ගජේන්ද්‍ර කුමාර් අත්අඩංගුවට ගත්තේ මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කරලා – විපක්‍ෂ නායක සජිත්

176

අත්අඩංගුවට ගන්නා බව මට කලින් කිව්වා – කථානායක

පාර්ලිමේන්තු රැස්වීම් සඳහා පැමිණෙමින් සිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා අත්අඩංගුවට ගැනීම ඔහුගේ මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් පාර්ලිමේන්තුවේ දී ඊයේ (07දා) සඳහන් කළහ.

කෙසේ වෙතත් කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසියේ ප්‍රධානීන් තමාට කල් තියා දැනුම් දුන්නේ යැයි ද පොලිසියේ රාජකාරි කටයුතුවලට බාධා කිරීමට හැකියාවක් නැතැයි ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ සම්බන්ධයෙන් පැවසීය.

එහිදී ඇති වූ කතා බහ මෙසේය-

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා-

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔහුගේ දේශපාලන මතය, ප්‍රතිපත්තීන් සහ දේශපාලන හැසිරීම් සම්බන්ධයෙන් අපට යම් පරස්පරතාවයක් තිබෙනවා. ඒ සිද්ධිය ගැන නොවෙයි මම කතා කරන්නේ. මන්ත්‍රීවරයකු ලෙස ඔහුට වරප්‍රසාද තිබෙනවා. නමුත් ඔහුට මේ සභාවට පැමිණ ඔහුගේ වරප්‍රසාද ගැන කතා කරන්න අයිතිය තිබෙනවා. එහෙම ප්‍රතිපාදන තිබියදීත් අපට දැන ගන්න ලැබී තිබෙනවා ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා. එතුමා ඔබතුමාටත් කතා කරලා තියෙනවා, පාර්ලිමේන්තු සැසිවාරයෙන් පසුව එම පොලිස් ස්ථානයට ගිහින් ඒ කටඋත්තර ලබා දෙනවා කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පැහැදිලිව ප්‍රකාශයක් කර තිබෙනවා. එතුමාට අයිතියක් තිබෙනවා මේ සභා ගර්භයට පැමිණෙන්න. මේ සභාවට එද්දී ඔහු අත්අඩංගුවට ගන්න බැහැ. මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරන්න කටයුතු කරන්න කියලා කථානායකතුමා ඒ අංශවලට උපදෙස් දෙන්න.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීතුමා මටත් කතා කළා. පාර්ලිමේන්තුවට පැමිණිලා ප්‍රකාශයක් කරලා ඊට පස්සේ ඒ කට උත්තරය දෙනවා කියලා. ඔහු සාමකාමී මන්ත්‍රීවරයෙක්. ඔහුට ආරක්ෂකයන් නැහැ. උතුරේ මන්ත්‍රීවරයකු වෙලත් ආරක්ෂකයන් නෑ. මෙතන සමහරුන්ට නම් ආරක්ෂකයෝ පහ හය ඉන්නවා. ඔහු හැමතැනම යන්නේ ඩ්‍රයිවර් එක්ක විතරයි. එතුමා අත්අඩංගුවට අරගෙන තියෙන්නේ පාර්ලිමේන්තුවට එද්දී. එහෙම කරන්න බැහැ. පාර්ලිමේන්තුවට එද්දී යද්දි මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීම වැරදියි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා-

පොලිසියේ ඉහළ නිලධාරීන් මට මේ සිද්ධිය වාර්තා කළා. උසාවියට කරුණු වාර්තා කරලා කුමාර් පොන්නම්බලම් මන්ත්‍රිතුමා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව දැනුම් දුන්නා. නමුත් එතුමාට පාර්ලිමේන්තුවට පැමිණීමට ඇති අයිතියට බාධා කරන්න කිසිම කෙනකුට බෑ. පොන්නම්බලම් මන්ත්‍රීතුමාත් පොලිසියේ අයත්, ඩීඅයිජී මහත්තයාත් මේ සම්බන්ධයෙන් මට කතා කළා. අද ඔහු කිලිනොච්චි උසාවියට ඉදිරිපත් කරලා ආපහු පාර්ලිමේන්තුවට සහභාගි කරනවා කියලා කිව්වා. ඒක තමයි ඒ අයගේ සැලැස්ම. ඒ නිසා රාජකාරියට බාධා කරන්න අපිට බැහැ. එතනට ගෙනිහින් උසාවියට ඉදිරිපත් කිරීම ඒ අයගේ වගකීමක්. ඒ තත්ත්වය තමයි වාර්තා වෙලා තියෙන්නේ.

ශානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා-

මේක ගජේන්ද්‍ර කුමාර් මන්ත්‍රීවරයා ගැන තිබෙන ප්‍රශ්නයක් නොවෙයි. පසුගිය කාලයේ අපි දැක්කා මිනීමැරුම් චෝදනා තිබෙන මන්ත්‍රීවරුන් මේ සභාවට ආවා. කරු ජයසූරිය කථානායකට පහර දෙනවා, මයික් කඩනවා, පුටු කඩනවා දැක්කා. ඒත් ඒවාට විරුද්ධව පියවර ගත්තාද? මර්වින් සිල්වා ගස් බැන්දා, අරගලයට ගැහුව, කාවද අත්අඩංගුවට ගත්තේ. මේ රටේ නීති දෙකක් ක්‍රියාත්මක වෙනවා. ගජේන්ද්‍රන් කුමාර්ගේ පියාව වෙඩි තියලා මරලා දැම්මේ පොලිසියෙන්. ඒ නිසා ඔහුට පොලිසිය දැක්කහම සැකයක් ඇතිවෙන එක සාධාරණයි. අද ඔහුගේ වරප්‍රසාද මතු කරන්න තමයි පාර්ලිමේන්තුවට එන්න ආවේ. ඒත් එන්න දුන්නේ නෑ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment