ගම්පොළ බැංකු කොල්ලයේ සැකකරුවන් අතර නිවුන්නු සිව්දෙනෙක්

98

ප්‍රධාන සැකකරු තම පෙම්වතියට රන් මාලයක්, ඇපල් දුරකථනයක් හා රු. ලක්‍ෂයකුක් දීලා
කොල්ලයට යොදාගත් පිස්තෝලය පුත්තලම මන්ත්‍රීගේ නිවස ගිනි තැබීමේදී සොරකම් කළ එකක්

ආයුධ සන්නද්ධව ගම්පොල නගරයේ පෞද්ගලික බැංකුවකට කඩා වැදී එහි තිබූ රුපියල් 76 ලක්ෂයක් අඩංගු මුදල් තැන්පතු යන්ත්‍රය (සී.ඩී.එම්.) රැගෙන යෑමට හවුල්ව අත්අඩංගුවට පත් පුද්ගලයන් හත්දෙනා ගම්පොල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි ගම්පල පොලිසිය පවසයි.

ගම්පොළ බැංකු කොල්ලයේ සැකකරුවන් අතර නිවුන්නු සිව්දෙනෙක්

මෙම සැකකරුවන් හත්දෙනා අතර එකම පවුලේ නිවුන් සහෝදරයන් සිවු දෙනෙකු ද සිටින බව පොලිසිය පවසයි.

කොල්ලකන ලද මුදල්වලින් රුපියල් දහ අට ලක්ෂ 70,000ක් හා ඔවුන් එම මුදල්වලින් මිලදී ගත් වෑන් රථයක්, යතුරුපැදියක්, රන් මාල දෙකක්, රන් මුදුවක්, ජංගම දුරකථන තුනක් ඇතුළු භාණ්ඩ රැසක් ද සොයාගෙන ඇත. සොරකම් කරන ලද මුදල් තැන්පත් යන්ත්‍රය ගලහ හාල් වත්ත ගල් වළක් ආසන්නයේ මීටර් සීයක් ප්‍රපාතයට දමා තිබී එය ද සොයාගෙන ඇත.

මේ සඳහා යොදාගත් පිස්තෝලය මෙහි ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇති අතර එම ගිනි අවිය ඉකුත් අරගල සමයේ දී පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාගේ නිවස ගිනි තැබීමේදී සොරකම් කරන ලද එකක් බව පොලිසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනාගෙන් සිව්දෙනෙකු පුත්තලම වාන පාර පදිංචිකරුවන් වන අතර ඉතිරි තිදෙනා ගලහා දෙල්තොට ගේඩ්වැලිවත්ත පදිංචිකරුවන්ය.

පුත්තලමේ පදිංචිකරුවන් මුල් කාලයේ ගම්පොළ කහටපිටිය දේශයේ පදිංචිකරුවන් බවද හෙළි වී ඇත. මෙම බැංකු කොල්ලය පසුගිය ජනවාරි මස 24 දින අලුයම එකට පමණ සිදුව තිබුණි. මේ සඳහා පැමිණ තිබූ කේ.ඩී.එච්. වෑන් රථය හා රියැදුරු අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ මෙම කොල්ලකරුවන් එම වෑන් රථය කුලී පදනම මත රැගෙන ඇති බවත් මෙම කොල්ලයට සම්බන්ධ නොමැති බවත්ය. මෙම සැකකරුවන් මීට පෙර ගලහ ප්‍රදේශයේ සිදු වූ බැංකු කොල්ලයකට හා රන් භාණ්ඩ වෙළඳසැල් දෙකක් කැඩීම සම්බන්ධ බව සොයාගෙන ඇත. මෙහි එකම සහෝදරයන් සිව්දෙනාගෙන් ප්‍රධාන සැකකරුවන තිස්හැවිරිදි වැඩිමහල් සහෝදරයා විවාහ වී නොමැති අතර මෙම කොල්ලකන මුදලින් ඔහුගේ පෙම්වතියට රන් මාලයක්, ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් හා මුදලින් රුපියල් ලක්ෂයක් දී ඇති බව ද හෙළි වී ඇත.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක, පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ, සහකාර පොලිස් අධිකාරී කමල් ආරියවංශ යන මහත්වරුන්ගේ උපදෙස් මත ගම්පොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු, පොලිස් පරීක්ෂක ජයන්ත, උප පොලිස් පරීක්ෂක තිස්ස බණ්ඩාර, පොලිස් සැරයන්වරුන් වන (21580), අමිත (33128), දිසානායක (36694), උදයංග (48907) සඳුන් (80241), සමරසිංහ (68721) සමරකෝන්, පොලිස් කොස්තාපල්වරුන් වන (69310) නලින් යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.
ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment