ගම්පොළ තේ කම්හලක ලක්‍ෂ 30 ක වැටුප් මුදල් අතුරුදන්

192

කළමනාකරු පොලිසි යයි

ගම්පොළ නගරයට ආසන්න තේ කම්හලක සේවකයින්ට අලුත් අවුරුදු වැටුප් දීමට ගෙනා රුපියල් ලක්ෂ 30කට ආසන්න මුදලක් සොරාගෙන ඇතැයි එහි කළමනාකරු විසින් ගම්පොළ පොලිසියට පැමිණිලි කර තිබේ.

පසුගිය 8 වැනිදා සිට සේවකයින්ට වැටුප් ගෙවා ඇති අතර ඒ සඳහා රුපියල් කෝටියකට අධික මුදලක් ගෙනැවිත් තිබේ. වරින් වර වැටුප් ගෙවා ඉතිරි වූ රුපියල් විසිනව ලක්ෂ හැත්තෑ හතරදහස් තුන්සිය අසූ එකක මුදලක් එහි කාර්යාලයේ ලාච්චුවට දමා ඇත්තේ ඉතිරි සේවකයන්ගේ වැටුප් ගෙවීමට ය. නමුත් එය සොරාගෙන ඇතැයි පතිරන්නැහැලාගේ මධුජිත් අකිල පතිරණ නමැති කළමනාකරු විසින් ගම්පොළ පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

ගම්පොල පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර තේ කම්හලේ සී.සී. ටී.වී. කැමරා සවි කර ඇතත් මුදල් තිබූ කාර්යාල පෙදෙසට එම කැමරා පද්ධති නොමැති වීම පරීක්ෂණවලට ගැටලුවක් බව පොලිසිය පවසයි. ඒ අනුව මුදල් සොරා ගැනීමේ වේලාවක් ද සටහන්ව නොමැති අතර සේවකයන් රාත්‍රී කාලයේද කම්හලේ සේවය කර ඇති බවත් ඒ අනුව මෙම සොරකමට පිටින් කෙනෙකුට පැමිණීමට නොහැකි බවත් පොලිසියේ නිගමනය වී ඇත. ගම්පොළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment