ගම්මන්පිල කියන කතාව තිත්තයි එත් ඇත්තයි

705

පොහොට්ටු ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ ශක්තිමත්ය. තුනෙන් දෙකකට ආසන්න බලයක් ආණ්ඩුවට මැතිසබයේ ඇත. නමුත් අභියෝග බරපතළය. ඉන් වඩාත්ම ප‍්‍රබල අභියෝගය නම් මූල්‍ය අර්බුදය (විදේශ සංචිත හීනවීම/ඩොලර් ණය ගෙවීම) බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය. ශ‍්‍රී ලංකාව මුහුණ දෙන අර්බුද, අභියෝග හමුවේ දේශපාලන බලය පුස්සක් වී ඇත. ආණ්ඩුව තුළද ගැටුම් ඇත. යුගදනවි ගැටුම අධිකරණය ඉදිරියේය. ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර තම අස්වීමේ ලිපිය භාර දීමට සිදුවූයේ මෙම ගැටුම්කාරී තත්ත්වය තුළය. මූල්‍ය අර්බුදය හේතුවෙන් ඇතිවූ තත්ත්වය අද වනවිට දිනකට අවම ලෙස පැය එකහාමාරක් විදුලිය කැපීමට හේතු වී ඇත. නිසි කලට වැසි නොලැබුණහොත් තත්ත්වය තව දුරටත් අයහපත් වනු ඇත. ශ‍්‍රී ලංකාව මුහුණ දෙන අර්බුදය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන් ආකාරයට සියලූම දේශපාලන පක්ෂවලට එක්ව ජයගත හැකිද? ඒ අවස්ථාව උදා කර ගත හැක්කේ ප‍්‍රධාන වශයෙන්ම මූල්‍ය පාලනයෙන් බව අවධාරණය කළ යුතුය.

බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල සමස්ත රාජ්‍ය යාන්ත‍්‍රණයේ වගකීම් විරහිත ස්වභාවය පසුගියදා අවධාරණය කළේය. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම තෙවන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනට පසුදිනය. ආන්දෝලනාත්මක වාර අවසානයකින් පසුව ජනාධිපතිවරයා මැති සබය නැවත ආරම්භ කළේ ජනවාරි 18 දිනය. ප‍්‍රමාණවත් විදේශීය සංචිත නොමැතිකම ශ‍්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන බරපතළම අර්බුදය බව ජනාධිපතිවරයා තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේදී පිළිගත්තේය. ඊට පසුදින ගම්මන්පිල අමාත්‍යවරයා බරපතළම අර්බුදයේ සැබෑ ස්වරූපය ජනතාව ඉදිරියේ තැබීය. ඒ බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය. ප‍්‍රධානතම රාජ්‍ය ආයතනවල වගකීම් විරහිත ක‍්‍රියාකාරිත්වය පුදුමාකාරය.

තම අධීක්ෂණයට යටත්වන තෙල් සංස්ථාව, අවශ්‍ය ප‍්‍රමාණයට තෙල් නොදෙන නිසා විදුලිය කපා දැමීමට සිදුවන බවට විදුලිබල මණ්ඩලය කරන චෝදනාව ගම්මන්පිල අමාත්‍යවරයා ප‍්‍රතික්ෂේප කළේය. අමාත්‍යවරයා අවධාරණය කළේ ‘‘සමස්තයක් ලෙස 60% ට වැඩි ප‍්‍රමාණයක් දෙසැම්බර්, 2021 වන තුරුම විදුලිය නිපදවූයේ ජල විදුලියෙන්. විදුලි අර්බුදය ඇතිවන්නේ එය 38% දක්වා පහත වැටීමෙන් පසුව. විදුලිබල මණ්ඩලය තෙල් සංස්ථාවෙන් තෙල් ඉල්ලීමක් කළේ ජනවාරි මාසයේ 11 වෙනිදා ජනවාරි මාසයේ 13 වෙනිදා සිට තෙල් ලබාදෙන්න කියලා. මීට කලින් විදුලිබල මණ්ඩලය දැනුම්දී තිබුණේ ජනවාරි මාසය අග වන තුරු තෙල් අවශ්‍ය නෑ කියලයි. අපි ගාව තොග තිබුණෙත් නෑ. තොගවල හිර කරන්න තරම් අපි ගාව විදේශ විනිමය නෑ. විදේශ විනිමය අතිශයින්ම සීමිතයි. ඇත්තෙන්ම අපි තෙල් දෙන්නේ නෑ නොවේ, දෙන්න තෙල් නෑ. ජනවාරි 13දා සිට තමන්ට දවසකට ඞීසල් ටොන් 1,500 බැගින් අවශ්‍යයි කියලා විදුලි බල මණ්ඩලය අපට කිව්වේ ජනවාරි 11දා. අපට ඉල්ලපු ගමන් ඞීසල් දෙන්න ඞීසල් ළිඳක් නෑ. ඞීසල් තොග ඇත්තෙත් නෑ. ආනයනය කරගන්න ඇති පදමට විදේශ විනිමය ඇත්තේ නැහැ.”

පිවිතුරු හෙළ උරුමය නායකයා චෝදනා එල්ල කර ඇත්තේ විදුලිබල මණ්ඩලයට සහ ඊට වගකිවයුතු විදුලිබල අමාත්‍යාංශයට නොවේද? විදුලිබල මණ්ඩලයේ සභාපති කලක් ඔස්ටේ‍්‍රලියාවේ පදිංචි වී නැවත ශ‍්‍රී ලංකාවට පැමිණි එම්. සී. ෆර්ඩිනැන්ඩෝය. ඉංජිනේරු විජිත හේරත් ඉවත්කර ෆර්ඩිනැන්ඩෝට විදුලිබල මණ්ඩලය පැවරෙන්නේ යුගදනවි ගිවිසුමට අත්සන් කිරීමට මාස කීපයකට පෙරය. විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේය. එතුමාට විදුලිබල අමාත්‍යාංශය පැවරුනේ පසුගිය අගෝස්තු මාසයේදීය. ඊට පෙර එම අමාත්‍යාංශය ඩලස් අලහප්පෙරුමට හිමිවිය. එම පත්වීමද සිදු කළේ යුගදනවි ගිවිසුමට අත්සන් කිරීමට පෙරය. විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මියය.

ගම්මන්පිල අමාත්‍යවරයා එල්ල කළ බරපතළ චෝදනාවෙන් ගැලවීමට විදුලිබල අමාත්‍යාංශයට හෝ විදුලිබල මණ්ඩලයට නැත. අදාළ අමාත්‍යාංශයේ ක‍්‍රියාකාරිත්වය අවධානයට ලක් කළ යුත්තේ යුගදනවි ගිවිසුම ක‍්‍රියාත්මක කිරීමට එම අමාත්‍යාංශය, විදුලිබල මණ්ඩලය මුදල් අමාත්‍යාංශය සමග එක්ව වේගවත්ව කටයුතු කළ ආකාරයද විමසීමට ලක්කරමිනි.

ගම්මන්පිල අමාත්‍යවරයා විදුලිබල නායකත්වයට කළ චෝදනා සුළුකොට තැකිය නොහැක. ඒ ගම්මන්පිල ඇතුළු අමාත්‍යවරු තිදෙනෙක් යුගදනවි ගිවිසුමට එරෙහිව රටේ ඉහළම අධිකරණය බරපතළ කරුණු දැක්වීමක් කර ඇති තත්ත්වයක් තුළය.

ගම්මන්පිල අමාත්‍යවරයා පෙන්වා දෙන ආකාරයට තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය අතර යහපත් සම්බන්ධතාවක් නැත. ගම්මන්පිල සහ ලොකුගේ අමාත්‍යවරයා අතරද තෙල් අර්බුදය සම්බන්ධයෙන් නිසියාකාර කතාබහක් සිදුවූයේ නැති බවද පැහැදිලිය. තෙල් අර්බුදය සම්බන්ධයෙන් කැබිනට් මට්ටමේ සහ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ නිසියාකාර අවධානයකට ලක් වූයේද? එසේ වූවානම් ගම්මන්පිල අමාත්‍යවරයාට ජනවාරි 19 දින මාධ්‍ය ඉදිරියේ විදුලිබල නායකත්වයට චෝදනා කිරීමට වන්නේ නැත. ශ‍්‍රී ලංකා මුහුදට ඇතුළු වූ ඞීසල් ප‍්‍රවාහන යාත‍්‍රා වල තිබූ ඞීසල් ටොන් 37,000 ගෙවීමට දින නමයක් තිස්සේ අවශ්‍ය විදේශ විනිමය තමන්ට නොලැබුණු බවට කළ හෙළිදරව්ව රජය පත්වී ඇති අතිශය අර්බුදකාරී තත්ත්වය පිළිබිඹු කරන බවට අමුතුවෙන් කිවයුතු නැත.

ශ‍්‍රී ලංකාව මුහුණු දී ඇති අර්බුදය හමුවේ, රජය ලංකා ඉන්දියානු තෙල් සමාගමෙන් ඞීසල් තොගයක් ඉල්ලීම සහ එය ප‍්‍රතික්ෂේප වීම අවධාරණය කරන්නේ රට අසරණ වී ඇති බව නොවේද? විනාඩි 90 වක් ක‍්‍රමානුකූලව විදුලිය කප්පාදුවක් කිරීම හැර විදුලිබල මණ්ඩලයට වෙන විකල්පයක් නොමැති බවත්, එසේ නොකර පැය 24ම විදුලිය සැපයීමට උත්සාහ කළහොත් ප‍්‍රතිඵලය රටම අඳුරේ බවත් ප‍්‍රසිද්ධියේ පැවසීම වර්තමාන අර්බුදය අවධාරණය කරයි.

වර්තමාන අර්බුදය සම්බන්ධයෙන් පළමුවෙන්ම ජනතාවට අනතුරු ඇඟවූයේ ගම්මන්පිල ඇමැතිවරයාය. ඔහුට ඒ ගෞරවය හිමිවිය යුතුය. ඒ පසුගිය ජුනි මාසයේ ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව අගමැතිවරයා මුදල් ඇමැති ලෙස අනුමත කළ රජයේ තීන්දුව ප‍්‍රකාශයට කිරීම නිසා ගම්මන්පිල අමාත්‍යවරයාට ඉල්ලා අස්වීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් බල කිරීම හමුවේ බලශක්ති අමාත්‍යවරයා කටයුතු කළ ආකාරයයි. ඔහු තම ස්ථාවරය වෙනස් නොකළේය. තෙල් මිල ඉහළ දැමීම කිසිසේත් කල් දැමිය නොහැකි බවත්, රජය අවශ්‍ය පියවර ගැනීමට පියවර නොගතහොත් පියවාගත නොහැකි තෙල් ණය හේතුවෙන් බැංකු පද්ධතිය බිඳ වැටීමට ඉඩ ඇති බවද ප‍්‍රකාශ කළේය.

මුදල් අච්චු ගසා මෙම අර්බුදය විසඳිය හැකිනම් රජය එම උත්සාහය කරනු ඇත. නමුත් රුපියල් බිලියන ගණනින් අච්චු ගසන ආකාරයට ඩොලර් අච්චු ගැසීමට බැරිය. මෙම වසරට ඉදිරිපත් කළ අය වැයෙන් මුදල් වෙන් නොකළත්, ජනවාරි 4වන දින රුපියල් බිලියන 229 ක සහන පැකේජයක් රාජ්‍ය සේවකයන්ට, රාජ්‍ය සේවයේ විශ‍්‍රාමිකයන්ට සහ සමෘද්ධිලාභීන්ට ප‍්‍රකාශයට පත්කිරීම දේශපාලන අරමුණක් නොවේද? ඔඩු දුවනා විදේශීය සංචිත අර්බුදය හමුවේ වගකීම් විරහිත ආකාරයට මුදල් අච්චු ගැසීම අවාසනාවන්ත තත්ත්වයක් නොවේද. සමාජ ක‍්‍රියාකාරී කීර්ති තෙන්නකෝන් වර්තමාන අර්බුදය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් තොරතුරු ජනතාව ඉදිරියේ තබා ඇත. මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් මධ්‍යම, ඌව සහ දකුණු පළාතේ හිටපු මහා ඇමැතිවරයා ඉදිරිපත් කළ තොරතුරු ජනතාවගේ මෙන්ම පාර්ලිමේන්තුවේ අවධානයට යොමු විය යුතුය.

පසුගිය වසරේ අවසාන දිනයේ පමණක් මුද්‍රණය කර ඇති මුළු මුදල රුපියල් බිලියන 6.5 කි. එම වසරේ මුද්‍රණය කර ඇති මුළු මුදල රුපියල් බිලියන 678.33 කි. මේ ආකාරයට මුදල් අච්චු ගැසීම අනුමත කළ නොහැක. විදේශ සංචිත වේගයෙන් අඩුවීම සහ ඉවක් බවක් නොමැතිව මුදල් අච්චු ගැසීම රජයේ මූල්‍ය ප‍්‍රතිපත්තිය විය යුතු නැත. හිටපු ඇමැති ඩිව් ගුණසේකර කොමිනියුස්ට් පක්ෂයේ ප‍්‍රකාශය වන ‘ඇත්ත’ (ජනවාරි 09, 2022 කලාපය ) පළ කළ ලිපියකින් රුපියල් බිලියන 229 සහන පැකේජය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය සමස්ත මුදලම අච්චු ගැසීමට සිදුවන බව අවධාරණය කර ඇත. කවුරුත් ගරු කරන ඩිව් ගුණසේකර මහතා කරන අනතුරු ඇඟවීම කිසිසේත් බැහැර කළ නොහැක. කොමිනියුස්ට් පක්ෂය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරයි. ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු 145 අතර කොමිනියුස්ට් පක්ෂයට හිමි එක ආසනයකි. ඒ ආසනය මාතර දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්වූ වීරසුමන වීරසිංහය.

පොහොට්ටු රජය නියෝජනය කරන පක්ෂ බොහෝ කරුණු කාරණා සම්බන්ධයෙන් එක ස්ථාවරයක නැත. ඇමෙරිකානු සමාගමක් සමඟ 2021සැප්තැම්බර් 17, දින අත්සන් කරන ලද යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටුම එක අර්බුදයක් පමණි. පොහොට්ටුව තුළද යම් තීරණාත්මක තීන්දු තීරණ සම්බන්ධයෙන් ප‍්‍රතිවිරුද්ධ මත ප‍්‍රකාශ වීම සිදු වේ. රජයේ කෘෂිකර්මාන්ත ප‍්‍රතිපත්තිය, ආහාර සුරක්ෂිතතාව සහ ඩොලර් අර්බුදය පිළිබඳව අදාළ ඇමැතිවරුන්ට සහ තීන්දු තීරණ ගත් නායකත්වයට දෝෂාරෝපණය කිරීම හේතුවෙන් සුසිල් පේ‍්‍රමජයන්තට රාජ්‍ය අමාත්‍ය ධුරය අහිමි විය. එවැනි පසුබිමක් තුළ මාධ්‍ය ඇමැති සහ කැබිනට් ප‍්‍රකාශක රුපියල් බිලියන 229 සහන පැකේජය පීඩාවට පත්වී ඇති සමස්ත ජනතාවගෙන් අවධානය යොමු කර ඇත්තේ රාජ්‍ය සේවය සහ ඉන් විශ‍්‍රාම ගිය කොටසට පමණක් බව පැවසීම අවධානයට ලක්වනු ඇත.

මාතර තිහගොඩ පැවති රැස්වීමකදී මාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ සමස්ත පෞද්ගලික අංශය සහ අවිධිමත් රැකියා අංශය මුහුණ දෙන අර්බුදකාරී තත්ත්වය අවධානය ලක්වී නොමැති බවයි. දේශපාලනඥයන් රට බලාපොරොත්තු වන ආදර්ශය නොදී සහ තම වගකීම් ඉටු නොකර ජනතාවගෙන් කැප කිරීම් බලාපොරොත්තු නොවිය යුතු බවට මාතර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයා පැවසීය. එවැනි දේශපාලනඥයන් පිස්සන් ලෙස ජනතාව හඳුන්වනු ලබන බවට මන්ත‍්‍රීවරයා අනතුරු ඇඟවිය. ප‍්‍රකාශය බරපතළය. රජයේ ප‍්‍රධාන තීන්දුවක් විවේචනයට ලක්කළ පළමුවැනි පොහොට්ටු ඇමැතිවරයා අලහප්පෙරුමය. යුගදනවියට එරෙහිව යුද ප‍්‍රකාශ කළ වාසුදේව නානායක්කාර, විමල් වීරවංස සහ උදය ගම්මන්පිල යන තිදෙනාම වෙනත් පක්ෂවල සාමාජිකයන්ය. අලහප්පෙරුම කළ ප‍්‍රකාශයට කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු විය යුතුමය.

කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ මෙන්ම පොහොට්ටු සන්ධානයේ නායකත්වය අතර යහපත් සම්බන්ධතාවක් තිබේද? රට, රජය සහ ජනතාව මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ නිසියාකාර අවධානයකට යොමු වෙනවාද? අලහප්පෙරුම අමාත්‍යවරයා තිහගොඩ කළ දී ප‍්‍රකාශය විමසුමට භාජන කළ යුතුය. මුදල් අච්චු ගසා ක‍්‍රියාත්මක කරන රුපියල් බිලියන 229 සහන පැකේජය කැබිනට් මණ්ඩලය තුළදී සාකච්ජාවට බඳුන් වූවාද? එසේ වූවානම් අලහප්පෙරුම අමාත්‍යවරයා හෝ සහෝදර කැබිනට් මණ්ඩල සාමාජිකයන් එම යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළ කළාද ?

නිදහසින් පසුව ශ‍්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම අර්බුදය අතරේ රජයේ සේවයේ ඉහළම සේවකයා වන ජනාධිපතිවරයාගේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර ඉල්ලා අස්වීම වර්තමාන ගැටලූකාරී තත්ත්වය තවදුරටත් අවධාරණය කරයි. මහින්ද රාජපක්ෂ සමයේ මුදල් ලේකම් ලෙස කටයුතු කළ ජයසුන්දර ජනාධිපති ලේකම් තනතුර අත හැරීම තුළ ආණ්ඩුවේ ක‍්‍රියාකාරිත්වය උඩු යටිකුරු විය නොහැක. නමුත් ජයසුන්දරගේ ඉවත් වීම සහ එම තනතුරට අග‍්‍රාමාත්‍ය ලේකම් ලෙස රාජකාරි කළ ගාමිණී සෙනරත් පත්වීම අන් කිසිදු ඉවත් කිරීමක් හෝ පත්වීමක් සමඟ සංසන්දනය කළ නොහැක. නමුත් පොහොට්ටු පක්ෂය කොවිඞ් ව්‍යසනය අතරේ වැරදි තීන්දු තීරණ ගැනීම නිසා තමන් විහින්ම ඇතිකර ගත් අර්බුදය හිටපු මුදල් ලේකම්වරයා මත පැටවීම සාධාරණ නැත. පසුගිය වසර දෙක අර්බුදකාරී වීම ආචාර්ය ජයසුන්දර පිට පැටවුවහොත්, ඉතිරි වසර තුන සම්බන්ධයෙන්ද ජනතාවට බලාපොරොත්තු තබා ගත නොහැක.

රටේ ව්‍යාකූලභාවය විදේශීය බලවේග සහ ඔවුන්ගේ දේශීය ඒජන්තයන් තම වාසියට ගෙන ඇත. යුගදනවි ගිවිසුම එහි එක ප‍්‍රතිඵලයක්ද?

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment