ගණිකා මඩම් ගැන අනූෂා සැරට කිව්ව කතාව

896

පසුගිය 22 වැනිදා රාත‍්‍රියේ ‘දිවයින’ කාර්යාලයට ඇමතුමක් ලැබුණා හෙට (23 වැනිදා) මම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කරන්න යනවා මේ කටයුත්ත ඔබේ පුවත්පත මගින් වාර්තා කරන්න පුළුවන්ද කියලා. මේ කටහඬ ටිකක් අපට හුරුපුරුදු යි. ඇය නමින් අනුෂා දමයන්ති. ඇත්තටම ඇය මේ කරන්න යන පැමිණිල්ල මොකක්ද අපි 23 වැනිදා මේ කටයුත්ත වාර්තා කරන්න ගියා. පැමිණිල්ල සිදු කරමින් ඇවිත් ඇය මාධ්‍යයට ප‍්‍රකාශයක් සිදු කළා. එවිට ඇය පැවසූවේ මුහුණු පොත හරහා මට රජයේ ප‍්‍රබල ඇමැතිවරයෙකුගේද නම භාවිත කරමින් මඩ ප‍්‍රචාරයක් සිදු කර තිබෙන බව. මේක ලෙහෙසි පහසු මඩ ප‍්‍රචාරයක් නම් නොවේ.

අනූෂා දමයන්ති ගණිකා මඩමක් එහෙමත් නැතිනම් ගණිකා ව්‍යාපාරයක් ඇයගේ නිවසේ සිදු කරගෙන යනවා. මෙය වැටලීමට ගිය වලාන දූෂණ මර්දන ඒකකයටද ඇය ඇමැතිවරයෙකු හරහා බලපෑමක්ද සිදු කළ බවයි. ඇත්තටම ඇය මෙහෙම දෙයක් කළාද? එහෙනම් ඇයි මේ වගේ කතාවක් පැතිර ගියේ. සාමාන්‍යයෙන් ගින්නක් නගින්නේ නැහැ දුමක් නැතිව. මොනව වුණත් ඇය නම් කියන්නේ මේ කතාව අමූලික බොරුවක් කියලයි. මේ වැඬේ කරපු පුද්ගලයා නීතිය ඉස්සරහට ගෙනල්ලා තමයි ඇය පස්ස බලන්නේ කියලයි මාධ්‍යයට කිව්වේ. ඒ කතාව කියලා සතියක් ගත වෙන කොට විවිධ කතා පැතිර යනවා. ඒවාට උත්තර හොයාගන්න අපි අනූෂා දමයන්ති ඇමැතුවා. ඒ වෙලාවේ අපිට අනූෂා ටිකක් සැරම උත්තර දුන්නා. මෙතැන් සිට පෙළගැසෙන්නේ ඒ කතාවයි. මේ පිළිබඳ වැඩිදුර කතාව ‘‘දිවයින’’ ඔන්ලයින් යූ ටියුබ් නාලිකාව මගින්ද නැරඹිය හැකිය.

මේ දිනවල සමාජ මාධ්‍යවල ‘යූ ටියුබ් නාලිකාවල’ වෙබ් අඩවිවල ඔබ හරි ජනප‍්‍රිය මාතෘකාවක් බවට පත්වෙලා. අලූත් ව්‍යාපාරයක් පටන්ගත්තා කියලයි කියන්නේ?

මට හිතාගන්න බැහැ මිනිස්සුන්ට මේ වගේ සාපරාධී නින්දා අපහාස තව කාට හරි කරන්න පුළුවන්ද කියලා. මම හීනෙකින්වත් හිතුවේ නැහැ මේ වගේ දෙයක්. මම ඇත්තටම දැනගත්තේ ජූලි 22 වැනිදා. හැබැයි ජූලි 17 වැනිදා තමයි එක්තරා වෙබ් අඩවියක ඉතා නින්දිත අපහාසයක් මට කරලා තිබුණේ. මේ වෙබ් අඩවිවල නමවත් කියන්න හොඳ නෑ මොකද එතකොට ඒ නම සොයලා බලන කොට ඔවුන්ට තව විවර්ස්ලා වැඩි වෙනවා. අපි මේ වගේ තුට්ටුදෙකේ වෙබ් අඩවිවලට ඒ වගේ උදව් කරන්නේ මොකටද. ඉතිං ඒ අපහාසයේ දී කෙලින්ම මගේ නම අනුෂා දමයන්තිගේ කියලා සඳහන් කරලා තිබුණා. ඒ වගේම තවත් රජයේ ඇමැතිවරයෙකුගේ මාමාත් ඈදලා තිබුණා. ඒ වගේම වලාන දූෂන මර්දන ඒකකයේ නමත් සඳහන් කරලා තිබුණා. ඉතාමත් නින්දිත විදිහට මේ සමාජයේ කාන්තාවකට කරන්න පුළුවන් ඉහළම නින්දාව මට කළා කියලා හිතන්න පුළුවන්. මම ගණිකා නිවාසයක් පවත්වාගෙන යනවා කියලයි දාලා තිබුණේ.

ඒ කතාව කියන්න බැහැ කෙනෙකුට තේරෙනවා මේක දේශපාලන පළිගැනීමක් කියලා. ඒකයි නම් ගම් දාලා මේ වගේ පුවත් පළ කරලා තිබුණේ රජය අපහසුතාවයට පත් කරන්න. ඇමැතිවරයාට මඩ ගහන්න. මට මඩ ගහන්නෙයි මේක කරලා තියෙන්නේ. සියල්ල පැහැදිලි වෙන තැනක් හැබැයි. මම සී. අයි. ඞී. එකට ගියේ මෙවැනි සිදුවීමකදී කවදාවත් නිහඬ වීම සුදුසු නැති නිසා. කලා ලෝකයේ කාටහරි සිද්ධවෙන පළමු සිදුවීම නෙමෙයි මේක. මීට කලිනුත් අපේ කලාකරුවන්ට මුහුණු පොත හරහා බොහෝ නින්දා අපහාස සිද්ධ වුණා. ඒ වගේම මේ රටේ කාන්තාව සහ දරුවා ඉතාමත්ම ලිංගික හිංසනයට පත්වෙනවා. කාන්තාවකට ඉවසිය නොහැකි තරම් දේ වෙබ් අඩවිවලින් සිද්ධ වෙනවා. ඇත්තටම සමාජ මාධ්‍ය කියන්නේ සමාජය දැනුවත්වීමට ලොකු උපකාරයක් වෙනවා. හැබැයි සමහරු කරන දේවල් හින්දා ඉතාම කනගාටුදායක තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. ඉතිං ඒ සියල්ලටම විරුද්ධව එවැනි දේ කරන මිනිස්සුන්ට එරෙහිව මෙවැනි දූෂකයන්ව නීතිය හමුවට පමුණුවලා අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්න කියන ඉල්ලීම කරන්නයි මට අවශ්‍ය වුණේ.

⋆ ඔබ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිල්ලේ බලාපොරොත්තු වෙන සාධාරණය මොකක්ද?

මම ඔවුන් ඉදිරියේ පැමිණිල්ලට ගිහිල්ලා කිව්වේ කලාකාරිනියක් විදිහට අපි මේ වෘත්තිය ඉතාමත් ගෞරවයෙන් රැකගත් පිරිසක්. අපි එක රැයින් ජනප‍්‍රිය වෙලා මෙතැනින් බැහැලා යන්න ආපු පිරිසක් නෙමෙයි. අපි හරි අමාරුවෙන් දුක් විඳලා ගෞරවනීය විදිහට තමයි මේක ඇතුලේ ජීවත් වුණේ. ඉතිං එවැනි ආත්ම ගරුත්වයක් තියෙන මට කාටහරි අයිතියක් තියෙනවාද? එක පෑන් තුඩකින් මේ වගේ ලොකු නින්දාවක් අපහාසයක් සිදු කරන්න. හීනකින්වත් හිතුවේ නැති මෙවැනි සාපරාධි නින්දිත වැඩක් කරන්න කාටහරි අයිතියක් තියෙනවාද? මාව මැරුවත් කමක් නෑ, හැබැයි චරිතය ඝාතනය කරන්නේ නැතිව? මේක මිනීමැරුමක් හා සමානයි. මට පවුලක් තියෙනවා. මට මගේ අයියා ඉන්නවා. අයියාගේ දරුවෝ දෙන්නා ඉන්නවා. අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, මගේ නෑදෑ හිතවතුන් ඉන්නවා. මාව අඳුරන ලොකු පිරිසක් ඉන්නවා. මාව අඳුරන පිරිස ඉහළයි. හැබැයි ඔවුන් දන්නවා මගේ ගෞරවය රැකගෙන තමයි මේ ගමන ඇවිත් තියෙන්නේ කියලා.

⋆ ඔබේ පවුලේ අය සහෝදර කලා කරුවන් මේ සිද්ධිය ගැන මොනවද කිව්වේ

අනේ නැහැ මාව දන්න අය දන්නවා. අනූෂා ගණන් ගන්න එපා අපි එදා මෙදා තුර ඔයා ගැන දන්නවානේ. ඔයා එක වචනයක් අහපු නැති ළමයෙක් නේ. ඔයා කලබල වෙන්න එපා කියලා. අනික මට වඩා මගේ පවුලේ අය ශක්තිමත්. මේ වගේ බාල වැඩවලින් මාව වට්ටන්න බෑ. මම තවත් ශක්තිමත් වෙලා සමස්ත කාන්තාවන් වෙනුවෙන් කතා කරන්න ශක්තියක් ගොඩනැ`ගුණ එක විතරයි සිද්ධ වුණේ. මෙවැනි මේ දේශපාලන පළිගැනීම් හරහා මාව වට්ටන්න බැහැ.

⋆ මේ ප‍්‍රශ්නයට ඇයි ඔබ දේශපාලනය කියන මාතෘකාව ඇඳලා ගත්තේ?

anusha2

මේක පැහැදිලිවම දේශපාලන පළි ගැනීමක් කියලා කියන්නේ විශේෂ හේතුවක් හින්දා. මගේ සිිද්ධියේදී කරුණු කාරණා තුනක් එල්ල වෙනවා. අනූෂා දමයන්ති, රජයේ ඇමැතිවරයෙක්, වලාන දූෂන මර්දන ඒකකයට අත දික්කරනවා. එතකොට ඒ කියන එක ලියන්නේ මහින්ද රාජපක්‍ෂ කඳවුර රජ කරවන්න වේදිකාවක් වේදිකාවක් ගානේ බුදුබණට හීලෑ වුණ යක්කු බොලව් කියලා හඬ කියලා. පටන්ගන්නේම එතැනින්. අනික මේක යන්නේ දේශපාලනය ගැන කතා කරන වෙබ් අඩවියක. දැවැන්ත මඩ ප‍්‍රහාරයක් එල්ල කරන්න.

⋆ ඔබ මේ සිද්ධියට අදාළ ඇමැතිවරයාට කතා කළේ නැතිද?

මම මේ සිද්ධිය දැනගත්තේ පසුගිය 22 වැනිදා. එතුමාගේ දුරකථන අංකය හොයාගෙන මම එතුමාට කතා කළා. එතුමා කතා කරල කිව්වේ අනේ අනුෂා හරි කනගාටුයි ඔයාට වුණ මේ සිදුවීම ගැන. මම වලාන දූෂණ මර්දන ඒකකයෙන් විමසුවා එවැනි පුංචි හෝ සිදුවීමක් සිදුවෙලා ද කියලා. ඔවුන් පැවසුවා නැහැ කියල. ඔබට මේ වුණු සිදුවීම සී. අයි. ඩි.යට ගිහින් පැමිණිල්ලක් දමන්න. මේ ගැන කටයුතු කරලා මෙවැනි මඩ ප‍්‍රහාරකයන් අධිකරණය ඉදිරියට ගේනවා කිව්වා.

⋆ අනුෂා මෙතැන තියෙන බරපතළම කාරණාව වලාන දූෂණ මර්දනයේ නම සඳහන් කිරීම. මීට පෙර ප‍්‍රවෘත්තිවල එහෙම නමක් සඳහන් කරලා තිබුණේ නෑ. ඒක හරි බරපතළ චෝදනාවක්?

ඒක තමයි මම කිව්වේ බය නැතුව රජයට මේ අත දිගුකරන්නේ වලාන දූෂණ මර්දන ඒකකය කියන්නේ මේ රටේ දූෂණ දේවල් අල්ලන්න තියෙන ඒකකයක්. ඉතිං එවැනි ඒකකයකට කෙලින්ම අත දිගු කරලා පුවත් දමන්න කාටද අයිතියක් තියෙන්නේ. අනිවාර්යයෙන් මේ රටේ නීතිය කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ ඇමැතිවරයා මේ නීතිය අතට අරගෙන කියලානේ කියන්නේ. මේක තිර රචනයක්. මේ හදන්නේ බොරුවක්නේ. මේ මම ඉල්ලන්නේ මගේ මානව අයිතිවාසිකම. මගේ ආත්ම ගරුත්වය තියාගෙන කොන්ද කෙලින් තියාගෙන මෙවැනි දූෂක මිනිසුන් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්න කියන සටන මම කරනවා පෑන් තුඩකින් කොයි තරම් හානියක්ද මේ සිද්ධ කරන්නේ.

⋆ ඔබට සාධාරණයක් ඉෂ්ඨවෙයි කියලා විශ්වාසද?

මේ රටේ මේ වෙලාවේ තියෙන ලොකුම ප‍්‍රශ්නය මේක නෙවෙයි. මේ රටේ දහස් ගණනක් මිනිස්සු හෙට දවස ජීවිතය සරිකර ගන්න ජීවිතයත් එක්කම සටන් කරනවා. මේ රටේ නීතියට හෝ මේ රජයට හෝ වේවා විවිධ ප‍්‍රශ්න මේ වෙලාවේ තියෙනවා මේ වගේ නින්දිත දේවල් කරන්න කාලයක් වෙන් කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. හැබැයි මම හිතනවා මෙවැනි දේවල්වලට වාරණයක් නියාමනයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි කියලා. අද මේ රටේ මේ සිද්ධිය මට වුණාට හෙට මේ සිද්ධිය කාටහරි ඇති වෙන්න පුළුවන්ද? කලාකරුවන්ට දේශපාලනඥයන්ට වෙන්න පුළුවන් අපි මේ අහන්නේ එක සිද්ධියක් විතරයි. දවසට මේ වගේ පැමිණිලි කීදාහක් එනවද? කී දාහක් විසඳන්නේ නැතිව තියෙනවාද? මේ වෙනුවෙන් කී දාහක් සිය දිවි නසා ගෙන තියෙනවාද? ඇයි මට අද මේ ප‍්‍රශ්නය කතා කරන්න වෙලා තියෙන්නේ.

⋆ ඔබ ඔය කියන්න හදන්නේ මේ රටේ නීතිය කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ කියලද?

නීතිය කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ කියලා නෙමෙයි. නීති සම්පාදනය වෙලා නැහැ මේ වගේ දේවල්වලට. මේ රටේ සමාජ මාධ්‍යයට කිසිදු නියාමනයක් නැහැ. ලෝකයේ වෙනත් රටවල සමාජ මාධ්‍යයට නියාමනයක් තියෙනවා. සමහර රටවල ෆේස්බුක් කියල එකක් නැහැ, තහනම් ටික්ටොක් කියලා එකක් නැහැ තහනම්.

⋆මේක ඔබේම ගෙතුමක් එහෙමත් නැතිනම් සැලසුමක් කියලත් තැන තැන කතා කරනවා. අනුෂා දමයන්ති කියන නම හිට්වෙන්න කරපු වැඩක් නොවෙයි නේද?

මගේ මුළු පරම්පරාවම හොඳ බුද්ධාගම. අපි මෙවැනි ක‍්‍රියා හීනෙකින්වත් නෙවෙයි උපන් සංසාරෙවත් කරන්න ප‍්‍රාර්ථනා කරන්නේ නැහැ. ඇයි මම මෙවැනි දේවල්වලින් පැටලී සිටිය යුත්තේ. මේ රටේ මිනිස්සු මගේ දක්ෂකම අගය කළා. අද මම මෙතැන ඉන්නේ මේ රටේ ජනතාව මාව පිළිගත්තු නිසයි. මේ රටේ සියලූම විiුත් හා මුද්‍රිත මාධ්‍ය මා ළඟින් ඉඳලා මගේ නර්තනයට හා රංගනයට වටිනාකමක් ලබාදුන්නා. ඔවුන් තමයි මගේ ලොකුම සම්මානයන් බවට පත්වුණේ. මට අලූතෙන් ජනප‍්‍රිය වෙන්න වුවමනා නැහැ. අනික මෙවැනි නින්දිත විදිහට ඇයි මම ජනප‍්‍රිය වෙන්නේ. මොකක්ද මට ජනප‍්‍රිය වෙන්න තියෙන්නේ. එවැනි දේවල් හිතන මිනිසුන්ගේ මානසික මට්ටම ගැනයි හිතන්නේ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment