ගම්මන්පිල ඇමැති බැග්ලේ මහකොමසාරිස් ඉදිරියේ… අසරණයි

282

ආණ්ඩුවට ප‍්‍රශ්න පිට ප‍්‍රශ්නය. මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රමට එල්ල කළ ගල් සහ අසූචි ප‍්‍රහාරය තීරණාත්මකය. ඒ අලූත්ම ප‍්‍රශ්නයයි. කාබනික පොහොර අවුල (චීන අසූචි නැව), රසායනික පොහොර සහ පලිබෝධ නාශක ප‍්‍රශ්නය, වී සහතික මිල ගැටලූව, වගා හානි, වල් අලි, කහ, කිරිපිටි, ගෑස් නැතිවීම, ගෑස් සම්බන්ධ පිපිරීම්, ඖෂධ නැතිවීම/ හිඟවීම /නැත්තටම නැතිවීම, විදුලිය කැපීම, උද්ධමනය, බදු මිල ඇතුළු ප‍්‍රශ්න ගොන්නක් අතරේ චමුදිතට එල්ල කළ අසූචි ප‍්‍රහාරය ජනතා අවධානයට යොමුවී ඇත. ඒ හිරු නාලිකාවට එල්ල කළ ප‍්‍රහාරයක් ලෙසද සැලකිය හැක. එම සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු දෙන අයෙකුට රුපියල් ලක්ෂ 500,000 පිරිනැමීමට හිරු පාලනාධිකාරිය තීරණය කරන්නේ චමුදිත තමන්ට සේවය කරන නිසාය. හිරු නාලිකාව අසූචි ප‍්‍රහාරය සම්බන්ධයෙන් තම කණ්ඩායමක් යොදවා පරීක්ෂණයක් කිරීම විශේෂ තත්ත්වයකි. පොලිසියට බරපතළ වගකීමක් තිබේ. ඒ අසූචි ප‍්‍රහාරකයන් මෙන්ම ඔවුන්ව මෙහෙයවපු පුද්ගලයා හෝ කණ්ඩායම හඳුනා ගැනීමයි.

  • ණය උගුල යටපත් කළ අසූචි ප‍්‍රහාරය!

එක හොඳ පින්තූරයක් වචන දහසක් වටිනා බවට කතාවක් ඇත. එවැනි පින්තූරයක් පෙබරවාරි 15 වන දින බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළේය. ඒ බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල සහ කොළඹ සිටින ඉන්දියානු මහකොමසාරිස්වරයා වන ගෝපාල් බැග්ලේ කොළඹ වරායේදී එදිනම ගත් ඡායාරූපයකි.

පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක ගම්මන්පිල අමාත්‍යවරයා සහ බැග්ලේ මහකොමසාරිස්වරයා එකිනෙකාට ආචාර කරන එම පින්තූරය අවධාරණය කළේ පසුගියදා 74 වන නිදහස් දිනය සැමරූ ශ‍්‍රී ලංකාව කෙතරම් අසරණද බවයි. ඇත්ත වශයෙන්ම අන්ත අසරණය.

බොහෝ මැති ඇමැතිවරු ‘ෂෝක්‘ කලත් ඇති බහුතර ජනතාව අන්දමන්දවී සිටිති. පෝලිම්වල සීමාවක් නැත. පෝලිම් නැත්තේ කොවිඞ් බූස්ටර් එන්තන ලබා ගැනීමට පමණය. මාධ්‍ය වාර්තා නොකළත් ගෑස් පිපිරීම් සිදුවේ. නමුත් දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා සිදුවේ. ජාතික කර්මාන්ත ප‍්‍රදර්ශනය පැවැත්වූ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව භූමියේදී ගම්මන්පිල ඇමැතිවරයාම පසුගියදා පැවසූ පරිදි ආණ්ඩුවට රුපියල් නැත. රටට ඩොලර් නැත. හිටපු ඇමැති ඩිව් ගුණසේකර කොමිනියුස්ට් පක්ෂයේ මාතර සම්මේලනයේදී ප‍්‍රකාශ කළේ වර්තමාන තත්ත්වය ශ‍්‍රී ලංකාව එදා බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබූ පසු මුහුණ දෙන දැවැන්තම අර්බුදය බවයි. ඔවුන් දෙදෙනාම අවධාරණය කරන්නේ මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම කොවිඞ් මත පැටවිය නොහැකි බවයි. ඔවුන් දෙදෙනාගේ ස්ථාවරය නිවැරදිය.

පොහොට්ටු ආණ්ඩුවේ ප‍්‍රබල කණ්ඩායමකට මෙවැනි ප‍්‍රකාශ දිරවන්නේ නැත. සමහරුන්ට කොවිඞ් ව්‍යසනය ආශිර්වාදයකි. සමස්ත අසමත්භාවයම කොවිඞ් පිට පැටවිය හැක.

රට ණය උගුලක පැටලී ඇති බවට ගම්මන්පිල ඇමැතිවරයා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා භූමියේදී කළ බරපතළ ප‍්‍රකාශය විමසා බැලිය යුතු වන්නේ වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒමට ශ‍්‍රී ලංකාව තවදුරටත් ඩොලර් බිලියන ගණනින් ණය වෙමින් පවතින තත්ත්වයක් තුළය.

පිවිතුරු හෙළ උරුමය නායකයා අදාළ චෝදනාව එල්ල කරන්නේ පොහොට්ටු ආණ්ඩුවට නොවේ. පසුගිය දශක කිහිපය තුළ රට පාලනය කළ සියලූ ආණ්ඩුවලටය. වර්තමාන පාර්ලිමේන්තුවේ එක මන්ත‍්‍රී ආසනයකට සීමා වී ඇති එජාපයත්, ආසන 54 කට හිමිකම් කියන සමගි ජන බලවේගය මෙන්ම ශ‍්‍රීලනිපයද මෙම තත්ත්වයට අඩු වැඩි වශයෙන් වගකිව යුතුය.

පොහොර සහ පලිබෝධ නාශක තහනම් කිරීමෙන් රටේ කෘෂිකර්මාන්තය විනාශවූ බව සහ මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් රජයට දොස් පැවරීම නිසා සුසිල් පේ‍්‍රමජයන්තට තම රාජ්‍ය ඇමැති ධුරය අහිමි විය. නමුත් ගම්මන්පිල අමාත්‍යවරයා යුගදනවි ගිවිසුමට එරෙහිව විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර අමාත්‍යවරුන් සමඟ ගත් ස්ථාවරයට එහා ගොස් ඇත. අමාත්‍යධුරය පරදුවට තබා තිත්ත ඇත්ත ඇති සැටියෙන් ජනතාව ඉදිරියේ තැබීමට ගම්මන්පිල අමාත්‍යවරයා ගෙන ඇති තීන්දුව අසික්කිත ශ‍්‍රී ලංකා දේශපාලනයේ නව හැරවුමකි. පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන්ට ආදර්ශයකි.

බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ පින්තූරයේ පසුබිම් කතාව අතිශය කනගාටුදායකය. එලෙසම ආන්දෝලනාත්මකය. ශ‍්‍රී ලංකාවට අවශ්‍ය තෙල් ඉන්දියාවෙන් මිලදී ගැනීමට මෑතකදී පොහොට්ටු රජය ඉන්දියාව සමඟ ගිවිසුම්ගත විය. ඒ ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් වටිනා මිලදී ගැනීම් සඳහාය. නමුත් එම ගිවිසුම ක‍්‍රියාත්මක වනතුරු බලා සිටිය නොහැක. අවශ්‍ය ප‍්‍රමාණයට ඞීසල් නැත. මහජන උපයෝගීතා කොමිසම මොනවා කීවත් රටේ බරපතළ ඞීසල් අර්බුදයක් ඇත. එයට හේතුව ඩොලර් නැති කමය. රට බරපතළ නියඟයකට මුහුණු දී ඇති මෙම අවස්ථාවේ විදුලි නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඞීසල් සපයා ගැනීම දුෂ්කරය. ණය ගිවිසුම ක‍්‍රියාත්මක වන තුරු ඉන්දියාවෙන්ම ණයට ඞීසල් මෙටි‍්‍රක් ටොන් 40,000 ලබා ගැනීම හැර වෙන විකල්පයක් නැත. ස්වර්ණ පුෂ්ප නැව පසුගියදා කොළඹ වරායට සේන්දු වූයේ ඉන්දියානු තෙල් සමාගමෙන් ලබා දුන් ඞීසල් මෙටි‍්‍රක් ටොන් 40,000 රැගෙනය. ඔඩු දුවමින් පවතින ප‍්‍රශ්නය එක තෙල් නැවකින් විසෙඳන්නේ නැත.

ණය උගුලෙන් ගැලවීමට නව ණය වටයකට ආණ්ඩුව අවතීර්ණය වී ඇත. තත්ත්වය ඉතාමත් අයහපත් බව අමුතුවෙන් කිවයුතු නැත. ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ට අමතරව, ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ගිවිසුමකට ඇතුළු වන්නේ ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍යතා සපුරා ගැනීමටය.

පසුගියදා ඉන්දියාව රැපිඞ් ඇන්ටිජන් කිට්ස් 100,000 ශ‍්‍රී ලංකාවට නොමිලේ ලබාදීම තව දුරටත් අවධාරණය කරන්නේ වර්ධනය වෙමින් පවතින අසරණ භාවය නොවේද? ආණ්ඩුවට, විපක්ෂයට, සිවිල් සමාජයට සහ මාධ්‍යට ආර්ථික අර්බුදය තවත් එක මාතෘකාවක් පමණි. ‘වොයිස් කට්’ දෙමින් මැති, ඇමැති, සිවිල් සමාජ ක‍්‍රියාකාරීන්, මාධ්‍ය ඇතුළු සියල්ලන් රඟති.

ගම්මන්පිල අමාත්‍යවරයා කළ ණය උගුල පිළිබඳ ප‍්‍රකාශය සුසිල් පේ‍්‍රමජයන්ත කෘෂිකර්මාන්තය කඩා වැටීම සම්බන්ධයෙන් ආණ්ඩුවට දොස් පැවරීමට වඩා බරපතළය. ඉන්දියාව මෙම දුෂ්කර අවස්ථාවේ ශ‍්‍රී ලංකාවට පිහිට වූ බව සැබෑය. ඊට රජය සහ සමස්ත ජනතාව ඉන්දියාවට ස්තුතිවන්ත විය යුතුය. නමුත් ඉන්දියාවට ප‍්‍රති උපකාර කිරීමට ශ‍්‍රී ලංකාවට නොහැකිය. ඒ වෙනුවට ශ‍්‍රී ලංකාව ඉන්දියාවට ශ‍්‍රී ලංකාව තුළ අවස්ථා ලබා දී ඇත. මෑතකදී ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 සම්බන්ධයෙන් ගිවිසුම් ගතවීම, ඉන්දියානු අදානි සමාගම සහ ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය අතර යෝජිත බටහිර ජැටිය ව්‍යාපෘතිය මෙන්ම අනෙකුත් ඉන්දියානු ආයෝජන අනාගත ශ‍්‍රී ලංකාවට බලපාන්නේ කෙලෙසද?

තෙල් ටැංකි ගිවිසුම ඉන්දියාවට ත‍්‍රිකුණාමලය කේන්ද්‍ර කරගෙන තම ‘බලය’ ස්ථාපිත කර ගත හැකිය. ඇමෙරිකාව නායකත්වය දෙන චීනයට එරෙහිව ගොඩනඟා ඇති හතර දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයන් වන්නේ ලෝක බලවතා වන එක්සත් ජනපදය, ජපානය, ඔස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාවයි. ඉන්දියාවෙන් මෙන්ම චීනයෙන් ද අලූතෙන් ලබා ගන්නා ණය පියවීමද අනාගතයේ තවත් රුදුරු උවදුරක් වනු ඇත. හම්බන්තොට වරාය 2017 දී චීනයට වසර 99 කට හිමිවූ අයුරු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලට අමතක කර දැමිය නොහැක. ඉන්දියාව, චීනය හෝ අනෙකුත් බලවතුන් කිසිදු රටකට මිත‍්‍රත්වය මත පමණක් ණය, ආධාර හෝ ආයෝජන ලබා දෙන්නේ නැත. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මෙන්ම ඇමෙරිකාවේ නිව් ෆොර්ට‍්‍රස් එනර්ජි සමාගම යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ගිවිසුම්ගත වීම තත්ත්වය එසේමය.

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පසුගිය සතියේ රටේ ඉහළම අධිකරණයේදී ප‍්‍රකාශ කළේ අදාළ ඇමෙරිකානු සමාගම ශ‍්‍රී ලංකාවේ කරනු ලබන අයෝජනය යැංකි ආක‍්‍රමණයක් නොවන බවයි. ඔහු කරුණු දැක්වූයේ යුගදනවි මව් සමාගම වෙනුවෙන්ය. අමෙරිකාවේ අනාගත අභිලාශ සම්බන්ධයෙන් එවැනි ප‍්‍රකාශයක් කිරීමේ වරදක් නැත.

එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් වගකීම ඔහුගේය. ජනාධිපති නීතිඥවරයා මුදල් මණ්ඩලයේද සාමාජිකයෙකි. යුගදනවි ගිවිසුම සහ ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගිවිසුමද දැනට රටේ ඉහළම අධිකරණයට යොමු වී ඇත. මෙම ගිවිසුම් දෙක සහ අනෙකුත් විදේශීය පාර්ශ්ව සම්බන්ධ ආයෝජන සහ මැදිහත්වීම් සම්බන්ධයෙන් වර්තමාන දේශපාලන, ආර්ථික සහ සමාජීය අස්ථාවරත්වය සැලකිල්ලට නොගෙන සාකච්ඡා කිරීමෙන් පලක් නැත. අර්බුදය තව‍්‍ර වෙමින් පවතී.

ඩොලර් අහේනිය ආණ්ඩුවට ඇතිකර තිබෙන පීඩනය සුළුපටු නොවේ. නමුත් භූමියේ තත්ත්වය දිගින් දිගටම නොසලකා කටයුතු කරනා ආණ්ඩුවට ගම්මන්පිල අමාත්‍යවරයා මෑතකදී උපදෙසක් දුන්නේය. ඒ සැබෑ තත්ත්වය පිළිගන්නා ලෙසයි. ගම්මන්පිල අමාත්‍යවරයා ආණ්ඩුවට එල්ල කර ඇති අභියෝගය සුළු පටු නොවේ. මාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මීට සති කිහිපයකට පෙර ආණ්ඩුවට අවධාරණය කළේ රාජ්‍ය සේවයට සහ විශ‍්‍රාමිකයන්ට පමණක් වැටුප් සහ දීමනා වැඩි කිරීමෙන් ජනතාව මුහුණ දෙන ප‍්‍රශ්නය විස`දිය නොහැකි බවයි. එයද බරපතළ ප‍්‍රකාශයකි. රජය ප‍්‍රකාශයට පත් කළ රුපියල් බිලියන 229 සහන පැකේජයට සැහැල්ලූවට ලක් කිරීමකි.

රට මුහුණ දෙන බරපතළම අර්බුදයට විසඳීමට රජයට හෝ විපක්ෂයට සැබෑ වුවමනාවක් තිබෙන බවට පෙනෙන්නේ නැත. විපක්ෂය ආණ්ඩුවට කකුල් මාට්ටුවක් දැමීමට මාන බලයි. විදේශීය ණය ගෙවීමට පෙර රටේ ජනතාවගේ කුස පිරවිය යුතු බව පවසන්නේ දේශපාලන ගිජුලිහිණියන් කණ්ඩායමක් බව තේරුම් ගැනීමට උසස් අධ්‍යාපනයක් අවශ්‍ය නැත. නමුත් රටේ අවාසනාවකට ශ‍්‍රී ලංකාව බංකොළොත් කළ හැකි අභියෝගයට මුහුණ දීමට නිසි ක‍්‍රියාමාර්ගයක් නැත. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ මතු කරන්නේ සැබෑ රටේ, නැතහොත් ජනතාවගේ අවශ්‍යතාද ?

නිදහස් මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රමගේ පිළියන්දල වෑවල පිහිටි නිවසට එල්ල කළ ගල් සහ අසූචි ප‍්‍රහාරය මෑතකදී මාධ්‍ය අවධානයට යොමු වූ සිද්ධියකි. කලගෙඩිහේන ප‍්‍රදේශයේදී සංවිධානය කර තිබූ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට එල්ල වූ කුණු බිත්තර සහ ගල් ප‍්‍රහාරය මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට රාගමදී එල්ලවූ මැර ප‍්‍රහාරය නැවත නැවතත් අවධාරණය කරන්නේ ශ‍්‍රී ලංකාව අස්ථාවර කිරීමට කිසිදු විදේශීය බලපෑමක් අවශ්‍ය නොවන බවයි. යෝජිත ‘එක රටක් එක නීතියක්’ සංකල්පය කෙසේ වෙතත් නීතිය පිළිබඳ විශ්වාසය බලවත් ලෙස පිරිහී ඇත. බොරැල්ලේ පිහිටි සියලූ සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත්බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කළ මූලික ප‍්‍රකාශ නිෂ්ප‍්‍රභා කරමින් අත්අඩංගුවට ගත් විශ‍්‍රාමික වෛද්‍යවරයා හැර සියලූ දෙනා මුදාහැරීම ආන්දෝළනාත්මකය. ලැජ්ජාසහගතය.

නිශ්චිත සැබෑ අර්බුදය පසෙකලා, නව ප‍්‍රශ්න නිර්මාණය කිරීම අපරාධයක් බව කිව යුතුමය. අනුරාධපුරේ සල්ගාදු පිට්ටනියේ සංවිධානය කර තිබූ පොහොට්ටු රැලිය සහ කොළඹ පෝර්ට්සිටි නගරයේ පැවැත්වූ ‘වැලන්ටයින් කෙළිය’ හෙළි කළේ තීන්දු තීරණ ගැනීමේ විකාර ස්වභාවයයි. නැතහොත් සමස්ත අවුල්සහගත බවයි. කොවිඞ් ව්‍යසනයෙන් ආරක්ෂාවීමට ජනතාව එකතු නොවිය යුතු බව ප‍්‍රකාශ කරමින් දසදහස් ගණනාවක් අනුරාධපුරයට සහ පොර්ට්සිටි නගරටය දැක්ක වීම අදහාගත නොහැක. මෙවැනි අවස්ථා කොවිඞ් පොකුරු ඇති කිරීමට හැකි බව අමුතුවෙන් තේරුම් කර දීමට අවශ්‍ය නැත. නැවතත් රට වැසීමට සිදුවුවහොත් ශ‍්‍රී ලංකාව උඩු යටිකුරු වෙනු ඇත. දැනටම ආර්ථිකය හතර ගාතෙන් බව අමුතුවෙන් කිවයුතු නැත.

ඩොලර් ඉතිරි කිරීමට ඉන්දියාවෙන් කහ ආනයනය තහනම් කළේ අවුරුද්දකටත් පෙරය. අද තෙල් නැව් පිටින් ඉන්දියාවෙන් ණයට ගැනීමට සිදුවීම අවාසනාවන්ත තත්ත්වයක් නොවේද? පොහොට්ටු පක්ෂය ජනාධිපතිවරණය 2019 නොවැම්බර් ජයග‍්‍රහණය කළ පසු පැවැත්වූ පළමුවෙනි කැබිනට් මණ්ඩලයේ රැස්වීමේදී වැට් ඇතුළු බදු ගොන්නක් කපා හැරීමට ගත් අනුවණ තීන්දුව පොහොට්ටු රජය අගාදයකට තල්ලූ කර දැම්මේය. රුපියල් බිලියන 600 ආසන්න බදු ප‍්‍රමාණයක් අහිමි කර ගත්තේ නිරපරාදේය. ජනතාවට අත්වූ සෙතක් ද නැත. මංගල සමරවීර මුදල් ඇමැතිවරයා ලෙස ගත් ක‍්‍රියාමාර්ග හේතුවෙන් රුපියල් බිලියන 1,900 වඩා වැඩි අදායමක් රජයට 2019 දී හිමිවිය. පොහොට්ටු රජය කළ බදු කපා හැරීම සහ සංශෝධන හේතුවෙන් රජයේ ආදායම රුපියල් බිලියන 1,300 අඩු විය. ආණ්ඩුව නැවත මෙම තීන්දුව සමාලෝචනය කළ යුතුය.

දූෂණය, වංචා සහ අක‍්‍රමිකතා පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසමක් ඉදිරියේ එවකට මහා බැංකු අධිපති වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඡන්ද දායකයන්ට ඉතාමත් වටිනා අවවාදයක් දුන්නේය. මුදල් පරිපාලනය සම්බන්ධයෙන් දැනුමක් තේරුමක් තිබෙන පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැවීමේ අවශ්‍යතාවයයි. පාර්ලිමේන්තුව අසමත් වීම සම්බන්ධයෙන් විමසා බැලිය යුත්තේ මැති සබය නියෝජනය කරන පක්ෂ සහ එම පක්ෂ නියෝජනය කරන මැති ඇමැතිවරුන් තම වගකීම් පැහැර හැරීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වීම තුළය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment