ගම්පහ උසාවිය ළඟදී පස් පොඩ්ඩා වෙඩිකයි – තවත් තිදෙනෙකුට තුවාල

310

නඩුව අවසන් වී යන්න හදන විට වැගන්ආර් එකක් හරස් කරලා

උසාවිය ආරක්‍ෂාවට සිටි පොලිස් නිලධාරීන් ළඟ ගිනි අවි තිබී නෑ

සී.සී.ටී.වී. ඔස්සේ පරීක්‍ෂණ සිදු කෙරේ

පොලිස් කණ්ඩායම් 3ක් වැඩට බසී


කොන්ත්‍රාත් මිනීමැරුම් හා කොල්ලකෑම්, පස් ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව කියන ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු වන සමන් රෝහිත පෙරේරා හෙවත් ‘පස් පොඩ්ඩා’ නමැති පුද්ගලයා ඇතුළු සිව් දෙනකුට ගම්පහ මහාධිකරණය ඉදිරිපිටදී ඊයේ (27 වැනිදා) දහවල් නන්නාඳුනන කණ්ඩයම් ටී.56 ගිනි අවියකින් වෙඩි තබා බරපතළ තුවාල සිදුකර පලාගොස් ඇත.

වෙඩි වැදුන සිව්දෙනා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුනගේ තත්ත්වය අසාi බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

ඊයේ (27 වැනිදා) දහවල් 12.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී ගම්පහ මහාධිකරණය අසල ආරක්‍ෂාව සඳහා පොලිස් නිලධාරීන්ද සිට ඇති මුත් ප්‍රහාරය සඳහා පැමිණි පිරිස් සතර අතට වෙඩි වරුසාවක් එල්ල කර ගම්පහ නගරයම භීතියට පත්කොට පලාගොස් ඇත.

‘පස් පොඩ්ඩා’ නමැත්තා සහ තවත් තිදෙනකු ගම්පහ මහාධිකරණයේ පැවැති නඩු විභාගයකට පැමිණ ආපසු යෑම සඳහා ඔවුන් පැමිණි වෑන් රථය අසලට පැමිණෙමින් සිටියදී වැගන්ආර් වර්ගයේ මෝටර් රථයක් මග හරස් කර ඇත. පසුව ඉන් බැසගත් ටී-56 ගිනි අවියක් රැගෙන පැමිණි පුද්ගලයෙක් ‘පස් පොඩ්ඩා’ ඇතුළු පිරිසට එක දිගට ඉවක් බවක් නොමැතිව වෙඩි ප්‍රහාර එල්ල කර නිරුපද්‍රිතව පලාගොස් ඇත.

සිද්ධිය වන අවස්ථාවේදී ගම්පහ මහාධිකරණය ආසන්න මාර්ගවල විශාල පිරිසක් සිට ඇති අතර බියට පත්වූ ඔවුහු හිස් ලූ ලූ අත දිවගොස් දිවි බේරාගෙන ඇත. වෙඩි තබන අවස්ථාවේදී ආරක්‍ෂාව සඳහා යොදවා සිටි පොලිසිය අත ගිනි අවි තිබී නැතැයි ද ඔවුන්ට කරකියාගත නොහැකිවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මේ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන්ද එහි සිට ඇත.

‘පස් පොඩ්ඩා’ හෙවත් සමන් රෝහිත පෙරේරා නමැති පුද්ගලයා ගණේමුල්ල සංජීව නමැත්තා මෙහෙය වන පාතාල කල්ලියේ ප්‍රබල සාමාජිකයකු යැයි පරීක්‍ෂණ සිදුකරන පොලිසිය පවසයි. ගණේමුල්ල සංජීව නමැත්තා මෑත කාලයේදී ඉන්දියාවට පලා ගිය බවත් එම පාතාල නායකයා සමග එක්වී කොන්ත්‍රාත් මිනී මැරුම්, කොල්ලකෑම්, පස් ජාවාරම් හා කප්පම් සිද්ධි ඇතුළු දරුණු අපරාධ රැසකටම ‘පස් පොඩ්ඩා‘ සම්බන්ධ බවත් පොලිසිය සඳහන් කළේය.

පස් පොඩ්ඩා ඇතුළු සිව්දෙනා ඊයේ (27 දා) ගම්පහ මහාධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණ ඇත. මිනුවන්ගොඩ හීනටියන ‘අසිත’ නමැති පාතාල නායකයා ඇතුළු පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව මහාධිකරණයේ මෙම නඩුව විභාග වෙමින් තිබී ඇති අතර එම නඩුවට සහභාගි වී යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය පවසයි.

පාතාල කල්ලි දෙකක් අතර පවතින ආරවුලක් මුල්කරගෙන මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි මූලික පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

සිද්ධිය වන අවස්ථාවේදී ගම්පහ මහාධිකරණය හා ඒ අවට සීසීටීවී දර්ශන ඔස්සේ ඝාතනයට ආ පිරිස හඳුනා ගැනීම සඳහා මේ වන විටත් පොලිස් කණ්ඩායම් යොදවා ඇතැයිද විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු කියා සිටියහ.

පරීක්‍ෂණ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ විමර්ශන සිදුකරනු ලැබේ.

හේමන්ත රන්දුණු, ශිරාන් රණසිංහ සහ මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment