ගමට ප්‍රතිලාභ අරන් යන එළුවන්කුලමේ නයිට් සෆාරිය

149

වයඹ වෙරළේ සුන්දරත්වය 5

ගමට ප්‍රතිලාභ අරන් යන එළුවන්කුලමේ නයිට් සෆාරිය

වයඹ වෙරළේ සුන්දරත්වය සොයා ඇදෙන “සංචාරේ” අපි, අද සූදානම් වන්නේ තවත් අපූරු තැනකට වගේම තවත් අපූරු වැඩකට ඔබව කැන්දාගෙන යන්නටය. නැතිනම් අලුත් වැඩකට අතගසන්නටය. එය මේ රටේ පමණක් නොව, විදේශීය සංචාරකයකුට වුව ලේසියෙන්, පහසුවෙන් නොලැබෙන, හරිම අපූරුම අත්දැකීමක් විඳීමකි. එය හුදෙක්ම එළුවන්කුලමේ පිහිටි Cloud Nine Lanka Resort වෙතින් පමණක් ඔබ වෙත ලැබෙන, එහිම සංකල්පයක් ලෙස ක්‍රියාවට නැගෙන අපූරු නැවුම් අත්දැකීමක් යැයි කීවොත් වැරදි නැත. මෙහි සංකල්පය ප්‍රවීණ වන ජීවී ඡයාරූප ශිල්පී, විල්පත්තුව (එළුවන්කුලම) Cloud Nine Lanka Resort හි නිර්මාතෘ නීල් ප්‍රනාන්දුගේ ය. එසේ වුවත්, සැබැවින්ම මේ අදහස නීල් වෙත රැගෙන ආවෝ වන අලින්ගෙන් බැට කන, අලි නිසා නින්දක් නැති, අලි නිසා තරුණ දිවියම, තරුණ ජවයම කුඹුරට, කමතට, වනයට කැප කරන, අලින්ගෙන් වගා ආරක්ෂා කරගන්නට හේන් රකින, පැල් රකින තරුණ පිරිසකි.

නීල් වෙත මෙම යෝජනාව රැගෙන ආවෝ විල්පත්තුව, තබ්බෝව, මයිලන්කුලම, කාටුපුලියන්කුලම ගම්මාන ආශ්‍රිත තරුණ පිරිසකි. එමගින් සෑමදාම නිදි වර්ජිතව වන අලින්ගෙන් බැට කන ජනයාට මෙන්ම, එම ගම්මානවල මිනිසුන් විසින් වන අලින්ට සිදුකරන කරදරවලින් එම වන සතුන්ට ද ආරක්ෂාවක් සැලසෙන අපූරු සැලසුම් සහගත ක්‍රියාන්විතයක් කරළියට ගෙන ඒමකි. මෙහි ඇති සුවිශේෂීම වැදගත්කම වන්නේ වන අලින් වහ කදුරු මෙන් තිත්තව සිටින විදුලි වැට ආශ්‍රිත ගම්මානවල ජනයාට තවදුරටත් අලියා කරදරයක් නොවී, අලියා සම්පතක් කරගෙන එමගින් යම් ආර්ථික වාසියක් අත්කර ගන්නා වැඩසටහනක් ගමට ලබා ගනිමින් අලියා ද-මිනිසා ද යම් මිතුරු සමාගමකට කැඳවා ගැනීමය. එනම්, අලින්ගේ මායිම් ගම්මානවල දිවි ගෙවන ජනයා තනි නොකර, එම විදුලි වැට හෝ ගම්මාන මායිම දිගේ (වනය තුළ හෝ රක්ෂිත තුළ නොවේ.) රාතශ්‍රී මුර සංචාරක සෆාරි සේවාවක් ක්‍රියාත්මක කර, සංචාරකයින්ට අලින් හා වන සතුන් දැකගත හැකි නව අත්දැකීමක් ලබා දෙන අතරේ ගම්මුන්ට ආර්ථික වාසියක් ඉන් අත්කර දීමය. කෙටියෙන්ම කියනවා නම් තමන්ට මේ තාක් කල් හතුරන් ලෙස පෙනී සිටි අලි-ඇතුන් සංචාරකයින්ට පෙන්වා මෙන්ම, තෝරාගත් ගෙයක, හේනේ පැලක, ගහක් උඩ පැලක පැයක්- දෙකක් ගත කර, තේ කහට, බෙලි මල් ටිකක් බී, රොටියක් පුච්චාගෙන කා එමගින් කීයක් හෝ උපයාගන්නට මේ මගින් එළුවන්කුලම, වනාතවිල්ලුව, කාටුපුලියන්කුලම, මයිලන්කුලම ජනතාවට මින් පසු හැකියාව ලැබීමය.

තබ්බෝව හා විල්පත්තුව අභයභූමිවලින් පිටතට ඇදී එන අලින් හා තවත් සත්වයින් ඒ ආශ්‍රිත ගොවි බිම්වලට හානි කිරීම සත්‍යයම සත්‍ය කතාවකි. එනිසාම එම ගම්මානවල ජනයා නිදි වර්ජිතව තම ගොවි බිම් රකින්නේ ජීවිතයත්, මරණයත් උගසට තබමිනි. කොතරම් මුර කළත් බොහෝ විට විදුලි වැට කඩාගෙන අලින් ගම් වැදීම සුලභව ඇසෙන කාරණයකි. ඒ එන ගමනේ එක්කෝ බඳින තුවක්කුවකින්, විදුලි සරයකින් මෙම ප්‍රදේශවල අලි ඇතුන් මිය ගිය අවස්ථා ඕනෑ තරම් අප අසා ඇත. නැතහොත් එහි අනෙක් පැත්තය. අලින් විසින් මිනිසුන් මරා දමන කතාය. ගෙවල් හෝ වගා බිම් වනසන ප්‍රවෘත්තිය. මේ නිසා අලියාද-මිනිසාද අතර විරසකය තව කොතෙක් කලක් පවතීද..?

එසේ නම් මීට විසඳුම කුමක්ද…? දහසකුත් එකක් විසඳුම් අතර, මෙසේ අලි ගැවසෙන ගම්මාන ආශ්‍රිතව “රාතශ්‍රී සෆාරියක්” සැලසුම් කරන්නට නීල් හා Cloud Nine Lanka Resort තීන්දු කරන්නේ හුදෙක් ලාභ ලැබීම සඳහා නොව, ගමට 90% ක් ප්‍රතිලාභ හිමිවන, එහෙත් ගම තනි නොකර ආරක්ෂා කෙරෙන හා “සංවර” සංචාරකයින්ට අලුත් අත්දැකීමක් විඳින්නට හැකි එක ක්‍රියාකාරකමක් මේ වන නිසාය.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පෙරහුරු චාරිකාව ආරම්භ කළේ අපි වයඹ වෙරළේ සුන්දරත්වය සොයා විල්පත්තුවට ගිය දවසේමය. එනිසා අපට ද මේ සඳහා සහභාගිවීමේ වරම හිමිවූ නිසා පළමුව නීල් ප්‍රනන්දුටත්, Cloud Nine Lanka Resort අලෙවි ප්‍රවර්ධන කළමනාකරු ක්‍රිශානි ටත් ස්තූතිය පුද කළ යුතු වෙමු.

හරිටම 4.30 ට හෝටලයට පැමිණි සෆාරි ජීප් රථයෙන් ගමන ආරම්භ කළ අපි පළමුව පුත්තලම-මන්නාරම් පාරේ වනාතවිල්ලුවට නුදුරු ප්‍රකට පුරාවිද්‍යා ස්මාරකයක් වන මල්විල ප්‍රදේශයට වැටෙන මාර්ගය දිගේ ගමන් කළේ මද වැහි පොදක් මැදය. හෝටලයෙන් එකතු වුණු නීල්, ක්‍රිශානි, කංචුක, සුගත් සහ ප්‍රවීණ වන ජීවී ඡායාරූප ශිල්පී Cats-eye Studio නිර්මාතෘ රොහාන් ෆොන්සේකා මමත් සමග ජීප් රථයේ පසු පසින් ගොඩවූ අතර, ඉදිරිපස ගමන් ගත්තේ මෙම ප්‍රදේශය ගහක් ගලක් ගාණේ දන්නා නියමුවන් දෙදෙනා වන අමිත් ප්‍රියංක වීරසිංහ සහ කාංචන පියුමාල් ය. ඔවුන් දෙදෙනා අද අප මේ යන “නයිට් සෆාරි” ගමනේ මූලාරම්භකයින්ය. හේන් වගාව හා කුඹුරු ගොවිතැන නිසා මෙම ප්‍රදේශයේ ගැවසෙන අලි-ඇතුන් ගැන ඉතා හොඳින් දන්නා නිමල්සිරි ද ගමනට මගදී එකතු වූ අතර, මෙතැන් පටන් අප නව දෙනා ගමේ විදුලි වැට දක්වා ගමන් කර ඒ ඔස්සේ තව තවත් ගමේ මායිම දක්වා ගමන් ගත්තේ සැන්දෑ අඳුරටත් වඩා වැහි අඳුර මධ්‍යයේය.

ඒ යන ගමනේදී හමුවන වැව් පිටිවල තණ බුදින වන අලින් දැකගත හැකි වූ අතර, නීල්, රොහාන් හා ක්‍රිශානි යුහුසුළු වූයේ හැකි තරම් ඡායාරූප එකතු කරගන්නටය. මෙසේ ගිය “ඊවිනින්ග් සංචාරය” “නයිට් සෆාරියක්” බවට කාලය විසින් පෙරළා දෙද්දී… මයිලන්කුලමේ පහන්වැව, කාටුපුලියන්කුලම වැව තුළ අඳුරේ දිය කෙළින වන අලින්ද, සැන්දෑ අඳුර ගලාගෙන එන විට නවාතැන් බලා ඇදෙන, නවාතැන්වලට එක් රොක්වන කුරුල්ලන්ගේ දසුන් මන පිනවන ලද අතර, බිම් බස්සන් අඩියෙන් අඩිය මාර්ගවල වසා සිටිනු දක්නට හැකි වූහ.

කාංචන ඉතා සංයමයෙන් හා කදිමට තම මිට්සුබිෂි වර්ගයේ සෆාරි කැබ් රිය පදවමින් අපට රාතශ්‍රී සුන්දරත්වය විඳින්නට උපරිම සහායක් ලබා දුන් අතර, අමිත් සහ නිමල්සිරි වන අලින් ගම්මානවලට හා වගා බිම් ප්‍රදේශවලට ඇතුළුවන ස්ථාන දක්වා අප රැගෙන යමින් අලින් දැක බලාගන්නට උපරිම සහායක් ලබා දුන්හ. මේ වන විට ඉතා හොඳ ඡායාරූප ගොන්නක් නීල්ගේත්, රොහාන්ගේත්, ක්‍රිශානිගේත් කැමරාවල සනිටුහන් වී තිබුණාට සැක නැත. මන්ද, අලි ඇතුන් පමණක් නොව, ඉතා කුඩා වන්දන්, කනාමැදිරියන්,
ගෙම්බන්, හූනන්, සර්පයින්, කුරුල්ලන් පමණක් නොව සැබැවින්ම මේ ගමනේදී අලින් හා සර්ව භක්ෂක විශාල ක්ෂීරපායි සතුන්ද අපට ඇස ගැටුණු නිසාය.

මෙසේ හෝරා 5 කට වැඩි කාලයක් සංයමයෙන් වන මායිම්වල ගමන් ගත් අපි අපගේ චාරිකාව නිමා කළේ හෝටලයෙන් ලැබෙන රාතශ්‍රී ආහාරයට පෙර, අමිත්, කාංචන හා නිමල්සිරි විසින් අපට ප්‍රදානය කළ රොටී හා බෙලිමල් සංග්‍රහයෙන් අනතුරුව ය. අලි වැටකින් වට කළ, අපූරු හේන් යායක පිහිටි පුංචි නවාතැන් පළකදී ලහි ලහියේ හැදුණු රොටී සහ බෙලිමල්වලින් කුසගින්න නිවාගත් අපි යළිත් සුපුරුදු මාර්ගයේ ගමන් ගනිමින් ලැබූ කිසිදා නොලබන අත්දැකීමක මිහිර සමගින් වනාතවිල්ලුව, එළුවන්කුලම පසුකර නැවත හෝටලය වෙත පැමිණියේ “ගමට ප්‍රතිලාභ ලැබෙන, අපට අත්දැකීම් හා මන පිනවන නයිට් සෆාරි අත්දැකීමකට” ඉතා අපහසුවෙන් සමුදෙමිනි.

තවත් දිනෙක අලි ගැවසෙන ගස් උඩ පැළක අත්දැකීම ද ලබනු පිණිස නීල්-අමිත්-කාංචන හවුල සමගින් Cloud Nine Lanka Night safari යකින් හමුවෙමු.

සැරිසර ජගත් කණහැරආරච්චි
තෙවැනි ඇස – නීල් ප්‍රනාන්දු සහ රොහාන් ෆොන්සේකා

advertistmentadvertistment
advertistmentadvertistment