ගමට යන්න බස් නැති කන්ද උඩ පංගුවෙ රාජකීය නොවන රාජකීය පාසල

326
විද්‍යාලීය ගුරු මණ්ඩලය

වැඩ බලන විදුහල්පතිවරයෙක් ගොඩනැගූ මහා විදු බිමක්
ඵලදායිතා සම්මාන ඇතුළු සම්මාන පිට සම්මාන දිනූ හද්ද පිටිසර පාසල
ගුරු ප්‍රතිභා ප්‍රභා සම්මානයෙන් දිගින් දිගටම දිනාගත් සොඳුරු විදුහල්පතිවරයෙක්
ගුරු විවේකාගාරයත් දරුවන්ට දන් දුන් අපූරු ගුරුවරු

මේ පිංබිම අපූර්ව තක්ෂිලාවකි. පිහිටා තිබෙන්නේ මොනරාගල අධ්‍යාපන කලාපයට අයත් සියඹලාණ්ඩුව අධ්‍යාපන කොට්ඨාසයේ කන්ද උඩපංගුව ගම්මානයේය. මෙම ගම්මානය සියඹලාණ්ඩුව අම්පාර මාර්ගයේ සිට හයේ කණුවේ හංදියට කිලෝ මිටරයක් දුරින් ගම තුළට වන්නට පිහිටා ඇත.

කන්ද උඩ පංගුව ගම්මානය යනු හේන් වගාවෙන් දිවි සරි කර ගන්නා ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති ජනතාවක් වෙසෙන පිටිසර ගම්මානයකි. 1964 වසරේදී පොල්අතු ගොඩනැඟිලකින් සිසුන් 64 දෙනෙක් සහ ස්වේච්ඡා ගුරුවරු තිදෙනෙක් සමගින් ඇරඹූ පාසල 1965 දී රජයේ පාසලක් බවට පත්වන්නට විය. එහි මුල්ම විදුහල්පතිවරයා වන්නේ ජේ. එම්. ජයවර්ධන මහතායි.

මෙම පාසලට සුදත්සිරි දර්ශන මහතා 1997 වසරේදී උප ගුරුවරයෙක් ලෙසින් එද්දී සිසුන් 400කට ආසන්න ප්‍රමාණයක් සිප් සතර හැදෑරු අතර ගුරුවරුන් 20ක් පමණ සේවය කරන්නට වූහ. මෙම සමයේ සුදත්සිරි දර්ශන මහතා උසස් පෙළ සිසුනට දේශපාලන විද්‍යාවත් අනෙක් සිසුනට සමාජ අධ්‍යයනය සහ ඉතිහාසයත් උගන්වනන්ට විය.

ගමට යන්න බස් නැති කන්ද උඩ පංගුවෙ රාජකීය නොවන රාජකීය පාසල
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂක අනුර ද සිල්වා මහතා විදුහල්පති තුමා සහ ගුරුවරුන් සමඟ සාකච්ඡා කරන අයුරු

වසර කිහිපයක් යනවිට සුදත්සිරි මහතා විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ අතර 2009 වසරේදී හිටපු විදුහල්පති කේ.ඩී. ඩාලියසේන මහතා වෙනත් පාසලකට ස්ථාන මාරු ලබා යන්නට වුවේය. එනිසා වැඩ බලන විදුහල්පතිවරයා ලෙසට සුදත්සිරි දර්ශන මහතාට මෙම විද්‍යාලයේ සුක්කානම භාර වන්නට වුවේය. ඒ වනවිට උසස් පෙළ කලා අංශය පමණක් තිබුණ අතර උසස් පෙළ සාමන්‍ය පෙළ සහ ශිෂ්‍යත්වය යන අංශවලින් ප්‍රතිඵල 50% කටත් අඩු මට්ටමින් තිබුණි. පාසලෙහි අඩුපාඩු පිරී ඉතිරී තිබුණ ද සුදත්සිරි මහතා ඒ මතින් මහා ගමනක් ආරම්භ කරන්නට විදුහලේ ගුරු මණ්ඩලය සමගින් සැලසුම් සකස් කරන්නට වූහ.

මොනරාගල දිස්ත්‍රික්කයේ අතිදුෂ්කර පාසල් වෙනුවෙන් එම සමයේ යුනිසෙෆ් ආයතනය මගින් ළමා මිතුරු පාසල් යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර කන්ද උඩ පංගුව විදුහල ද එම විදුහලට අයත් වන්නට විය. ඒ අනුව එම පාසල සැබැවින්ම සිසු දරුවන්ට ප්‍රිය මනාප පාසලක් බවට පත් කරලන්නට සුදත්සිරි දර්ශන විදුහල්පතිවරයාගේ දර්ශනය සමගින් කන්ද උඩපංගුව විදුහලේ ගුරුවරු එකාමෙන් පෙළ ගැසෙන්නට වූහ. රෑ දහවල් නොමැතිව විවිධ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කරමින් ගුරුවරුන් මහා කැප කිරීමක් කරන්නට විය. මේ වෙනස දුටු දෙමවුපියන් ද වෙනදාට වඩා වැඩි සහායක් පාසල වෙත ලබා දෙන්නට වූහ.

ගමට යන්න බස් නැති කන්ද උඩ පංගුවෙ රාජකීය නොවන රාජකීය පාසල
පළාත් අනු ශූරතාව දිනා ගත් එල්ලේ කණ්ඩායම

දර්ශන විදුහල්පතිවරයාගේ යහපත් දර්ශනය දුටු ආදි සිසුන් මෙන්ම රාජ්‍ය සහ පැලැන් ශ්‍රී ලංකා, රූම් ටු රීඩ්, චයිල්ඩ් ෆන්ඩ් ආයතනය වැනි රාජ්‍ය නොවන ආයතන රැසක් ද සියඹලාණ්ඩුවේ හද්ද පිටිසර පිහිටි මෙම පාසල වෙත අවධානය යොමු කරද්ද ඌව පළාත් අධ්‍යාපන බලධාරින්ගේ ද නොම ද අවධානය මෙම පාසල වෙත යොමු වන්නට වූහ.

හිටපු ඌව පළාත් අධ්‍යාපන ලේකම් ජී. ඒ.එම්.එස්. පී. අඹන්වල මහත්මියගේ මඟ පෙන්වීම මත පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ඩී. එම්. රත්නායක, මොනරාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එම්. කේ. හර්ෂණි සමීරා, සියඹලාණ්ඩුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක පී. එම්. එන්. බන්දුල බණ්ඩාර යන මහත්ම මහත්මින් මෙම පාසලේ දියුණුව උදෙසා විශාල දායකත්වයක් දෙන ලදි.

ඒ සමග පක්ෂ, විපක්ෂ දේශපාලන නායකයින්ගේ සහය ද මෙම පාසල වෙත ලබා ගන්නට තරම් සුදත්සිරි විදුහල්පති තුමා ඉතා සුහදශීලි වන්නට විය. මේ ආකාරයට පාසලේ දියුණුව අලුත් මාවතක් ඔස්සේ දිනෙන් දින ඉදිරියට යද්දී ආදි සිසුන් ද හැකි පමණින් දායකත්වය දෙන්නට වූහ. මේනිසා පාසල තුළ අමුතු පිබිදීමක් ඇතිවන්නට වූහ. වෙනදා පාළුවට ගොස් තිබුණ පාසල් බිත්ති පුරා අලාංකාර නිර්මාණයන්ගෙන් පිරී යන්නට විය. පාසල් වත්ත අලංකාර වන්නට විය. මාහැඟි ඖෂධවලින් පිරී ගිය ඔසු උයන මෙන්ම පලතුරු උයන ද විද්‍යාලයේ ගෙවත්ත ද මෙම පාසලේ සුන්දරතාවය ඔප් නංවන්නට විය.

ගමට යන්න බස් නැති කන්ද උඩ පංගුවෙ රාජකීය නොවන රාජකීය පාසල
තරිදු සසංක කුමාර පළාත් හෙල්ල නව තරග වාර්තාව

වෙනදා මහා කර්කෂක පරිසරයක පිහිටා තිබුණ මෙම විද්‍යාලය භූමිය දැකුම්කලු මනරම් විදුබිමක් බවට පරිවර්තනය කරන්න විදුහල්පතිතුමා සහ ගුරුවරුන්ගෙන් කැපවීමේ ප්‍රත‘ඵලය මල්ඵල දරා තිබුණ.’ ඒ අනුව වසර කිහපයක් පුරා පළාත් ඵලදායිතා සම්මානයෙන් මෙන්ම ජාතික ඵලදායිතා සම්මානයෙන් පවා පිදුම් ලබන්නට මෙම විදු මාතාවට හැකිවුණි.

එපමණක්ද නොව, පළාත් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන යටතේ ඒ සාමාර්ථයක් ගත් පාසලක් බවට පත්වන්නට විය.

ඌව පළාත් ඩෙංගුවලින් තොර හොඳම පාසල, පළාත් සෞඛ්‍යයමත් හොඳම ආපනශාලා ප්‍රථම ස්ථානය ලබාගැනීම, වැනි මහා සම්මාන කන්දරාවකට මෙම විදුබිම උරුම කරගන්නට වුවේ විදුහල්පතිවරයාගේ නිසි මඟ පෙන්වීම මත ගුරුවරු දිවා රෑ නොබලා මහා කැප කිරීමේ ප්‍රත‘ඵලයක් විලසිනි.

පෙරදි 50%කට අඩු මට්ටමින් තිබුණ උසස් පෙළ ප්‍රත‘ඵල මේ වනවිට 90%කට ඉහළින් වසර ගණනාවක සිට පවති. 2020 වසරේ උසස් පෙළ ප්‍රත‘ඵල 100%කි. 2021 වසරේ 92%කි. ඒ අනුව ජාතික මට්ටමේ උසස් පෙළ ප්‍රත‘ඵලවලට වඩා කන්දඋඩ පගුව මහා විදුහලේ සිසු දරුවන් ඉහළින් සමත්කම් දක්වන්නට වූහ.

ගමට යන්න බස් නැති කන්ද උඩ පංගුවෙ රාජකීය නොවන රාජකීය පාසල

සාමන්‍ය පෙළ ප්‍රත‘ඵල ගත්විට 2016 වනවිට තිබුණේ 50%ට පහළිනි. නමුත් එය මේ වනවිට එය 95% මට්ටමට පැමිණ ඇත.

ඉතා විශිෂ්ට ප්‍රාථමික අංශය නිසා ශිෂ්‍යත්ව ප්‍රත‘ඵල ද විශිෂ්ටය. 2017 වසරේ එය 85%ක් වනවිට 2020 වසරේ වනවිට ශිෂ්‍යත්ව ප්‍රතිඵල 98% දක්වා ඉහළ යන ලදි. මේ ආකාරයට විදුහලේ සමස්ත ප්‍රත‘ඵල ඉහළ දමන්නට ව්‍යාපෘති රැසක් හරහා වැඩසටහන රැසක් තිබේ. මනුස්කමින් පිරුණූ ආදරණිය ගුරු මවු පියවරුන් විසින් විදුහල්පතිතුමා සමග එක්ව දිවා රෑ වෙහස මහන්සි නොබලා එය ක්‍රියාත්මක කරනු ලබයි.

උසස් පෙළ වාණිජ අංශය ද මේ වනවිට අරම්භ කර ඇති අතර උසස් පෙළ විද්‍යා අංශය ද ආරම්භ කරන්නට අපේක්ෂාවක් විදුහල්පතිතුමා ඇතුළු ගුරුමණ්ඩලය තුළ ඇත.

සිසුන්ගේ දක්ෂතා හඳුනාගනිමින් අංශ තුනකට බෙදා සෙමින් ඉගෙන ගන්නා සාධනීය මට්ටම අඩු සිසුන් කෙරෙහි දැඩි අවධානයක් යොමුකර සවස පමණක් නොව, රාත්‍රී කාලයේ පවා නොමිලයේ අමතර පන්ති සිදු කිරීම දිනපතාම වාගේ සිදු කරන්නට වූහ. ඒ අනුව ෂෙයාරින් නොලේජ් නැමැති විශේෂ වැඩසටහන් ප්‍රතිඵල නැංවීම සඳහා ප්‍රබල දායකත්වයක් ලබාදෙන්නට විය. පසුවදා උගන්වන විෂය නිවෙසේදී වෙනම කාලසටහනකට සිසුන් විසින් සිදුකිරීම නිසා සිසුන් පසුදින පන්ති කාමරයට පැමිණෙන්නේ දැනුමෙන් සන්නද්ධවය. ඒ අනුව සවස් කාලයත් උපයෝගි කොට ගුරුවරු ඉතා හොඳින් සිසුනට සිප් සතර ලබාදෙන්නට වූහ. ඇතැම් විට ගණීත විෂය උගන්වන අදාළ ගුරුවරයා අදාළ දින නොපැණියහොත් දරුවන්ට නිකරුණේ ඉන්නට ඉඩ නොලැබේ. ඒ වෙනුවට ගණිත විෂය භාර වෙනත් ගුරුවයෙකු අදාළ විෂය එදින අවාරණය කරනු ලබන්නේ එය දේව කාරියක්සේ සලකා මහා සතුටකිණි.

නිරන්තයෙන් සිදුවන පැවරුම්බැංකුව හරහා අදාළ ගුරුවරයා විසින් ඊට අදාළ පැවරුම් ලබාදී තිබීම නිසා කිසිදු ගැටලුවකින් තොරව එදින වැඩආවරණය කරන ගුරුවරයා ඉගැන්වීම් කටයුතුවල නියැළෙනු ලබයි. ඒ අනුව මෙම අපූර්ව විදුබිමේ සිසු දරුවෝ නිකරුණේ කාලය ගතකිරීම ඉතා අඩුව තිබේ.

ගමට යන්න බස් නැති කන්ද උඩ පංගුවෙ රාජකීය නොවන රාජකීය පාසල

මෙම පාසලේ දරු කැළ අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවට ඉතා දක්ෂය. ඒත් ක්‍රීඩා භාණ්ඩ අඩු පාඩු එමටය. උස පැනීමට මෙට්ට නැත. හෙල්ල, වොලිබෝල්, නෙට්බෝල් ආදිය ද නිසිසේ නොමැත. ක්‍රිකට් පිති මෙන්ම එල්ලේ පිති සහ පන්දු පවා නොමැත. ක්‍රීඩා ඇඳාුම් කට්ටල සහ ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරා ගන්නට නිස ආහාර වේලක් පවා ලබාදෙන්නට ඔවුනගේ දෙමවුපියන්ට හැකියාවක් නැත.

ක්‍රීඩා කිරීමෙන් අනතුරු පන්ති කාමරයට යෑමේදී ඔවුනට පිරිසිදු වීමට පවා පහසුකම් නො මැතිවීම දැඩි ගැටලුවක් බවට පත්ව තිබේ. ඒ සියල්ල අතරේ ක්‍රීඩා තරග සඳහා යෑමට ගමන් වියදම් නොමැති වීම මහා ගැටලුවක් බවට පත්ව ඇත. මේ සියල්ල මැද මෙම කන්ද උඩපංගුව විදුමැණිගේ සෙවෙණේ පහස ලබන සිසු දරුවන් ක්‍රීඩාවෙන් ද විශිෂ්ට දස්කම් දක්වමින් පදක්කම් පිට පදක්කම් ලබාගනිමින් විදු මැණියන්ගේ ගෙල සරසන්නට හපන්කම් දැක්වීම සුවිශේෂී කරුණකි. 2022 වසරේ පළාත් පාසල් ක්‍රීඩා එල්ලේ බාලිකා අනු ශුරතාවය මෙම පාසලට හිමිවිය. 18න් පහළ බාලක හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව පළාත් වාර්තාවක් පිහිටුවන්නට කේ. එම්. තරිඳු සසංක කුමාර සිසුවාට හැකිවිණි. දුර පැනීම අවුරුදු 18න් පහල බාලක ඉසව්වෙන් පළාත් ප්‍රථම ස්ථානයත් තුන් පිම්ම තරඟයෙන් දෙවන ස්ථානය දිනාගැනීමටත් ඒ. එම්. කවිඳු ඉඳුසර සිසුවාට හැකිවිය. මේ ආකාරයට වසර ගණනාවක සිට පහසුකම් සපිරි පාසල් සිසුන් අභිභවා යමින් ජයග්‍රහණයන් ලබන්නට කන්ද උඩපංගුව විදුබිමේ දූ පුතුන්ට හැකිවුණි. ඒ ආදරණීය විදුල්පතිතුමාගේ මඟපෙන්වීම සහ ගුරුවරුන්ගේ මහා කැපවීමේ ප්‍රතිඵලය නිසාවෙනි. තවද යුද හමුදා ශිෂ්‍ය භට කණ්ඩායමේ පළාත් අංශයේ දෙවන ස්ථානය මෙන්ම, සමාජ විද්‍යා තරග, සිංහල සාහිත්‍ය සහ භාෂා තරග, නර්තන අංශයෙන් ඇතුළුව විවිධ අංශවලින් දිගින් දිගට ම සමස්ත ලංකා මට්ටමට පවා යමින් මෙම දරුවන්ට දස්කම් දක්වන්නට හැකිව තිබිම පහසුකම් සපිරි පාසල්වල දරුවන්ට කදිම ආදර්ශයක් දී තිබේ.

පාසල් භූමිය නෙත් සිත් බන්ධන අලකාරයෙන් යුක්තය. මල් පෝච්චිවල මල් පැළ වෙනුවට ඇත්තේ රාබු, නිවිති, මිරිස්, බටු වැනි කාබනික යෙදූ වගාවන්ය. වියළි බිමේ නිලට නිලේ පාසල් වත්ත පුරා අලාංකාර ලෙස තණකොළ වවා කොන්ක්‍රීට් අතුරා සිසුනට යෑමට මාර්ග සකස්කර ඇත. මෙම විදුබිමට පා තබද්දී මට සිහි වූයේ අංකාර උයනකසේය. සිසුන් දහසකට අධික පිරිසක් ඉගෙනුම ලැබුව ද පාසල තුළ කැළිකසළ නැත. පිරිසිදුකම මහා ඉහළින් ඇත. එය නම් මහා ආශ්චර්යකි. ඒ ආකාරයෙන් සිසුන් තුළ මහා විනයක් ඇති කර යහගුණ වඩවන්නට සොඳුරු ආඥදායකයෙක් බදුවූ නිහතමානිකමින් පිරිපුන් නායක්වයක් ලබාදෙන විදුහල්පති සුදත්සිරි මහතාට සහ වැටුප ඉක්මවා යමින් මහා මනුස්සකමක් හදවතේ පුරවාගෙන මෙම දරුවන්ට හෙට ලොව දිනන්නට යහමඟ පෙන්වන ඇඳුරු මඬුල්ලට ද හැකිව තිබුණි. මෙලස දිනෙන් දින විශිෂ්ට ප්‍රත‘ඵල ලබද්දී ප්‍රධාන පාරෙන් කිලෝමීටරයක් දුරින් පිහිටි ගමට යන්නට බස් රථයක් නොමැති මෙම විදුහලට කිලෝ මිටර් පහළොව විස්ස දුරක සිට සිසු දරුවන් වැල නොකැඩි ඇදී එමින් සිටිති. ඒ මහා විද්‍යාල පවා පසු කරලමිනි.

ගමට යන්න බස් නැති කන්ද උඩ පංගුවෙ රාජකීය නොවන රාජකීය පාසල

මා එම විදුබිමට පා තබනවිට ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක අනුර ද සිල්වා මහතා මෙම විදු බිමට පැමිණ විද්‍යාලයේ ඉදිරි වැඩසටහන් පිළිබඳව විදුහල්පතිවරයා සහ ගුරුවරුන් දැනුවත් කරමින් සිටින්නට විය. මෙම විදුහලේ මෙලෙස වැඩසටහන් සිදුවන්නේ විවිධ ව්‍යාපෘති මගිනි. ඒ සඳහා දෙමවුපියන් සහ පරිත්‍යාගශිලීන්ගේ සහය මත අදාළ බඩු මුට්ටු සහ උපකරණ ලැබෙති. ඉන්පසු සිසුන්ගේ සහ දෙමවුපියන්ගේ සහාය මත එම ව්‍යාපෘතිය සිදු කරනු ලබයි.

ලංකාවේ ප්‍රථම වරට එළිමහන් ගණිතාගාරයක් ඉදිකිරීමට කටයුතු ආරම්භ කර ඇත. ඒ සිසුන්ගේ ගණිත දැනුම වැඩි කරලීමටය. ඒ සඳහා රුපියල් ලක්ෂ 18ක් පමණ අවශ්‍යව ඇත. නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ අනුර ද සිල්වා මහතා ඒ සඳහා අවශ්‍ය ගණිත උපකරණ ලබාගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය හරහා යම් දායකත්වයක් ලබාදෙන බව එම ස්ථානය නිරීකෂණය කිරීමෙන් පසු පවසා සිටීම ගුරුවරුන්ගේ නොමද සතුටට හේතුවන්නට විය.

දිනෙන් දින වැඩිවන සිසුන් නිසා පාසල තුළ උග්‍ර ගොඩනැඟිලි හිඟයක් මතුව ඇත. අවසානයේ ද තමන්ට මදක් හෝ වෙහස නිවා ගන්නට තිබෙන ගුරු විවේකාගාරයත් පන්ති කාමරයක් සඳහා ලබාදීමට තරම් මෙම ගුර මවුපියවරුන්ගේ හදවත් කාරුණීක වන්නට වූහ. මේ සහ විශාල කාර්යභාරයක් කරනා විදුහල්පතිවරයාගේ මෙහයුම් මැදරිය හෙවත් කාර්යාලය ද අඩි දහයයි විස්සේ කුඩා කාමරයකි. තමන්ගේ පහසුකම් වෙනුවට සිසු දරුවන්ට ඉගෙනුමට මුල් තැනදීම මොවුන් සියලු දෙනාගේ ම පරම යුතුකමකසේ සලකති. ඒ අනුව අඩුම තරමේ තෙමහල් ගොඩනැඟිල්ලක අඩුපාඩුව තදින්ම ඇත. තවද සම්මන්ත්‍රණ ශාලාවක් නොමැතිවීම නිසා වැඩසටහන් කිරීමේදී මහා ගැටලුවක් බවට පත්ව ඇත.

මෙම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන ආර්. එම්. එම්. ටී. එම්. රත්නායක, පී. එම්. සිංහරත්න, සහකාර නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන කේ. එම්. කරුණාරත්න, ටී. ඩබ්. සමරසිරි යන මහත්වරුන් සහ අංශ ප්‍රධාන භාර කේ. ඩබ්. ඩී. ප්‍රියදර්ශනි, ඩී. එම්. පී.පී. දිසානායක, කේ.කේ. එස්. ප්‍රියදර්්ශනි යන මහත්ම මහත්මින් ද විද්‍යාලයේ දියුණුව උදෙසා මහා කැපවීමෙන් කටයුතු කරමින් සිටිති. මෙම විදුහලේ නියෝජ්‍ය විහල්පතිවරයෙක් ලෙස සිට දනට පස්සර මාවුස්ස ගොල්ල මහා විද්‍යාලයේ වත්මන් විදුහල්තිවරයා ලෙස කටයුතු කරන ඩබ්. එම්. ටී. කේ. බණ්ඩාර මහතා ඇතළු පසුගිය සමයේ මෙම විදුහලේ සේවය කර ස්ථාන මාරු ලබා වෙනත් පාසල් වලට ගොස් සිටින ගුරුවරුන් ද මෙම විද්‍යාලයේ දියුණුව උදෙසා කළ මෙහය විදුහල්පති සුදත්සිරි මහතා කෘතවේදීව සිහිපත් කරයි.

මෙම අපූරු පාසල දැක බලා ගන්නට බොහෝ පාසල්වල සිසු දරුවන් සහ ගුරුවරුන් පැමිණෙති. ඹබේ පාසලත් මෙවැනි ආකාරයට විශිෂ්ට පාසලක් බවට පත් කරලන්නට යම් දැනුමක් ගැනීමට නම් මෙම පාසලට පැමිණි ඒ පිළිබඳව අවබෝධ්‍යක් ලබාගත හැක. ඒ සමග මෙම විදුබිමේ තිබෙන අඩුපාඩු සපුරා දෙන්නට යම් ආයතනයක් හෝ අයෙක් කැමැති නම් එය ඔවුන්ගේ ගමන් මඟට මහා ශකිතියක් වෙනු ඇත. ඒ සඳහා විදුහල්පති සුදත්සිරි මහතාගේ 071 866 4076 යන දුරකතන අංකයෙන් තොරතුරු ලබාගත හැක. ඇතැම් ශ්‍රේණිධාරි විදුහල්පතිවරුන්ගේ පාසල් වැසිීයෑමට ආසන්න වෙද්දී වැඩබලන විදුහල්පතිවරයෙක් ලෙසින් සුදත්සිරි දර්ශන මහතා කරනා මහා මෙහෙවරට අවස්ථා කිහිපයකදී ප්‍රතිභා ප්‍රභා ප්‍රණාම ජාතික සම්මානය පිදුම් ලබා තිබේ. වැඩ කරන්නට අවශ්‍ය තනතුරු නාම නොව, උවමනාව සහ කැපවීම බව සුදත්සිරි මහතා සැමට පසක්කර දී ඇත. එනිසා පිටිසර පාසලක් ජාතික මට්ටමේ දිදුලන පාසලක් බවට පත්ව ඇත.

විශේෂ ස්තුතිය
මෙම ලිපිය සැකසීමේදීි සම්බන්ධිකරණය කළ මෙම විද්‍යාලයේ සහකාර නියෝජ්‍ය විදුහල්පති කේ. එම්. කරුණාරත්න මහතාට

සුසන්ත අමර බන්දු

advertistmentadvertistment
advertistmentadvertistment