ගම්පහ හිටපු දිසා ඇමැති ටියුඩර් ගුණසේකර කොවිඞ් ආසාදිතව මියයයි

311

ගම්පහ හිටපු දිසා ඇමැතිවරයකු හා මහර හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වූ ටියුඩර් ගුණසේකර මහතා කොවිඞ් ආසාදනයවීමෙන් පසු කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (30දා) අභාවප‍්‍රාප්ත විය.

 මියයන විට 86 වැනි වියේ පසුවූ ගුණසේකර මහතා හිරාන් ගුණසේකර පුතුණුවන්ගේ හා දයාංගනී ගුණසේකර විජේරත්න දියණියගේ පියාණන් වේ.

 ජේ. ආර්. ජයවර්ධන මහතාගේ එකල කැලණියේ ප‍්‍රබල ආධාරකරුවකු වූ ගුණසේකර මහතා 1977 පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී මහර ආසනය ජය ලබා පාර්ලිමේන්තුවට තේරී පත්විය.

 ගම්පහ පළමු දිසා ඇමැතිවරයා ලෙස 1978 වසරේදී පත්වූ ගුණස්කර මහතා 2000 වසරේදී පෝලන්තයේ පළමු තානාපති ලෙස පත් කෙරිණි. හෙයියන්තුඩුවේ සුප‍්‍රකට ගුණසේකර රාළහාමිගේ (අලි රාළහාමිගේ* පුතුණුවකු වූ ඔහුගේ ඇතුන් ශ‍්‍රී දළදා මාළිගාවේ දළදා සමිඳුන් වැඩමවීමට හා දළදා පෙරහැරට වාර්ෂිකව සහභාගි වෙයි.

 මහනුවර ශ‍්‍රී දළඳා මාළිගාවේ රාජා ඇතාගෙන් පසු වසර 11 ක්ම නුවර පෙරහැරේ දළඳා සමිඳුන් වැඩම කරලීම සිදුකර ඇත්තේ ඔහුගේ හෙයියන්තුඩුවේ රාජා ඇතා විසිනි. මෙවර පෙරහැරට ඔහුගේ ඇතුන් සහභාගි කරවා තිබේ.

 ගුණසේකර මහතාගේ බිරිඳ ද කොවිඞ් ආසාදිතව දැනට රෝහල්ගත කර තිබෙන අතර එම පවුලේ සෙසු අය නිරෝධායනයට යොමුවී සිටිති.

 ඒ මහතා මාවනැල්ල හිටපු එජාප සංවිධායකවරයකු වූ අනුරාධ දුල්ලෑව විජේරත්න මහතාගේ මාමණ්ඩියද වේ.

 කැලණි පුරවරයේ සුප‍්‍රකට දානපති පවුලක උපත ලද ටියුඩර් ගුණසේකර මහතාගේ මුණුබුරකු වන හසිත ගුණසේකරද දැනට කි‍්‍රයාකාරී දේශපාලනයට පිවිස සිටී. ටියුඩර් ගුණසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (30දා* සවස කොළඹ බොරැුල්ල කනත්තේදී සිදුකෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment