ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශූරතාවය මහරට

20

බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා අංශය මගින් සංවිධානය කළ ගම්පහ දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මලල ක්‍රීඩා උළෙල පසුගියදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හා ගම්පහ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක වරුණ රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් ගම්පහ සිරිමාවෝ බණ්ඩාරනායක ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම ක්‍රීඩා උත්සවය ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී රෝහණ පෙරේරා මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ක්‍රීඩා නිලධාරීන් හා පුහුණුකරුවන් විසින් සංවිධානය කෙරිණි.

මෙම ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාවය මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය (රන් පදක්කම් 17, රිදී පදක්කම් 15, ලෝකඩ පදක්කම් 10) හිමිකර ගත් අතර එහි අනුශූරතාවය මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ද (රන් පදක්කම් 9, රිදී පදක්කම් 3, ලෝකඩ පදක්කම් 2) හිමි කරගෙන ඇත.

මෙහිදී මලල ක්‍රීඩා පිරිමි ශූරතාවය මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ද (රන් පදක්කම් 10, රිදී පදක්කම් 6, ලෝකඩ පදක්කම් 5) එහි අනුශූරතාවය ජාඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ද (රන් පදක්කම් 3, රිදී පදක්කම් 3, ලෝකඩ පදක්කම් 1), කාන්තා ශූරතාවය මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ද (රන් පදක්කම් 7, රිදී පදක්කම් 6, ලෝකඩ පදක්කම් 5) එහි අනුශූරතාවය ජාඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ද (රන් පදක්කම් 5, රිදී පදක්කම් 1, ලෝකඩ පදක්කම් 2) දිනාගෙන ඇත.

අවුරුදු 16න් පහළ පාසල් කාන්තා ශූරතාවය ගම්පහ සිරිකුරුස විද්‍යාලය (රන් පදක්කම් 6, රිදී පදක්කම් 1), එහි අනුශූරතාවය මහර මහමායා බාලිකා විද්‍යාලය (රන් පදක්කම් 2, රිදී පදක්කම් 1),

අවුරුදු 16න් පහළ පාසල් පිරිමි ශූරතාවය මීරිගම ඩඩ්ලි සේනානායක මහා විද්‍යාලය (රන් පදක්කම් 2, ලෝකඩ පදක්කම් 1), එහි අනුශූරතාවය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (රන් පදක්කම් 1, රිදී පදක්කම් 4, ලෝකඩ පදක්කම් 1) දිනා ඇත.

මෙම තරගාවලියේ විවෘත අංශයේ දක්ෂතම ක්‍රීඩකයා මීටර් 400 ඉසව්වේ තත්. 48.7 දක්ෂතාවක් දැක්වූ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මලිත් සකුන්ත ක්‍රීඩකයාත් එම අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මීටර් 100 ඉසව්වේ තත්.12.2 දක්ෂතාවක් දැක්වූ ජාඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එච්. කවිශ්කි තරුෂිකා ක්‍රීඩිකාවයි.

තවද අවුරුදු 16න් පහළ දක්ෂතම ක්‍රීඩකයා තුන් පිම්ම ඉසව්වේ මී.13.34 ක දක්ෂතාවක් දැක්වූ මීරිගම ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ නඳුන් නිම්සර ක්‍රීඩකයාත් එම අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව මී. 200 ඉසව්වේ තත්. 26.3 ක දක්ෂතාවක් දැක්වූ ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ තරණි නිර්මිනා ක්‍රීඩිකාවත් හිමි කරගෙන ඇත.

ගම්පහ සමූහ – සුසිල් රණමුක

advertistmentadvertistment
advertistmentadvertistment