ගම්පහ ඉඳන් ඩුබායි පැන්න පාතාලයන්ගේ අමන වැඩ…

1404

කප්පම් නොදුන්නොත් මරණ වරෙන්තු

ව්‍යාපාරිකයන්ට නිදහසේ බිස්නස් කරන්න බැහැ…

අතීතයේ සිට මෙරට ප්‍රසිද්ධ පාතල සාමාජිකයින් සහ කල්ලි බිහිවූයේ කොළඹ කේන්ද්‍ර කොට ගෙනය. ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් කොළඹින් පිට පළාත්වල ද පාතාල කල්ලි සහ සාමාජිකයෝ බිහිවූහ. ඒ අනුව ගම්පහ ප්‍රදේශය කේන්ද්‍රකර ගමින් ගොඩනැඟුණු පාතාලයට ද හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

ගම්පහ කේන්ද්‍ර කරගනිමින් එක් පාතාල කල්ලියක් බිහි වූයේ නීති විරෝධී පස් ජාවාරම හරහායි. ඒ පාතාලය පස් පාතාලය වූ අතර ඉතිහාසය පුරා මේ පස් ගැටුම නිසා පුද්ගලයන් පනහකට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය වූහ. එකී ඝාතන රැල්ල අදටත් ක්‍රියාත්මක වෙමින් පවතී. ගම්පහ පස් පාතාලයේ ඉතිහාසය එතරම්ම දරුණු විය. ඒ හරහා රටේ නම ගිය දරුණු ගණයේ අපරාධකරුවන් පිරිසක් ද බිහිවිය. ඉදිරියටද බිහිවෙමින් පවතී. ඒ තරමටම පාතාල උණ වැළඳුණු ගෝත්‍රිකයෝ පිරිසක් සිටිති.

ගම්පහ පාතාලයන් අනෙක් පාතාලයන් මෙන්ම නීති විරෝධී පස් ජාවාරමට අමතරව කප්පම් ගැනීම, මුදලට මනුෂ්‍ය ඝාතන සිදු කිරීම සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය විකිණීම ද ජයටම කරගෙන ගියේය. තවමත් සිදුකරගෙන යමින් පවතී.

මෙරට පාතාල කණ්ඩායම් අතර ඇතිවන ගැටුම්වලින් එකා දෙන්නා ඝාතනය වෙද්දී සහ පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් පසු ජීවිතය බේරා ගැනීම සඳහා ඩුබායි රාජ්‍යය වෙත පලා ගිය පාතාල සාමාජිකයෝ රැසක් ද සිටිති. කොස්ගොඩ සුජී, රත්මලානේ ධර්මේ, කුඩු අංජු, මිදිගම හරක් කටා, අතුරුගිරියේ ලඩියා සහ පානදුරේ සලිඳු ඉන් කිහිප දෙනෙකි. එලෙස පැනගත් මෙම අපරාධකරුවන් එහි සිට කිසිදු බාධාවකින් තොරව තම ගෝලබාලයන් හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් රිසිසේ සිදු කරති. මෙම අපරාධකරුවන් මෙන්ම ගම්පහ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය විකිණීම සහ පාතාල ක්‍රියාකාරකම් සිදු කළ අපරාධකරුවන් පිරිසක් ද පසුගිය කාල වකවානුව තුළ ඩුබායි රාජ්‍ය වෙත හොර රහසේම පැන ගියහ.

මිනුවන්ගොඩ හීනටියන, කටුනායක ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම්වලට නායකත්වය දුන් මිනුවන්ගොඩ හීනටියන ගුරුගොඩ පදිංචි මහේෂ් ඉන් එක් අයෙකි. ඔහුගේ වයස අවුරුදු 33 කි. ඔහු පසුගිය කාලයේ එම ප්‍රදේශයේ සිදු වූ පාතාල ක්‍රියා රැසකට සම්බන්ධ පුද්ගලයෙකි. එම ප්‍රදේශයම බියට පත් කර ගනිමින් සිටි ඔහු කිසිම අණක් ගුණක් නොඅසන දරුණු ගනයේ අපරාධකරුවෙකි. ඔහුට විරුද්ධව අධිකරණ කිහිපයක නඩු විභාග වෙමින් පවතී.

මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම්, මංකොල්ලකෑම්, කප්පම් ගැනීම්, පුද්ගලයන්ට පහරදීම්, ගිනිඅවි සන්තකයේ තබා ගැනීම් ඇතුළු දරුණු ගණයේ අපරාධ රැසකට මොහු සම්බන්ධ අයෙකි. මේ තරම් දරුණු ගණයේ අපරාධ රැසකට සම්බන්ධ මොහු අවසානයේ මෙරට ජීවත් වීම ඉතාමත් භයානක බව දැන ගත්තේය. ඒ අනුව මොහු ඩුබායි රාජ්‍යය වෙත පලා යෑමට තීරණය කළේය.

ගම්පහ ඉඳන් ඩුබායි පැන්න පාතාලයන්ගේ අමන වැඩ…

දන්නා කියන පාතාල සගයන්ගේ සහ තවත් පුද්ගලයන්ගේ උදව් උපකාර මැද මොහු ඩුබායි රාජ්‍ය වෙත පලායෑමට උත්සාහ කළේය. ඒ පසුගිය වසරේදීය. කුමන හෝ හේතුවක් මත එය අසාර්ථක විය. එහෙත් මහේෂ් නමැති මෙම අපරාධකරුවා උත්සාහය අත හැරියේ නැත. යළිත් වරක් ඩුබායි රාජ්‍යය වෙත යෑම සඳහා සියලු කටයුතු සූදානම් කර ගත්තේය. එවර මොහු සාර්ථක විය. නීතියේ ඇසට ද වැලි ගසමින් කිසිදු උපද්‍රවයකින් තොරව ඩුබායි රාජ්‍ය වෙත පලා ගියේය. ඒ ජනවාරි මාසය තුළදීය.

කෙහෙල්බද්දර නෙවිල්ගේ පුතා හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ මිනුවන්ගොඩ, මීගමුව, කටුනායක, හීනටියන ප්‍රදේශවල හෙරොයින් ජාවාරම සරුවටම සිදුකරගෙන ගිය අයෙකි. එමෙන්ම පාතාලය ක්‍රියාකාරකම් සිදු කළ පුද්ගලයෙකි. මෙයට වසර කිහිපයකට ඉහතදී හීනටියන චමින්ද නමැති අයෙකු ඝාතනය කරන්නේ ද මොහු විසින්ය.

චමින්ද ඝාතනයෙන් පසු එකට එක කිරීම වශයෙන් පද්මේව ඝාතනය කිරීම සඳහා මොහුගේ නිවසට තවත් පාතාල කණ්ඩායමක පිරිසක් පැමිණියහ. එය කල් තියාම දුටු මොහු නිවසේ පිටුපස දොරින් පැන ජීවිතය බේරා ගත්තේය. එයින් කුපිත වූ එම පාතාල සාමාජිකයින් පද්මේගේ පියා වන නෙවිල්ව වෙඩි තබා ඝාතනය කළේය.

එම සිද්ධියෙන් පසු මෙරට ජීවත් වීම ඉතා අසීරු බව පද්මේ දැන ගත්තේය. එමෙන්ම ඔහු පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකි. ඊටත් වඩා ප්‍රති විරුද්ධ පාතාල කල්ලියක් ඔහුව ඝාතනය කිරීමට සූදානමින් සිටියේය. එමනිසා ඔහු තම ජීවිතය බේරා ගැනීම සඳහා ඩුබායි රාජ්‍යය වෙත පැන යෑමට තීරණය කළේය. ඒ අනුව පද්මේ ද ඉතා රහසිගත ලෙස ඩුබායි රාජ්‍යය වෙත පැන
ගියේය.

එකම ප්‍රදේශයේ පාතාල ක්‍රියාකාරකම්වල නිරත වූ මහේෂ් සහ කෙහෙල්බද්දර පද්මේ ගජ මිතුරන්ය. ඩුබායි රාජ්‍යය වෙත පැන ගිය පසු දෙදෙනාගේ මිතුදම් තවත් වැඩි විය. ඒ අනුව දෙදෙනා එකතු වී මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු පාතාල ක්‍රියාකාරකම් තම ගෝලබාලයන් හරහා මෙරට ජයටම සිදු කර ගෙන ගියහ. දිනක් පද්මේ තම මිතුරා වන මහේෂ්ට මෙලෙස පැවසුවේය.

“මචං මගේ තාත්තව මරපු වුන්ගෙන් පළිය ගන්න දැන් හොඳම වෙලාව.” “ඔව් ඒක තමයි. මං හිතන්නේ උඹ බලන් හිටියත් කල් වැඩියි.”

“නැහැ බං ඒක මගේ හිතේ තිබුණා. මම මෙච්චර කල් ඉවසුවේ හරියටම ගේම දෙන්න ඕන නිසා.”

“කාටද මුලින්ම ගහන්නේ අපි.”

“වෙන කාටවත් නෙවෙයි මුලින් ගේම දෙන්න ඕනේ මැදගමුව ……. (එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නමක් ඔහු පැවසුවේය.)

ගම්පහ ඉඳන් ඩුබායි පැන්න පාතාලයන්ගේ අමන වැඩ…

“මිනිහා හොඳ දළ කාරයා නේද?”

“ඔව් බිස්නස්වලට අමතරව සල්ලි පොලියට දෙනවා.”

“කප්පමක් අරන් ගේම දෙමුද?”

“ඕක ගෙන් කප්පම් වැඩක් නැහැ. ඉවරයක් කරලම දාන්න ඕනා. එතකොට තමයි මගේ හිතට පොඩි හරි නිදහසක් දැනෙන්නෙ.”

“කාටද අපි ඔය ඕඩර් එක දෙන්නේ.”

“ඒක තමයි මම කල්පනා කළේ.”

“එහෙමද. කොණ්ඩයාට දෙමුද?”

“ඔව් අවුලක් නැහැ ඌ වැඩේ කරයි නේ.”

“තිතට වැඩේ දෙයි.”

“ඕකට ගහන්න හොඳ තුවක්කුවකුත් දෙන්න ඕනා.”

“ඔව් අනිවාර්යෙන්ම.”

“මම දන්න තැනක හොඳ නයින් එම් එකක් තියෙනවා. චීනයේ එකක්. ඒක සෙට් කරමු.”

“හරි එහෙනම් අපි කතා කරගත්ත විදිහට වැඩේ කරමු.”

“ඒක නොවෙයි ගුරුගම ඉන්න …..යා (තවත් ව්‍යාපාරිකයින්ගේ නමක් ඔහු සඳහන් කළේය.) අපිට දැන් කප්පම් දෙන්නෙ නැහැ.”

“ඒක තමයි. මම තුන්හතර පාරක් කෝල් කරලා තර්ජනය කළා. ඒත් මූ ගණන් ගන්නේ නැහැ.”

“එහෙම ගණන් ගන්නෙ නැහැ කියලා නිකන් ඉන්න බැහැ. එහෙම වුණොත් අනිත් අයත් අපට කප්පම් දෙන එකක් නැහැ.”

“මූවත් ඉවර කරලම දාමු.”

“මටත් හිතෙන්නෙ ඒක හොඳයි. එතකොට අනිත් අයත් බය වෙනවනේ.”

“එහෙනම් අපි ඉක්මනටම මේ දෙන්නම ඉවරයක් කරල දාමු.”

“ඔව් අරූට තව ටිකක් තර්ජනය කරලා බලමු. සමහරවිට බයට දෙන්නත් ඉඩ තියෙනවා.” “අනෙක් බිස්නස් ටික අපේ හොඳට යනවනේ.”

“ඔව් ඒවා අවුලක් නැහැ අපේ කොල්ලෝ ටික නියමටම කරනවා.”

ඒ අනුව හීනටියන ගුරුගම පදිංචි තරුණ ව්‍යාපාරිකයකුට පද්මේ සහ මහේෂ් කප්පම් මුදල් ඉල්ලා නිරතුරුවම මරණ තර්ජන එල්ල කළහ. එම තර්ජනවලට බිය නොවූ ඔහු මෙම අපරාධකරුවන් දෙදෙනාට කප්පම් ලබා දුන්නේ නැත. එයින් උරණ වූ එම අපරාධකරුවන් දෙදෙනා ඔවුන්ගේ ගෝලබාලයන් යොදවා එම ව්‍යාපාරිකයාගේ පවුලේ උදවිය යන එන තැන් පවා සොයා බලා තර්ජනය කිරීමට පටන් ගත්හ. ඒ අනුව තමන්ගෙන් පමණක් නොව තම පවුලේ උදවිය ගෙන් පවා මෙම අපරාධකරුවන් පලිගැනීමට සූදානම් බව ඔහුට තේරුණි. එමනිසා ඔහු නීතියේ සහය පැතීමට තීරණය කළේය.

ඒ අනුව එම ව්‍යාපාරිකයා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලිඛිතව මේ පිළිබඳව දැනුම් දුන්නේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ඩුබායි රටේ වෙසෙන මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ පාතාලය සම්බන්ධ කෙහෙල්බද්දර පද්මේ සහ මහේෂ් යන අය තමන්ගෙන් කප්පම් ඉල්ලන බවත් එසේ නොදුන්නොත් තමා සහ පවුලේ අය මරා දමන බවට නිරතුරුවම තර්ජනය කරන බවත්ය.

එම ලිඛිත පැමිණිල්ල සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දැනුම් දුන්නේය. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වෙත පවරන ලදී. ඔහුගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ගිහාන් මනෝහර ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ පැවැත්වූහ.

පරීක්ෂණවලදී එම පොලිස් නිලධාරීහු ඩුබායිහි සැඟවී සිටින කෙහෙල්බද්දර පද්මේ සහ මහේෂ් සිදු කළ සියලුම අපරාධ පිළිබඳ තොරතුරු සොයාගත්හ. ඒ අනුව එම අපරාධකරුවන් දෙදෙනාගේ මෙරට සිටින ගෝලබාලයින් පිළිබඳ තොරතුරු සොයා ගත්හ. එහිදී පැමිණිලිකාර ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට උත්සාහ ගන්නා කණ්ඩායම සොයා විමර්ශන සිදු කරද්දී මත්කුඩු ජාවාරමේ යෙදෙන පුද්ගලයන් කිහිපදෙනකු හෙරොයින් සමග අත්අඩංගුවට ගැනීමට හැකි වූහ.

අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී එම මත්කුඩු ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින පද්මේ සහ මහේෂ් විසින් ලබාදෙන ලද ඒවා බවට අනාවරණය කරගන්නා ලදී. එයට අමතරව පද්මේ විසින් මැදගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට දී තිබූ කොන්ත්‍රාත්තුව ද අනාවරණය කරගැනීමට හැකි විය. එලෙස ලද තොරතුරුවලට අනුව ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට සූදානමින් සිටි කොණ්ඩයා සහ තවත් පුද්ගලයන් කිහිපදෙනෙක් නයින් එම් වර්ගයේ පිස්තෝලයක් සහ ජීව අත්බෝම්බයක් සමග ද අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන්ට හැකි විය.

ගම්පහ ඉඳන් ඩුබායි පැන්න පාතාලයන්ගේ අමන වැඩ…

එතනින් නොනැවතුණු පොලිස් නිලධාරීහු ඩුබායි සිටින පද්මේ සහ මහේෂ්ගේ කීමට අනුව පැමිණිලිකාර ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට සූදානම්ව සිටි පිරිසක්ද අත්අඩංගුවට ගත්හ. එම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සඳහා භාවිතා කිරීමට ගෙනා ටී. 56 වර්ගයේ ගිනි අවියක් සහ නයින් එම් වර්ගය පිස්තෝල දෙකක් ද සොයා ගන්නා ලදී. එම ආයුධ තිබුණේ ආරක්ෂිතව වෙන වෙන ස්ථානවල සඟවමින්ය. ඉන් එකක් චීනයේ නිෂ්පාදිත භඡ 22 වර්ගයේ නයින් එම්.එම්. ස්වයංක්‍රීය ගිනි අවියකි. එම අවිය ආරක්ෂක අංශ විසින් භාවිත කරන ලද අවියක් බවත් දැනට වසරකට පමණ ඉහතදි පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ සංවිධානාත්මක අපරාධකරුවකු වන රත්මලානේ රොහා නමැති අපරාධකරු සතුව කලක් තිබී ඇති බවටත් තොරතුරු අනාවරණය විය. එයට අමතරව අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් සන්තකයේ ජීව උණ්ඩ සහ හෙරොයින් ද තිබී සොයාගෙන තිබේ.

කප්පම් ඉල්ලූ ව්‍යාපාරිකයාගේ පැමිණිල්ල නිසා තවත් ව්‍යාපාරිකයෙකුගේ ජීවිතය ද බේරුණි. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කරන ලදී.

ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන මෙම අපරාධකරුවන් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ව්‍යාපාරිකයන්ගෙන්ද කප්පම් මුදල් ලබා ගනිති. එම ව්‍යාපාරිකයින් තම ජීවිතයට ඇති ආසාව නිසා මේ පිළිබඳව පැමිණිලි නොකරති. මෙලෙස ඩුබායි රාජ්‍යයේ සහ වෙනත් රටවල සැඟවී සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ඇති බව ඉහළ පොලිස් නිලධාරියෙක් පැවසීය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා,

මීගමුව භාර පොලිස් අධිකාරි නාලක සේනානායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති චන්දන රණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ගිහාන් මනෝහර, සැරයන් චින්තක (49370), කොස්තාපල්වරුන් වන දිසානායක (67021), අමල් (67229), කුලතුංග (82758) සහ වන්නිනායක (37928) යන නිලධාරීහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment