ගම්පහ ටියුෂන් පංතියේ ජංජාලය ගැන 15 කගෙන් ප‍්‍රකාශ ගනී

880

ගම්පහ විජයාරාම මාවතේ පිහිටි ප‍්‍රසිද්ධ උපකාරක පංතියක කාන්තා වැසිකිළියක් තුළ සිදුවන දේ සජීවීව ජංගම දුරකථනයකින් හෝ පරිගණකයකින් නැරඹීම සඳහා ඊට අදාළ උපකරණයක් වැසිකිළිය තුළ සවිකර තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ගම්පහ පොලිසිය පවසයි .

අ.පො.ස.(උ.පෙළ) විභාගයට පෙනී සිටින සිසුවියන් සහභාගී වන මෙම උපකාරක පන්තියේ සිසුවියක් විසින් වැසිකිළිය තුළ සවි කර තිබු නවීන තාක්ෂණයෙන් යුත් උපකරණයක් දැක තිබේ. ඒ බව උපකාරක පන්තියේ ගුරුවරුන් සහ සිසු සිසුවියන් ඇතුලූ දෙමව්පියන් දැනුවත් කිරීමෙන් අනතුරුව දෙමාපියන් විසින් කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ අරඹා ඇතැයි ගම්පහ පොලිසිය වැඩිදුරටත් පැවසීය.

එම වැසිකිළිය තුළ සවිකර තිබූ නවීන තාක්ෂණ උපකරණය මගින් ජංගම දුරකථනයක් හෝ පරිගණක යන්ත‍්‍රයක් උපයෝගී කරගෙන වැසිකිළිය තුළ සිදුවන දෑ සජීවිව නැරඹීමට හැකියාව ඇති බවට ගම්පහ පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙනතිබේ. මේ වන විට එම උපකාරක පන්තියේ ගොඩනැගිලි හිමිකරු ඇතුළු 15 දෙනෙකුගේ ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් එම උපකාරක පන්තියට සහභාගි වන සිසු සිසුවියන් විභාගයට පෙනී සිටිමින් සිටින හෙයින් ඔවුන්ගේ ප‍්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට ක‍්‍රියා කරන බව ගම්පහ පොලිසිය වැඩිදුරටත් පැවසීය.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා ස.පො අධිකාරි (01) තුසිත කුමාර යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත ගම්පහ මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment