ගනුදෙනු නිම වීමට පෙර ඊයේ කොටස් වෙළෙඳපොළ වසා දමයි

107

කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ඊයේ (26 දා) දිනයේ ද දැවැන්ත පසුබෑමකට ලක්වීම නිසා ගනුදෙනු කාලය සමාප්ත වීමට පෙර කොටස් වෙළෙඳපොළ වසා දැමීමට සිදු විය.

පෙරේදා (25 දා) දිනයේ ද මෙලෙස ගනුදෙනු සමාප්ති වේලාවට පෙර කොටස් වෙළෙඳපොළ වසා දැමීමට සිදු විය.

දෛනික ගනුදෙනු ආරම්භ වීමෙන් පසු විටින්විට අවස්ථා දෙකකදී කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීමට කොටස් වෙළෙඳපොළ බලධාරීන්ට සිදුවූ අතර මේ අනුව ඊයේ දිනයේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සිදුවූයේ මිනිත්තු පහකටත් අඩු කාලයකි.

මේ පසුබෑම නිසා ඊයේ දිනයේ කොටස් වෙළෙඳපොළ සමස්ත මිල දර්ශකය ඒකක 608.48කින් පහත වැටී අවසානයේ එම දර්ශකය ඒකක 6905.37 ලෙස වාර්තා විය.

මේ අනුව සමස්ත කොටස් මිල දර්ශකය පෙරේදා (25 දා) දිනට සාපේක්ෂව ඊයේ (26දා) දිනයේදී සියයට 8.10කින් පසුබෑමට ලක් විය.

එසේම එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 229.58කින් පහත වැටී එම දර්ශකයේ අගය ඊයේ දිනයේදී ඒකක 2125.96ක් ලෙස සටහන්ව තිබිණි. මේ අනුව එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශක අගය ඊයේ දිනයේදී සියයට 9.75කින් පහත වැටී තිබේ.

කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ඊයේ පෙ.ව. 10.31ට සහ පෙ.ව. 11.02ට අත්හිටුවීමට සිදු වූ අතර ඉන්පසු ද කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පසුබෑම නිසා අවසානයේ කොටස් වෙළෙඳපොළ ඊයේ දිනය සඳහා වසා දමන ලදී.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment