ගමගේ මාමාට සාපේක්ෂව  මිනිසාට වඩා තිරිසනා යහපත්ය

1102

අද අප කියන්නට යන කතන්දර දෙකෙන් එකක් මෙසේ ගලපාගත හැකිය. පසුගිය දාහතරවැනිදා රාත්‍රියෙහි තිහගොඩ පොලිසිය හදිසි වැටලීමකට තිහගොඩ, නායිම්බලට යයි. එහිදී පිරිසක් පටවාගෙන ගමන් කරන ත්‍රිරෝද රියක් පොලිසියට දකින්නට ලැබේ. පොලිසිය ත්‍රිරෝද රිය පසුපස පිඹගෙන ගොස් එක් තැනකදී එය නවත්වා ගනී. ඉන්පසු ත්‍රිරෝද රිය තුළ සිටින අය පිටතට පැමිණීමේදී එක් පොලිස් නිලධාරියෙක් එහි සිටි ළමයකුට වෙඩි තබයි. ඇතැම් තැනක කියවෙන්නේ පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙඩි තැබීම් සිදුකළ බවය. එසේම ඔවුන් සිවිල් ඇඳුම් ඇඟ ලාගෙන සිටි බවය. වෙඩිල්ල තබන ලද්දේ වැරදීමකින් බව පොලිසිය කියයි. පිස්තෝලය අතේ පත්තු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සහෝදරයා කියයි. රථය තුළ සිටි තරුණ සාක්ෂිකරුවකු කියන පරිදි වෙඩිල්ල තබා ඇත්තේ “ගමගේ නමැති පොලිස් මාමා” කෙනකි. වෙඩි ප්‍රහාරය දාහතර හැවිරිදි නව යෞවනයකුගේ හිසට වදී. ත්‍රිරෝද රියෙන් එලියට එන ළමයා ඔහුය. පොලිසියේ වාසියට මේ කතාව ගොනුකරන්නේ නම් අපට කිව හැක්කේ ගමගේ මාමාගේ පිස්තෝලය ඉබේට පත්තු වූ බවය. ගමගේ මාමා සිය පිස්තෝලය කලිසම් සාක්කුවේ දමාගෙන සිටි අවස්ථාවක ඔය කියන විදිහට මේ පිස්තෝලය පත්තු වුණේ නම් මාමාගේ පිරිමිකම අහසට විසිව ගොස් අවසන් වන්නේය. එහෙත් ගමේ මිනිසුන්ට ඇති තොරතුරු අනුව පොලිසිය හෝ ගමගේ මාමා වෙඩිල්ල තබන්නේ ඩෝප් මරගාතයෙන් හිතා මතා පිස්තෝලය එල්ලකර ය. මේ නිසා ගමේ මිනිස්සු පොලිසියට ගොස් විශාල විරෝධතාවක් සිදුක ළහ. අපගේ වැටහීමට අනුව නීතිය හරියට ක්‍රියාත්මක වන බැවින් ගමගේ මාමා මේ මොහොතේදී වැඩ තහනමට ලක්ව කූඩුවේ ලගී. වැටලීමට ගිය රාළහාමිලා සියලුම දෙනාම කූඩුගත කළ යුතුය.

අප කියන්නට යන දෙවන කතාව මෙසේය. වරල්ලේ කොස්මෝදර පොලිස් වසමේ පිහිටි උවරගල ප්‍රදේශයේ නිවසක විසිහත් වැනිදා රාත්‍රියේදී ආරවුලක් ඇතිවිය. මෙය හටගන්නේ කාන්තාවක් සහ ඇගේ දෙවන සැමියා අතරය. මෙහිදී සුළු පියා සිය බිරිඳට පිහියෙන් ඇන්නේය. එම පිහි පහර වදින්නේ අදාළ කාන්තාවගේ නව හැවිරිදි පුත්‍රයාගේ හිසටය. දරුවා වහාම රෝහලට ගෙන ගියද ඔහු මළේය. මේ සුළු පියා පිහියක් ගෙන සිය බිරිඳට අනින්නේ නම් ඔහුට අපරාධ ඉතිහාසයක් තිබෙන බව අපගේ අවබෝධය වේ. සිය මව බේරාගැනීම සඳහා කුඩා දරුවා ආරවුල මැදට පනින්නට ඇති. පිහි පහරක් හෝ වෙඩි පහරක් කුඩා දරුවකුගේ හිසට වැදීම සෙල්ලමක් නොවේ. එබැවින් ඉහත සඳහන් සිද්ධීන් දෙකට වගකිව යුතු පොලිස් නිලධාරීන්ද සුළු පියාද රිමාන්ඩ් කිරීමෙන් පසු ඔවුන්ට සුදුසු ආදර සංග්‍රහ දැක්වීම සෙසු රිමාන්ඩ් සිරකරුවන්ගේ වගකීම විය හැකිය. එහෙත් අපි එයට විරෝධය පළකරමු. සියලු දණ්ඩනයන් ක්‍රියාත්මක විය යුත්තේ අධිකරණය හරහාය.

මාසයකට මේ රටේ කාන්තාවන් සීයක් පමණ දූෂණය කෙරෙන බවත් අවුරුද්දකට මේ රටේ කාන්තාවන් දහස් ගණනක් අපහරණය වන බවත් පෙන්වා දෙමින් අපි මීට දින කිහිපයකට පෙර කතුවැකියක් ලිව්වෙමු. වැඩිදෙනා නොදන්නවාට අවුරුද්දකට ඒ ප්‍රමාණය මෙන් තිස් හතළිස් ගුණයක දරුවෝ විවිධ ලෙස අපහරණයට පත්වෙති. විටෙක එය ලිංගික අපහරණයක් විය හැකිය. තවත් විටෙක කායික වධ හිංසා පැමිණවීමෙන් සිදුකෙරෙන අපහරණයක් විය හැකිය. ළමා ශ්‍රමය ලබා ගැනීමද ළමයින් අපහරණය කිරීමකි. ළඟදී දැනගැනීමට ලැබුණු පුවතක් මෙසේය. විවාහය කැඩී යෑමෙන් පසු මවක් සිය පුත්‍රයාගේ භාරකාරීත්වය ඇගේ මවට පැවරුවාය. එකී මිත්තණිය ස්වල්ප කලකට පසු සිය මුණුපුරා වැඩකාරකමට යෙදවීම සඳහා යුවළකට භාර කළාය. මේ ගෙදර සිටි තිරිසන් යුවළගේ යට ඇඳුම් පවා සෝදන ලද්දේ පෙරකී කුඩා දරුවා විසිනි. වැඩක් වැරදුනු විට එස්ලෝන් පයිප්ප සහ හෝස් පයිප්ප වලින් එම දරුවාට දරුණු ලෙස පහරදීමට පෙරකී තිරිසන් යුවළ කටයුතු කළහ. අන්තිමේදී කුඩා පිරිමි ළමයා සිය පාසලේ පන්තිභාර ගුරුවරියටත්, ගුරුවරිය විදුහල්පතිටත්, විදුහල්පති පොලිසියටත් මේ සිද්ධිය වාර්තා කළේය. ඉන්පසු කුඩා දරුවා පරිවාස භාරයට පත්කරන ලද නමුදු ඔහු ජීවත්වූ නිවසේ එකට දීග කෑ මාර දූතිකාව සහ යමපල්ලා රිමාන්ඩ් කළේද නැද්ද යන්න ගැන අපට ආරංචියක් නැත. මේ පිළිබඳ කතුවැකියක්ද අපි ලිව්වෙමු. කුඩා දරුවන් වැඩිපුරම අපහරණයට පත්වන්නේ ස්වකීය නිවාස තුළය. ඊළඟට සමාජය තුළය. සමාජය යන කොටසට පාසල් පද්ධතියද අයත් වේ. ඇතැම් ගුරුවරු හරකුන්ට තලන්නාක් මෙන් ළමයින්ට පහර දෙති. විශාල වේවැල්, අඩි රූල්, පුටු කකුල් වලින්ද අතින් හා පයින්ද එම පහරදීම් සිදුකෙරේ. එම පහරදීමට ළමයා විරුද්ධ වන්නේ නම් එය විනය විරෝධී කාරණයක් සේ සලකා ළමයා පාසලෙන් එලවනු ලැබේ. පොලිසියේදී සිදුවන්නේ ද මෙයමය. පොලිසිය සැකකරුවකුට පහරදෙන විට ස්වකීය ආත්මාරක්ෂාව සඳහා අතින් පයින් සටන් කිරීමේ අයිතිය සැකකරුට ඇත. එහෙත් සැකකරු එවන් විරෝධයක් දක්වන සෑම කල්හිම පොලිසිය කරන්නේ සැකකරුගේ ඇටකටු කුඩු කොට ඔහු මරා සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මිදී පැන යෑමට තැත් කළ බැවින් ගැටුමක් හටගත් බවත් එම ගැටුමේදී සැකකරු මියගිය බවත් කීමය. මනුෂ්‍යයා සහ තිරිසනා අතර වෙනසක් පවතී. තිරිසනාට විඤ්ඤාණයක් නැත. එබැවින් තිරිසනා පළිගන්නේද නැත. එහෙත් මිනිස්සු එසේ නොවෙති. ඔවුන්ට සිතීමේ ශක්තිය ඇත. එබැවින් ඔවුහු පළිගනිති. මේ නිසා මිනිහාට වඩා තිරිසනා යහපත්ය. එනම් පාරේ සිටින නපුරුම බල්ලාටත් වඩා ගමගේ මාමා අයහපත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment