ගන්දර අනංගයා

2047

(මෙයින් අප‍්‍රසාදයට පත්වන්නේ ආණ්ඩුවය.)

ගන්දර පොලිසියේ ඕ අයි සී ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද අරවින්ද අර්ජුන විජේසිංහ නමැත්තා අසාමාන්‍ය මෝල් අමාරුකාරයෙකි. ඔහු පසුගියදා ස්වකීය පොලිස් නිල නිවාසය තුළදී ආධුනික පොලිස් කාන්තාවකට බලහත්කාරකම් කර ඇය දූෂණය කරන්නට තැත් කළේය. එහෙත් පොලිස් නිවස්නයෙන් පැනගත් පොලිස් කාන්තාව ඉතා කදිම ලෙස මොළය පාවිච්චි කර ගැළවුණා පමණක් නොව පසුව ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත. මේ යෝධයා මේ වනවිට රිමාන්ඞ් භාරයේ පසුවෙයි. පොලිස් කාන්තාවගේ මුල්ම පත්වීම ගන්දර පොලිසියයි. ඇය වැඩ භාරගෙන මාස තුන හතරකට වඩා ගතවී නැත.

ගන්දර පොලිස් පරිශ‍්‍රයේ පිහිටා ඇති පොලිස් භට නිවාසයේ පදිංචි ඇය නත්තල් දවසේ උදෑසන සේවා මුරය නිමකර පැමිණ ඇඳුම් සෝදා වැලේ වනමින් සිටියා ය. එවිට ඇයට පේන මානයේ පිහිටි පොලිස් ස්ථානාධිපති නිල නිවසේ සිටි ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අනංගයා ඇයට කතා කළේය. තම ප‍්‍රධානියා රාජකාරියක් වෙනුවෙන් අඬගසන බව සිතූ පොලිස් කාන්තාව අනංගයාගේ නිල නිවසට ගිය අතර ඔහු වහා පැන කසිප්පු බූලි දෙකක් රැගෙන දිව යන කසිප්පුකාරයකු බදා ගන්නා පරිදි පොලිස් කාන්තාව බදාගෙන ඇයට ලිංගික හිරිහැර කිරීමට පටන්ගෙන ඇත. මෙය උදේ ඉර පායන වෙලාවට මෝල් අමාරුව තද වීමෙන් හටගන්නා සංකූලතාවක් ලෙස විග‍්‍රහ කළ හැකි නමුදු පොලිසියක් තුළ උසස් පොලිස් නිලධාරියකු විසින් තමා යටතේ සිටින පොලිස් කාන්තාවකට කළ අතවරයක් නිසා කිසිසේත්ම සුළුකොට තැකිය යුතු නොවේ. ගන්දර පොලිස් අනංගයා පොදුජන එක්සත් පෙරමුණේ මාතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී කංචන විජේසේකරගේ දැඩි බලපෑම මත පොලිස් ස්ථානාධිපති තනතුර ලබාගෙන ඇතැයි දැනගන්නට තිබේ. ඒ මදිවට මේකා පොලිස් ඇමැති සරත් වීරසේකරගේ ඥාතියෙක්ලූ.

අනංගයාගේ කුණු හැසිරීම සම්බන්ධයෙන් කංචන විජේසේකර හෝ සරත් වීරසේකර වගකිව යුතු නැති බව අපගේ ශුද්ධ වූ විශ්වාසයයි. ගන්දර අනංගයා මීට කලින් ද විවිධ චෝදනාවලට ලක්වූ තැනැත්තෙකි. මේකා දේශපාලන අතකොළුවක් ලෙස පාවිච්චි කළ හැකි බැවින් හෝ නීතිගරුක නිලධාරියකු ලෙස යොදා ගත හැකි බැවින් හෝ ගන්දර පොලිසියේ ලොක්කා ලෙස පත්කිරීමට සුදුසු යැයි කංචන හිතන්නට ඇති. එහෙත් කිසි කලකත් මෝල් අමාරුව සාධකයක් වශයෙන් ගෙන ස්වකීය නම කා දැමීමට ඔහු වැඩ කරනු ඇතැයි කංචන නොසිතන්නට ඇති. සරත් වීරසේකර නම් මීට කිසිසේත්ම වගකිව යුතු නැත. අපත නෑදෑයෝ කොයි කාටත් කවදත් සිටියහ. උන් එදත් සිටියහ. අදත් සිටිති. හෙටත් සිටිනවා ඇත.

පොලිසිය විසින් කාන්තාවන් අපහරණය කෙරුණු පළමු සිද්ධිය ගන්දර අනංගයාගේ සිද්ධිය නොවේ. 1971 අපේ‍්‍රල් කැරැුල්ල පැවැති සමයේදී එයට සම්බන්ධ තරුණියන් පොලිස් අත්අඩංගුවට පත්වූ විට පුරුද්දක් වශයෙන් අපහරණයට ලක් කිරීම හෝ දූෂණය කිරීම සිදුකරන ලදී. 1988 – 1989 වකවානුවේදී ජනතා විමුක්ති පෙරමුණ පේ‍්‍රමදාස ආණ්ඩුවට එරෙහිව නැගී සිටි අවස්ථාවේදී අත්අඩංගුවට ගන්නා ලද ජ වි පෙ ක‍්‍රියාකාරිනියන් විශාල ප‍්‍රමාණයක් දූෂණය කර මරා දමන ලදී. මෙයට එක් උදාහරණයක් ලෙස වවුල්කැලේ සමූහ සංහාරය දැක්විය හැකිය. 1989 දී සිදු වූ මෙම සමූහ සංහාරයේදී වීරඟුල පොලිසියේ හිටපු ඕ අයි සී තුමා තරුණයන් සහ තරුණියන් විශාල පිරිසක් පැහැරගෙන ඔවුන් වවුල්කැලේට ගෙනගොස් වෙඩි තබා පණ යන්නටත් පෙර පුළුස්සා දැමුවේය. ඝාතනය කිරීමට පෙර එක් තරුණියකගේ රහස් ප‍්‍රදේශයට සිය පිස්තෝලය ඇතුළු කළ ඕ අයි සී කොකා ගස්සන බවට තර්ජනය කළැයි සාක්ෂි තිබේ. මේ පිළිබඳ නඩුව විභාග කරන අතරතුරේදී උසාවියේ සිටි සෙනග අතුරින් මතු වූ නාඳුනන තරුණයෙක් ඕ අයි සී ටත් ඔහුගේ මාමණ්ඩියටත් වෙඩි තබා මරා පලා ගියේය.

දැනගන්නට ඇති පරිදි කෙළින්ම කටුනායක ගුවන් තොටුපළට ගිය මේ තරුණයා කල් තියා ලබාගත් ගුවන් ටිකට් පතකින් ජපානය බලා ගියේය. ස්ත‍්‍රී දූෂකයන්ට දඬුවම් දෙන්නා ජාතික වීරයෙකි. සුප‍්‍රසිද්ධ කොබෙයිගනේ රූ රැජින මැරුවේ ද පොලිස් පරීක්ෂකවරයකු විසිනි. ඇය 1988 කොබෙයිගනේ පැවති සිංහල අවුරුදු රූ රැජින තරගයේදී පළමු තැන දිනා ගත්තාය. ඉන්පසු තරුණ පොලිස් පරීක්ෂකයෙක් ඇයට ලව් කරන්නට පටන් ගත්තේය. තරුණිය කල්පනා කළේ මේ පේ‍්‍රමය සැබෑවක් බවය. එහෙත් පොලිස් පරීක්ෂකවරයා ඇය ලිංගික ගොදුරක් ලෙස පරිහරණය කළා මිස පේ‍්‍රම සම්බන්ධය විවාහයකින් කෙළවර කිරීමට සිතුවේ නැත. අවසානයේදී තමා විවාහ කරගන්නා ලෙස ඇය ඔහුට බල කළාය. එවිට ඔහු ඇය ඝාතනය කර සිරුර පිළිස්සුවේය. මෙය සිදුවන්නේ 1989 ඔක්තෝබර් 25 දාය. ඒ කළ තුච්ඡු වරදට මේ කියන පොලිස්කාරයා අදටත් හිරේය.

මෙයට කලකට පෙර පොලිස් ස්ථානවලට ස්ථානාධිපතිවරයා පත්කරන ලද්දේ පොලිස්පති විසිනි. අද එම පත්කිරීමේ බලය තිබෙන්නේ පළාතේ ආණ්ඩු බලය හිමි දේශපාලන පක්‍ෂයේ සංවිධායකවරයාට ය. ඔහු දෙන ලියුමට ඕ අයි සී පත්කරනු ලැබේ. සමහරවිට ලක්ෂ 5 ක පගාවක් දී ඕ අයි සී කමක් ගත හැකිය. ගන්දර අනංගයා විවිධ හුට පට නිසා තුන් වරක් ඉන්ටර්ඩික් කරන ලද්දෙකි. එහෙත් කාරුණික ක‍්‍රියාශීලී සංග‍්‍රහශීලී කංචන විජේසේකර මානුෂික මට්ටමෙන් ඔහුට උදව් කර ඔහු ගන්දර පොලිසියට ඕ අයි සී ලෙස පත්කරන්නට ඇත. දැන් ඉතිං කෙළවුණු කෙළවිල්ල මදැයි. ජනාධිපතිතුමනි මෙයින් අප‍්‍රසාදයට පත්වන්නේ ආණ්ඩුවය.

advertistmentadvertistment
advertistmentadvertistment