ගමගේ මහත්තයා හර්ෂ් මල්ලිගෙ ඔළුවට පිස්තෝලය තියල ‘උඹ මොකද කියන්නේ’ කියලා වෙඩි තිබ්බා – ත්‍රිරෝද රිය තුළ සිටි සිසුවෙක් පවසයි

789

තුවාල ලැබූ ශිෂ්‍යයා
තිහගොඩ පොලිසියේ යක්‍ෂාගමනය

ළමයෙක් පොලිසිය එක්ක පොරබැදුව කිව්වොත් ලොකු විහිළුවක් – ලොකු තාත්තා කියයි

තුවක්කුව ඉබේ පත්තු වුණානම් ඔළුවට වෙඩි වැදුණේ කොහොමද – තුවාල ලැබූ සිසුවාගේ මව අසයි

“මාතර තුඩාවේ පෙරහැරේ කාවඩිවලට මොනර පිහාටු හොයන්න මමයි තව හතරදෙනකුයි ත්‍රීවීල් එකේ ගිහින් බැහැල ඉන්නකොට පිටුපසින් පැමිණි ත්‍රිරෝද රථයේ කණ්ණාඩි දාගෙන හිටපු ගමගේ මහත්තයා අපේ ත්‍රිරෝද රථයෙන් අන්තිමට බැහැපු හර්ෂ් මල්ලිගේ ඔළුවට පිස්තෝලය තියලා ‘උඹ මොකද කියන්නේ කියලා අහලා එකපාරටම වෙඩි තිබ්බා. මල්ලි ත්‍රීවීල් එකේ ඇදවැටුණා යැයි” වෙඩි වැදුණු ශිෂ්‍යයා සිටි ත්‍රිරෝද රථයේ මිතුරෙක් ඊයේ (30 දා) පැවැසුවේය.

දෙනෙත් “දිවයින” ට වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීය.

‘අපි පොලිසියෙන් එනවා දැක්කෙ නැහැ. පිටිපස්සෙන් ආපු පොලිසියේ කට්ටිය අපේ ත්‍රීවීල් එක ගාවට ආවා. ත්‍රීවීල් එක ගෙනාපු ඩ්‍රැයිවර් පොලිස් කිට් එකෙන් හිටියේ. අනිත් කට්ටිය පාට ඇඳුම් ඇඳල හිටියේ. ආයුධ තියන් හිටියේ අර කණ්ණාඩි දාගෙන හිටපු එක්කෙනයි.

මෙම වෙඩි තැබීම පසුගිය 28 දා සවස 4.30 ට පමණ තිහගොඩ පොලිස් වසමේ මිදෙල්වල කටුවනතුඩුව ගම්මානයේදී සිදුවී තිබුණි. පොලිස් වෙඩි තැබීමෙන් හරේෂ් නමැති 15 හැවිරිදි ශිෂ්‍යයාගේ හිසට බරපතළ තුවාල සිදුවී තිබිණි. එම ත්‍රිරෝද රථයේ ගමන් කර තිබුණේ අවුරුදු 14, 15, 16 යන වයස්වල ශිෂ්‍යයෝ වෙති.

සිද්ධිය පිළිබඳව දෙනෙත් මෙසේ ද පැවැසීය. ‘ගමගේ කියන එක්කෙනා තමයි වෙඩි තිබ්බේ. වෙඩි වැදීමෙන් හරේෂ් මල්ලිගේ හිසට බරපතළ ලෙස තුවාල වී වැටී සිටි නිසා පොලිසියේ අය ආපු ත්‍රීවීල් එකෙන් හරේෂ් මල්ලිව දාගෙන පොලිසියේ අයම රෝහලට අරන් ගියා.’

වෙඩි වැදුණු දරුවාගේ මව වන එම්. පී. ධම්මිකා මල්කාන්ති මහත්මිය සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කළාය.

මට ළමයි හයදෙනෙක් ඉන්නවා. මේ කරදරයට පත්වුණේ මගේ බාලම දරුවායි. දරුවා පාසල් ඇරිල ගෙදර ආවේ සවස තුනට පමණ. එයා යාලුවොත් එක්ක පුහුණු වුණා තුඩාව පන්සලේ කඨින පෙරහැරේ නටන්න. එහෙම දරුවටයි මේ අපරාධය සිදුකරල තියෙන්නේ. දැන් මට ඕන අසරණ දරුවට සිද්ධ වුණ දේට සාධාරණය ඉෂ්ට කරන්න. ඒ වගේම දරුවාගේ ජීවිතය බේරෙන්න ඕන. තුවක්කුව පත්තු වුණා කියලා කියන්න බැහැ. අර දරුවෝ කියනවා එළියට අරගෙනයි වෙඩි තිබ්බේ කියලා. නිකම් පත්තුවුණානම් ඔළුවට පත්තු වෙන්න විදියක් නැහැ.

වෙඩි වැදුණු දරුවාගේ ලොකු තාත්තා වන පී. බී. ප්‍රේමනන්ද මහතා මෙසේ පැවැසීය.

කෙනෙක් ඇවිල්ල කිව්වා පොලිසියෙන් දරුවට වෙඩි තියලා කියලා. වෙඩි වැදී තියෙන්නේ මැටි පාරක. එතකොට මෙතන දරුවො රේස් ගිහින් නැහැ. ත්‍රිවීල් එකේ ගිය ළමයි දන්නෙ නැහැ පොලිසිය ෆලෝ කරනවා කියලා. පොලිසිය එනකොට ඉස්සරවෙලාම බැස්සේ රියැදුරු අසුනේ හිටිය ළමයා. එතකොට ත්‍රිවිල් එක ඇතුළෙ ඉන්නේ ළමයි කියලා පෙනි පෙනී වෙඩි තියන්න කිසිම නිලධාරියකුට අවසර තියෙනවා ද කියලා මම දන්නේ නැහැ. ළමයෙක් පොලිසිය එක්ක පොරබැදුව කිව්වොත් ඒක ලොකු විහිළුවක්. මේකෙ හිටපු ළමයි ඔක්කොම පාසල් යන ළමයිනේ.

මම මේ ටික හරි කියන්නේ දිවයින කෙළින් කතාකරන කෙළින් ලියන පත්තරයක් නිසා. මේ සිද්ධිය ගැන සමහර නිවුස් බැලුවම වැරදි නිවුස් ගොඩක් ගියා. එක නිවුස් එකකින් තමයි දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සත්‍ය දේ කිව්වා කියලා දැක්කේ. ඊට වඩා දෙයක් කියන්න නැහැ. හැබැයි අපිට සාධාරණය ඉෂ්ට වෙන්න ඕන.

මෙම සිද්ධිය පිළිබඳ අපක්‍ෂපාතී සාධාරණ පරීක්‍ෂණයක් පවත්වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මේ වනවිට වෙඩි තැබීම සිදුකළ උප පොලිස් පරීක්‍ෂකවරයා අත්අඩංගුවට ගෙන මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 02 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සිද්ධියෙන් පසු වෙඩි වැදුණු දරුවාගේ පාර්ශ්වයෙන් තිහගොඩ සහ මාතර පොලිස් ස්ථානවලට පැමිණිලි කිරීමට ගියත් එය භාර නොගෙන තිබියදී දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ මැදිහත්වීමෙන් පසු පැමිණිලි භාර ගැනීමට පොලිස් ස්ථාන දෙකම කටයුතු කර තිබේ.
මාතර අතිරේක – ලලිත් පද්මසිරි

මාතර අතිරේක – ලලිත් පද්මසිරි

advertistmentadvertistment
advertistmentadvertistment