ගමන් බලපත්‍ර ගාස්තු හා මෝටර් රථ ලියාපදිංචිය වැඩිවෙන්නේ මෙහෙමයි

1069

මෝටර් රථ ලියාපදිංචි ගාස්තු හා විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ දමා ඇත. විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ඊයේ (17 දා) සිට වැඩිකර තිබේ. මෝටර් රථ වාහන ලියාපදිංචි ගාස්තු අද (18 දා) සිට වැඩි කෙරේ.

එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ දී මෙතෙක් අයකළ රුපියල් පහළොස් දහසේ ගාස්තුව රුපියල් විසිදහස දක්වා ඉහළ දමා ඇත. සාමාන්‍ය සේවාව යටතේ විදෙස් ගමන් බලප්‍රයක් ලබාගැනීමට අයකළ රුපියල් තුන්දහස් පන්සියක මුදල රුපිල් පන්දහස දක්වා වැඩිකර ඇත.

විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කර වසරකට අඩු කාලයක් තුළ එය නැතිවී නව බලප්‍රයක් ගැනීම සඳහා රුපියල් එකොළොස් දහස් පන්සියක් ලෙස අයකළ ගාස්තුව රුපියල් විසිදහස දක්වා ඉහළ දමා තිබේ. එසේම නිකුත් කර වසරකට වැඩි කාලයක් තුළ නැති වූ ගමන් බලපත්‍ර නැවත ලබාගැනීමේදී රුපියල් එකොළොස් දහස් පන්සීයක් වූ ගාස්තු රුපියල් පහළොස් දහසක් දක්වා වැඩිකර තිබේ. ඉල්ලුම්කරුගේ අවශ්‍යතාව මත විදේශ ගමන් බලපත්‍රයේ සංශෝධනයක් සිදුකිරීමට අයකළ රුපියල් දහසක මුදල රුපියල් එක්දහස් දෙසීය දක්වා ද වැඩිකර තිබේ.

මෝටර් වාහනයක් සාමාන්‍ය පදනම මත ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් දෙදහසක්වූ අතර එය රුපියල් තුන්දහ දක්වා වැඩිකර තිබේ. එක් දින පදනම මත ලියාපදිංචි ගාස්තුව රුපියල් හාරදහස දක්වා වැඩිකර තිබේ. මෝටර් රථයක් සඳහා එක්දින ප්‍රමාද ගාස්තු රුපියල් 100 ක් වන අතර යතුරු පැදියක් සඳහා දිනක ප්‍රමාද ගාස්තු රුපියල් 50 ක් වේ. එමෙන්ම ලියාපදිංචි වාහනයේ සහතිකයේ විස්තර වෙනස් කිරීමට රුපියල් 3000 ක් අය කෙරේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට හෝ ප්‍රාදේශීය ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තුව මගී ආයතනයකට රුපියල් 50ක් ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට හෝ යම් ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයට හැර වෙනත් තැනැත්තකුට අයත් බස් රථයක ආදායම් බලපත්‍ර ගාස්තුව මගී ආසනයක් සඳහා රුපියල් 200ක් වන ලෙස ද සංශෝධනය කර තිබේ. පෞද්ගලික මෝටර් කෝද් රථය, පෞද්ගලික සැහැල්ලු මෝටර් කෝච් රථයක් හෝ පෞද්ගලික බර මෝටර් කෝච් රථයක වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තු අදායම් වාහනවල එක් මගී ආසනයක් සඳහා රුපියල් 650ක් ලෙස අය කෙරේ.

නව අයිතිකරු ලියාපදිංචි කිරීමේදී ප්‍රමාද ගාස්තු ලෙස මෝටර් රථයක් සඳහා දිනකට රුපියල් 100 බැගින් උපරිම රුපියල් ලක්‍ෂයක් ද ද්විත්ව කාර්ය වාහන සඳහා ප්‍රමාද ගාස්තු ලෙස දිනකට රුපියල් 100 බැගින් උපරිමය රුපියල් ලක්‍ෂයක් ද ඉඩම් වාහනයක් සඳහා දිනකට රුපියල් 50 බැගින් උපරිමය රුපියල් පනස් දහසක්, ද අත්ට්‍රැක්ටරයක් දිනකට රුපියල් 25 බැගින් උපරිම රුපියල් විසිපන්දහසක්ද, මෝටර් සයිකලයක්/සැහැල්ලු මෝටර් සයිකලයක් සඳහා දිනකට රුපියල් 50 බැගින් උපරිමය රුපියල් පනස්දහසක් ද මෝටර් ට්‍රයිසිකලයක්/මෝටර් ට්‍රයිසිකල් වෑන් රථයක් දිනකට රුපියල් 50 බැගින් උපරිම රුපියල් පනස්දහසක්ද, මෝටර් ලොරියක්/සැහැල්ලු මෝටර් ලොරියක් දිනකට රුපියල් 100 බැගින් උපරිම වනු ලෙස වාහන වර්ගයන් අනුව ප්‍රමාද ගාස්තු සංශෝධනය කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment