ගම්පහ අත්බෑග්  මංකොල්ලය වරදී – කාන්තාවගේ  කෑ ගැසීම ඇසී  පැමිණි සැමියා  පිහිපහරින් මරුට

247

තවත් අයකුට තුවාල

සැකකාර යුවළ යතුරුපැදියත් දමා පැනගිහින්

මහමග ගමන් ගන්නා කාන්තාවන් දෙදෙනකු සතු අත්බෑග් යතුරුපැදියකින් පැමිණි යුවළක් විසින් කොල්ලකෑමට යෑමේදී එම කාන්තාවන්ගේ කෑගැසීමේ ශබ්දය ඇසී පැමිණි සැමියකුට කොල්ලකරු විසින් පිහියෙන් ඇන ඝාතනය කර තිබේ.

ගම්පහ අත්බෑග්  මංකොල්ලය වරදී - කාන්තාවගේ  කෑ ගැසීම ඇසී  පැමිණි සැමියා  පිහිපහරින් මරුට

ගම්පහ අකරවිට ඤාණවිමල මාවතේදී 20 දා රාත්‍රි හතයි තිහට පමණ එම පිහි ඇනුම සිදුව තිබේ. රසික විනෝද් නමැති 29 හැවිරිදි විවාහකයා ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙසේ මියගොස් තිබේ.

පිහි පහරට ලක්ව පියාද තුවාල ලැබීම හේතුවෙන් ගම්පහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසීය.

කාන්තාවන් දෙදෙනා රැකියාව නිමවී පාගමනින් නිවසට ගමන් කරමින් සිට ඇති බව පොලිසිය කියයි. යතුරුපැදියකින් පැමිණි පිරිමි අයකු සහ කාන්තාවක් පාගමනින් ගමන් කරමින් සිටි කාන්තාවකගේ අත්බෑගය කොල්ලකෑමට සූදානම් වී ඇති බව පොලිසිය පවසයි.

එක් කාන්තාවගේ නිවස ආසන්නයේ දී එම කොල්ලකෑම සිදුකිරීමට යෑමේදී එම කාන්තාව කෑ ගසා තිබේ. කෑගැසීමේ ශබ්දයට නිවසේ සිටි එම කාන්තාවගේ සැමියා සහ පියා කාන්තාවන් දෙදෙනා සිටි ස්ථානයට පැමිණ ඇති බව පොලිසිය පවසයි. කාන්තාවගේ සැමියා සහ පියා කොල්ලකරුවන්ට පහර දීමට සූදානම් වූ අවස්ථාවේ කොල්ලකරු විසින් එම පිහි ඇනුම සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. පිහි ඇනුම සිදුකළ කොල්ලකරු සහ ඔහු සමග පැමිණි කාන්තාව යතුරුපැදිය ද එම ස්ථානයේ දමා පලා ගොස් ඇති බව පොලිසිය කියයි.

මියගිය අයගේ මරණය සම්බන්ධයෙන් ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (21 දා) මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විය.

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල් මෘත  ශරීරාගාරයේ තැන්පත් කර ඇති මළ සිරුර සහ ස්ථානීය පරීක්ෂණය සිදුකළ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසට ගම්පහ අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරිවරයාට නියම කළේය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු එම මළ සිරුර ළඟම ඥාතීන්ට භාරදෙන ලෙසට අධිකරණයෙන් රෝහල් බලධාරීන්ට නියම කෙරිණි.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත ගම්පහ පොලිස් අධිකාරී තුසිත කුමාර, ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල රණසිංහ මහතා ඇතුළු නිලධාරීහු ඝාතනය සිදුකළ අය අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරති.

ටෝනි කරුණානායක – මිනුවන්ගොඩ
 

advertistmentadvertistment
advertistmentadvertistment