ගජේන්ද්‍රකුමාර්ගේ ආධාරකරුවෝ 2ක් අද තෙක් රිමාන්ඩ්

113

දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාගේ කාන්තා දේශපාලන අංශයේ ප්‍රධානියා වන සර්ගුණදේවි ජගතීස්වරන් නමැත්තිය සහ තවත් ආධාරකරුවකු වන පී. උදයසිවම් පොලිසිය විසින් 5 දා අත්අඩංගුවට ගෙන තිබේ.

කිළිනොච්චිය මරදන්කේණී පොලිසිය විසින් මේ දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්ත්‍රීවරයා සමග ගොස් අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන පාසලක රැස්වීමක් පැවැත්වීම හා පොලිසියේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේය.

අත්අඩංගුවට ගත් ඔවුන් කිළිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද (ජූනි 7දා) දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළ කිළිනොච්චිය මහෙස්ත්‍රාත්වරයා එදිනට ඔවුන්ගේ වෛද්‍ය වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද පොලිසියට නියෝග කළේය. මරදන්කේණී පොලිසිය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර දෙමළ ජාතික ජනතා පෙරමුණේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඊයේ (6දා) මරදන්කේණි පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇති නමුත් ඔහු මාධ්‍යයට පවසා ඇත්තේ තමන්ට පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වීමට අවශ්‍ය නිසා තමන් එහි යන බවයි. මේ පිළිබඳව තමන් නියෝජ්‍ය කථානායකවරයාට දැනුම් දී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment