සැමියා සහ දරු දෙදෙනා සිරුර හඳුනා ගනිති
අතුරුදන් වී ඇත්තේ රන් භාණ්ඩ බේරාගන්න ගිය දවසේ
අතුරුදන් වූ කාන්තාවන් සොයා තවත් පාර්ශ්ව තුනක් මෝචරියට එති
අභිරහස් අන්දමින් ඝාතනය කර ගමන් බෑගයක දමා සපුගස්කන්ද මාබිම පාරේ කසළ ගොඩක දමා තිබූ කාන්තා මළසිරුර මාලිගාවත්තේ පදිංචිව සිටි 45 හැවිරිදි මොහොමඞ් ශාෆි පාතුමා මුන්තාස් නමැති දෙදරු මවකගේ බව පොලිසිය විසින් ඊයේ (05 දා* හඳුනා ගෙන ඇත.
මෙම කාන්තාවගේ මළසිරුර තබා තිබූ රාගම රෝහලේ මෘත ශරීරාගාරය වෙත ඊයේ දහවල් පැමිණි ඇගේ සැමියා වන ඒ. එම්. අමලොල්ලා සහ දරුවන් දෙදෙනා විසින් සිරුර හඳුනාගන්නා ලදි.
මාලිගාවත්ත ජාතික මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිඳ ඉකුත් 28 වැනිදා සිට අතුරුදන්ව සිටි බව ඇගේ සැමියා විසින් බ්ලූමෙන්ඩල් පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබිණි.
මෙම කාන්තාව උකස් තැබූ රන් ආභරණ කීපයක් බේරා ගැනීමට තවත් කාන්තාවක් සමඟ ත්‍රිරෝද රථයකින් ගොස් ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ.
රන් ආභරණ බේරාගෙන ඇය ත්‍රිරෝද රථයෙන් ආපසු නිවස බලා එද්දී මෙසේ අතුරුදන්ව ඇති බවට ද පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත. මෙම කාන්තාව සමඟ රන් ආභරණ බේරා ගැනීමට ගිය කාන්තාව සහ ඔවුන් ගමන් ගත් ත්‍රිරෝද රථයේ රියැදුරුගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිතය.
කාන්තාව ඝාතනය කළේ කෙසේද කුමන ස්ථානයකදී එම ඝාතනය සිදු වූයේ ද ඇගේ සිරුර ගමන් බෑගයක දමා සපුගස්කන්ද ප්‍රදේශයේ මාර්ගය අසල කසළ ගොඩට ගෙනැවිත් දැමුවේ කව්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
අබිරහස් අන්දමින් ඝාතනය කළ මෙම කාන්තාවගේ මළසිරුර ගමන් බෑගයක දමා මාර්ගය අසල කසළගොඩට ගෙනැවිත් දමා තිබියදී පොලිසිය මගින් එය සොයාගනු ලැබුවේ පෙරේදා (04 දා* දහවල් කාලයේදී ය.
මෙම කාන්තාව කාගේ කව්දැයි හඳුනාගැනීම සඳහා පොලිසිය අවට පොලිස් ස්ථානවලින් සහාය ඉල්ලා සිටි අතර බ්ලූමෙන්ඩල් පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව දැනුම් දී ඇත.
ඊට අමතරව අතුරුදන් වූ කාන්තාවන් සොයා තවත් පාර්ශ්ව තුනක් ඊයේ පෙරවරුවේ සපුගස්කන්ද පොලිසිය වෙත පැමිණ සිටියහ.
ඒ සියලූ පාර්ශ්වයන්ට රාගම රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගොස් මෙම කාන්තා මළසිරුර පෙන්වා ඇති අතර එහිදී මාලිගාවත්තේ පදිංචි අමලොල්ලා විසින් එය හඳුනා ගන්නා ලදි.
කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සපුගස්කන්ද පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ඩබ්ලිව්. කේ. විජේතිලක, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්. අමරසේකර සැරයන් (12011* ජයවර්ධන, කොස්තාපල් (51737* පර්සිලාල් (31805* චතුරංග ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
හේමන්ත රන්දුණු, ඩබ්ලිව්. ඞී. විතාන, සුදත් පුබුදු කීර්ති