් සඳහා හඬ මුසු කරන්නේ ගාමින්ද පියවිරාජ් විසිනි. සුනෙත් චිත්‍රානන්දගේ හඬින්, ඇම්ඩාගේ චරිතය රසවත් වී තිබේ. රෂී ප්‍රබෝදා පද්මාවතී චරිතයටත්, අනුරාධ සිගේරා කට්ටඩිගුරා චරිතයටත්, යුරේනි නොෂිකා ‘ස්වීටි’ චරිතයටත් එක්ව තිබෙනවා. මගෝඩිස්තුමා වෙනුවෙන් හඬ මුසුකර තිබෙන්නේ අප අතරින් පසුගියදා සදහටම සමුගත් සංගීත ලෝකයේ ‘ලෙජන්ඩ්’ ලෙස හැඳින්වූ ජනප්‍රිය සංගීතඥයකු වූ සුනිල් පෙරේරා විසිනුයි.

ගජමෑන් පත්තරෙන් හෝල් එකට

රංගන ශිල්පිනි දමිතා අබේරත්න හඬ කවන්නේ මගෝඩිස්තුමා ගේ බිරිඳගේ භූමිකාවටයි. ඊට අමතරව Gehan Block, Dino corera, දිලාන් සේනානායක සමගින් රේඩියෝ නිවේදකයන් දෙපළක් වන DJ Ara – Pasbara වැනි ජනප්‍රිය පුද්ගලයන් කිහිපදෙනකු ද මෙම චිත්‍රපටයේ සෙසු චරිත හඬකවන්නට සම්බන්ධ වී තිබේ. ගජමෑන් තිර පිටපත රචනය සිදුකොට තිබෙන්නේ ද මෙහි ප්‍රධාන චරිත ද්විත්වයට හඬ මුසු කරන ගාමින්ද පියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද දෙනාගේ එකතුවෙනි. චාමික ජිනදාස චිත්‍රපටයේ නිෂ්පාදකවරයායි. ගජමෑන් හි සංගීත අධ්‍යක්‍ෂණය අනුෂ්ක උදාන (wasthi) විසිනි.

ජනවාරි මස 20 වැනිදා සිට මෙම සිනමා නිර්මාණය E A P සහ රිද්ම මණ්ඩලයේ සිනමාශාලා රැසක තිරගත කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment