ගණිකා වෘත්තිය මඟහැරි කතට හිමිකාරියගෙන් ගුටි බැට

875

ගණිකා වෘත්තියේ යෙදීමට නොපැමිණීම නිසා එක් දරු මවකගේ නිවසට ගොස් පහරදී ඇයගේ ජංගම දුරකථනය කොල්ලකෑම සම්බන්ධයෙන් ගණිකා මඩම පවත්වා ගෙන ගිය හිමිකාරිය හා තවත් කාන්තාවක් අත්අඩංගුවට ගත් බැව් වඳුරඹ පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ, රන්දොඹේ හා ඌරගහ ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකි. අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ හෝටලයක මෙකී ගණිකා නිවාසය පවත්වා ගෙන ගොස් ඇත. ගණිකා නිවාසය පවත්වා ගෙන ගිය කාන්තාව 52 හැවිරිදි වියේ පසුවන තැනැත්තියකි. පහර කෑමට ලක්වූ කාන්තාව 22 හැවිරිදි වියේ පසුවන අතර ඇය මෙකී ගණිකා නිවාසයේ මාසයක පමණ කාලයක් සේවයේ යෙදී සිට ඇත. මෙකී කාන්තාවගේ සැමියා මත්කුඩු ජාවාරම් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින අතර ඔහු බැලීම සඳහා බන්ධනාගාරයට යන එන අතරතුරේ ගණිකා නිවාසයේ හිමිකාරිය හඳුනාගෙන ඇත.

පසුව ගණිකා නිවාසයේ හිමිකාරිය විසින් ඇයට රැකියාවක් ලබාදෙන බව පවසා මෙකී කාන්තාව කැඳවාගෙන ගොස් ගණිකා වෘත්තිය සඳහා යොදවාගෙන ඇත. සේවය ලබාගැනීම සඳහා පැමිණෙන එක් අයකුගෙන් රු. 5000ක මුදලක් අයකොට ඇති අතර ගණිකා නිවාසයේ හිමිකාරිය ඉන් රුපියල් 3500 ක් තබාගෙන රු. 1500ක් පහර කෑමට ලක්වූ කාන්තාවට ලබාදී ඇත.

මාසයක පමණ කාලයක් ඇය මෙම ගණිකා නිවාසයේ සේවය කොට නිවසට පැමිණ ඇත. ඇය යළි මෙකී ගණිකා නිවාසයට නොපැමිණිම නිසා ගණිකා නිවාසයේ හිමිකාරිය හා තවත් කාන්තාවක් මෙම කාන්තාවගේ නිවසට ගොස් ඇත. යළි ගණිකා වෘත්තියේ යෙදීම ඇය ප්‍රතික්ෂේප කොට ඇත. ඉන් කෝපයට පත් ගණිකා නිවාසයේ හිමිකාරිය හා අනික් කාන්තාව මෙම කාන්තාවට පහරදී ඇයගේ ජංගම දුරකථනය කොල්ලකා ගෙන ගොස් ඇත. පහර කෑමට ලක්වූ කාන්තාව පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. එම කාන්තාවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

වඳුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි.ඩී. සී. ක්‍රිෂාන්ත, උ.පො.ප. එන්.ඒ. අමරතුංග, කා.පො.සැ. 5313 තුෂාරි සහ පො.කො. 28869 තිලකරත්න යන නිලධාරීන් හා නිලධාරිනිය කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment