ගමන් කරන විනාශකාරීත්වයෙන් රට ගොඩගන්නවා – රට අලුත් දිශාවකට යොමු කරනවා

144

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක හොරොව්පොතානේදී කියයි

“මේ රටේ පැරණි වැව් ප්‍රතිසංස්කරණය කරලා ගුණාත්මකව වතුර ටික දීමේ සැලැස්ම හදනවා. ඒ විතරක් නෙවෙයි ගොවියාට කම්පා නොවන ශක්තිමත් ආර්ථිකයක් හදනවා” යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

දීර්ග කාලයක සිට රට ගමන් කරමින් තිබෙන විනාශකාරී තත්ත්වයෙන් ගොඩගෙන රට අලුත් දිශාවකට යොමු කරන බවත්, ඒ නිසා මාලිමාව දිනවීමට සියලුදෙනා පෙළගැසෙන ලෙසත් හෙතෙම ඉල්ලා සිටියේය.

ඔහු එසේ කියා සිටියේ පෙරේදා (14 දා) පැවැති ජාතික ජන බලවේගයේ හොරොව්පොතාන ආසන සමුළුව අමතමිනි.

එහිදී තවදුරටත් කතා කළ හේ මෙසේද කීය.

හොරොව්පොතාන ආසනයේ දහස් ගණනක් ජනතාව මෙතැනට එක්රැස් වෙලා ඉන්නේ වෙනසක් කරන්න. මීට කලින් වෙනස් කළේ නැද්ද? මීට කලින් වෙනස් කළා නේද. දැන් බලන්නකෝ අවුරුදු 17 ක් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව තිබ්බා. වෙනසක් කළා චන්‍ද්‍රිකා. මොකද වුණේ, ටික දවසක් යනකොට හිතුවා වැඩේ හරියන්නේ නැහැ, ආයෙ චන්‍ද්‍රිකා වෙනස් කරලා මේ රටේ ජනතාව ගෙනාවා මහින්ද. එතකොට කිව්වෙ මොකක්ද? ගිරුවාපත්තුවේ ඉපදුණු වෙල් ඉපනැල්ලේ ඇවිදින කුරහන් සාටකය අඳින කෙනා. වෙනසක් වුණාද නැහැ. ඊට පස්සේ 2015 දී මොකද කළේ. ආයෙ වෙනස් කළා. කව්ද ගෙනාවේ, මෛත්‍රිපාල සිරිසේන. ඔහුගේ දියණිය පොතක් ලිව්වා. ඒ පොත ලියලා කිව්වා, එයාගේ තාත්තා පොළොවෙන් උපන් මිනිසා කියලා. අනේ ඔය වහින කාලෙට වෙල් ඉපනැල්ලේ එනවනේ. කට්ටිය මොනවද කිව්වේ වෙනසක්. පොලොන්නරුවේ ගැමියා. ඒ විතරක් නොවෙයි ආසියාවේ ලොකුම හයිබි්‍රඩ් ආණ්ඩුව. දෙමුහුන් ආණ්ඩුවක් හැදුවා 2015 දී. මොකද වෙනසක් වුණා ද? නැහැ. 2019 දී

ගෙනාවා වැඩකරන විරුවා. මොකටද ගෙනාවේ. කොළඹ ලස්සන කළා. යුද්ධය ඉවරවෙනකොට ආරක්‍ෂක ලේකම් ලේසි පහසු මිනිහෙක් නෙවෙයි. හිට්ලර් වගේ කිව්වා. ලේසි මනුස්සයෙක් නොවෙයි. මහින්ද රාජපක්‍ෂට සෙල්ලම් කරන්න හම්බ වෙන්නෙත් නැහැ ගෝඨාභයත් එක්ක. අවුරුදු 2 යනකොට රසායනික පොහොරත්, කාබනික පොහොරත් මොනවද කියලා උපදෙස් දෙනවා, දොස්තරගෙන් අහලා. මොකද වුණේ. අපේ ඉඩම් මුඩුබිම් බවට පත්කළා. මුළු රටක් විනාශයට පත්කළා. ගොවි අම්මා තාත්තා තමන්ගේ නාටු වෙච්ච ගොවිබිම් දිහා බලාගෙන කනගාටුවෙන් හිටියා. මොකද කළේ ජනතාව කල්පනා කළා. මේක නම් හරියන වැඩක් නෙවෙයි, තව අවුරුදු

5 ක් ගියොත් අපේ රට ඉවරයි. ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව පාරට බැහැලා මොකද කළේ. ගෝඨාභය එලෙව්වා. ගේනකොට වැඩ කරන විරුවා ටික දවසකින් පට්ටම දාලා ගියා. ඊට පස්සෙ ලොටෝ චාන්ස් එකකින් පත්වුණා රනිල් වික්‍රමසිංහ. එයා එනකොට කට්ටිය කිව්වා මෑන් තමයි මෑන්. ජාත්‍යන්තර සබඳතා තියෙනවා. සුද්දොත් අඳුරනවා. කෙටි කාලයක් යනකොට පේනවා පරණ ගමනමයි තියෙන්නේ. ඒ නිසා මේ රටේ අම්මලා තාත්තලා කොයි කව්රුත් වෙනසක් කරලා මොකක්ද කළේ. වෙනසක් කියලා මේ පක්‍ෂ දෙකෙන් එකක්

ගෙනාවා. වෙනසක් නෙමෙයි. එකම යන්ත්‍රය. එක විදිහටම යනවා. ඡන්දය දීල ජනතාව ආණ්ඩුවක් හදනවා. ගමේ ශ්‍රී ලංකාකාරායා, යූ.එන්.පී.කාරයා ගහගන්නවා. මඟුලට තුලාවට එන්න කියන්නේ නැහැ. කැන්වසින් යනවා.

මේ පක්‍ෂ දෙක දෙකක් නෙවෙයි, එකක්. 2019 ගෝඨාභය රාජපක්‍ෂ ගේන්න හේතුව තමයි රනිල් වික්‍රමසිංහ පරාජය කරන්න. රනිල් වික්‍රමසිංහ මහ බැංකුව හොරකම් කළා. මහ බැංකු හොරා හිරේ යවන්න, රනිල් ගෙදර යවලා ගෝඨාභය වාඩි කෙරෙව්වා.

අපි හොඳ ප්‍රතිපත්තියක් හදලයි තියෙන්නේ. ඒ නිසා මේ රටේ කෘෂි ඥානය ඇතිවන, ගොවියාගේ සුවඳ දැනෙන

ගොවියාගේ ජීවිතයත් එක්ක පොර බදපු නාමල්ලා ඩී. වී. සරත්ලා වගේම තවත් අය සමගයි මේ ප්‍රතිපත්තිය හදන්නේ. අපේ රටේ ඉඩම් මහා පරිමාණ කොම්පැණිවලට දෙන එක නතර කරනවා. මේ පැරණි වැව් ප්‍රතිසංස්කරණය කරලා ගුණාත්මකව වතුරටික දීමේ සැලැස්ම ජාතික ජන බලවේගය හදනවා.

ගොවියාට කම්පා නොවන ආර්ථිකයක් අපි හදනවා. මෙන්න මේක තමයි ජාතික ජන බලවේගය හදන වෙනස. අන්න ඒ වෙනස වෙනුවෙන් සියලුදෙනා එකතු වෙමු. ඒ නිසා ගත්තු තීන්දුව අබමල් රේණුවකින්වත් සැලෙන්න එපා. තමුන්නාන්සේලා හොඳ තීන්දුවක් අරන් තියෙනවා. ඒ තීන්දුව ශක්තිමත්ව ගන්න. ගමට යන්න අනෙකා හම්බවෙන්න, කියලා දෙන්න. තරහක් නෑ ශ්‍රී ලංකා එකට ඡන්දය දුන්නට. අපිට තරහක් නැහැ යූ.එන්.පී. එකට ඡන්දය දුන්නට. අපිට තරහක් නැහැ පොහොට්ටුවට ඡන්දය දුන්නට. ඒ කාලය ඉවරයි. දැන් අපි ඔක්කොම එකතුවෙලා මේ රටට බලාපොරොත්තුවක් සහිත ආණ්ඩුවක් හදමු. ඒ ආණ්ඩුව හදන පළමු පියවර මේ පළාත් පාලන මැතිවරණයෙන් පටන් ගමු. ඒ වෙනුවෙන් තමුන්නාන්සේලා හැමදෙනාම වැඩකරන්න. මේ වැඩේ කළොත් අපිට මාස එකහමාරක දෙකක කාලයක් තියෙන්නේ ඡන්දයට. මේ මාස එකහමාර දෙක අපේ රටේ අනාගතය තීරණය වන මාස එකහමාරක් බවට පත්වෙනවා. අපේ රටේ අනාගතය තීරණය වන කාලය බවට පත්වෙනවා. ඒ නිසා මේ කාලය අපතේ හරින්න එපා. හැමකෙනාටම කතා කරන්න. ඥාතීන් හිතවතුන් සමඟ පොදි බැඳෙන්න. දීර්ඝ කාලයක් මේ රට ගමන් කරමින් තිබෙන විනාශකාරී තත්ත්වයෙන් ගොඩගෙන අපේ රට අලුත් දිශාවකට යොමු කරමු. ඒ වෙනුවෙන් මාලිමාව දිනවමු. ඒ වෙනුවෙන් තමුන්නාන්සේලා ඔක්කොම එකතුවෙමු, පෙරට එමු කියලා ආරාධනා කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment