ගමේ හිටියා නම් කසාදයක් බැඳලා ළමයෙකුත් හදලා

2163

පද්මාවතී ගැන නයෝමි කියන කතාව


වේදිකාව තුළින් රංගනයට පිවිසි ඇය නව පරපුරේ තරු අතර දක්‍ෂ රංගන ශිල්පිණියක්. එදා රත්තිල් වැවේ මුතු මැණිකේ ලෙසත් අද දවසේ නීල පබළු පූජා වගේම අඳුන්ගිර පද්මාවතී ලෙසත් වෙනස් චරිත නිරූපණයෙන් ඔබ හමුවට පැමිණෙනවා. නමින් නයෝමි තක්‍ෂිලා වූ ඇයත් සමගයි මේ කතාබහ.


 * අඳුන්ගිර පද්මාවතී මිනිස්සු කොහොමද දකින්නේ?

 තවම කොටස් හයක් හතක් තමයි විකාශනය වෙලා තියෙන්නේ. එම විකාශනය වුණු කොටස් ටිකේ තවම චරිතය ගැන ලොකුවට කතා බහ වෙලා නැහැ. දැනට මිනිස්සු ආදරණීය විදිහට වැළඳ ගෙන තියෙනවා.

 * අඳුන්ගිර රූගත කිරීම් ගැන කතා කළොත්?

 රූගත කිරීම් සිදුකරන්නේ මගේ ගම වන විලච්චියේම තමයි. ඒක මට ලොකු පහසුවක්. ඇත්තටම රූගතකිරීම් වලදී ලොකු ලොකු අභියෝග වලට මුහුණ දෙන්නත් සිද්ධ වුණා. ටිකක් මහන්සි වෙලා කරන වැඩක්. මට හරියට තුවාල වුණා. චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්නත් එපායැ.

ගමේ හිටියා නම් කසාදයක් බැඳලා ළමයෙකුත් හදලා



 * ඔබට නිතර ලැබෙන්නේ ටිකක් වෙනස් චරිත නේද?

 ඔව්. ඇත්තටම ඒක මට ලැබිච්ච ලොකු වාසනාවක්. අපේ වයසත් එක්ක ගොඩක් කට්ටියට සාමාන්‍යයෙන් නිතර ලැබෙන්නේ සීනිබෝල පෙම්වතියගේ චරිතය. මට සීනි බෝල චරිත වගේම මෙගා නාට්‍යවල පෙම්වතියගේ චරිත අතර හරවත් නිර්මාණවල චරිතාංග චරිතත් ලැබිලා තියෙනවා. ඒක මම දන්නේ නැහැ ඇයිද එහෙම වෙන්නේ් කියලා.

 * පද්මාවතී ඔබ දකින්නේ කොහොමද?

 රත්තිල් වැවේ මුතුමැණිකේ ගෙන් පස්සේ මට ලැබිච්ච මැණිකක් විදිහට තමයි මම දකින්නේ. රංගනය පැත්තෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් චරිතයක් තමයි පද්මාවතී. ශාන්ති අක්කාටත්, නුවනි අක්කාටත් ඉන්දික අයියාටත් වගේම පේ‍්‍රක්‍ෂකයන්ටත් මම සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන.

 * ඇත්තටම මේ දිනවල රංගන වැඩ කටයුතු සීමාවෙලා ද තියෙන්නේ?

 සීමාවෙලත් නැහැ දැනට විකාශනය වෙන ටෙලි නාට්‍ය දෙකේ රූගත කිරීම් දැනට කොහොමත් කරගෙන යනවා. ඊට අමතරව වේදිකා නාට්‍ය නම් මගහැරිලයි තියෙන්නේ. තව නාට්‍ය දෙක තුනක රූගත කිරීම් සිදු කළා. ඒවත් ඉදිරියේදී විකාශනය වේවි කියලා හිතනවා.

 * ඔබට ලැබෙන ආරාධනා ගැන ඔබ තෘප්තිමත්ද?

 අපොයි ඔව්. මට ලැබෙන ආරාධනා අනුව කාලවේලාව අනුවත් මම යම්කිසි තෝරා බේරා ගැනීමක් සිද්ධ කරනවා. පිටපත පවා අනිවාර්යයෙන්ම බලනවා.

 * ගැමි චරිත වලට කොටුවෙලා කියලා හිතනවද?

 නැහැ. මම එහෙම හිතන්නේ නැහැ. ගැමි චරිත මම විතරක් කරනවා කියන තැන මම නැහැ. දැන් මම කරන නීල පබළු ටෙලි නාට්‍යයේ පූජාගේ චරිතය වෙනස්. අඳුන්ගිර පද්මාවතී ගත්තත් එහෙමයි. ඒවා එකිනෙකට වෙනස්. ඉතිං මම හිතන්නේ නැහැ එහෙම එක විදිහකටම දකීවි කියලා.

ගමේ හිටියා නම් කසාදයක් බැඳලා ළමයෙකුත් හදලා



 * රංගනයට ආපු එක ගැන ඇත්තටම මොකද හිතෙන්නේ?

 රංගනය කියන දේ දක්‍ෂතාවය තිබුණත් ලස්සන තිබුණත් හැමෝටම හම්බවෙන්නේ නැති දෙයක්. ඒක මට ලැබුණු උතුම් දෙයක් විදිහට මම සලකනවා වගේම මේ ක්‍ෂේත‍්‍රයට ගරු කරනවා. ඉස්සරහටත් මගේ ආත්මගරුත්වය රැුකගෙන හොඳ වැඩවල ඉන්න තමයි බලාපොරොත්තුව.

 * නවකයන්ට තියෙන කැපිලි කෙටිලි නයෝමිට අදාළ නැතිද?

 අදාළ නැහැ. ඒක හරි ගොන් කතාවක්. මම කවදාකවත් ඒක පිළිගන්නේ නැහැ. අපි කොතැන ගියත් වැඩිහිටියන්ට ගරුකරන්න ඕනෑ වගේම ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න ඕනෑ. ඒ වගේම මේ ක්‍ෂේත‍්‍රය තුළත් ඒ දේ අදාළයි. අපි ප‍්‍රවීණයන්ට නිසි තැන දෙන්න ඕනෑ. ප‍්‍රවීණයන්ට විතරක් නෙමෙයි සුදුස්සාට සුදුසු තැන ලබා දුන්නාම අපිට ඉබේම එයාලගෙන් ලැබෙන්න ඕනෑ ගෞරවය ලැබෙනවා. එතකොට එතැන කවදාකවත් කැපිල්ලක් කෙටිල්ලක් ඇතිවෙන්නේ නැහැ.

 * වේදිකාවට සෑහෙන කාලයකින් ගොඩවෙන්න බැරිවීම ගැන දුකක් තියෙනවාද?

 අම්මෝ ඔව්. මම මේ කතාබහ ඇතිවෙන්න කලිනුත් ඒ ගැන ඇත්තටම කල්පනා කළා. වේදිකාවකට නැගලා රඟපාන්න හරි ආසයි. ඇත්තටම අවුරුදු දෙකකින් විතර වේදිකා නාට්‍යයක රඟපාලා නැහැ.

 * නයෝමි තක්‍ෂිලා රඟපෑමට ආවේ නැතිනම් දැන් මොනවා කරාවිද?

 රඟපෑමට ආවේ නැතිනම් අර නෙල්ලිකුලමේ ගමට වෙලා ඉක්මනට කසාදයක් කරගෙන ළමයෙකුත් හදාගෙන ගමටම වෙලා ඉඳීවි.

 * දැන් ස්ථිර පදිංචිය කොළඹද?

 ස්ථිර පදිංචි නැහැ. මම ගෙදර යනවා එනවා. මම කොහොමටත් කොළඹ ආවේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ අධ්‍යාපනවේදී උපාධියටනේ. දැන් මම උපාධිය අවසන් කරලා ඉවරයි. තව ටික දවසකින් ඒකෙනුත් රැුකියාව කරන්න එපායැ. කලාව අත හරින්නෙත් නැහැ.

 * රඟපාන ගමන් රැුකියාවක් කරන්නත් සූදානමක් තියෙනවාද?

 ඔව්. මම ආවේ නාට්‍ය හා රංග කලා උපාධියටනේ. ඉතිං මම අනිවාර්යයෙන්ම ගුරුවරියක් වෙන්න ඕනෑ. මේක වෘත්තියක් විදිහට දිගටම කරගෙන යන්න අමාරුයි. ගුරුවරියක් වීමේ සිහිනය සැබෑ කරගන්නත් ඕන.

 * නයෝමිට හරියට ආදර යෝජනා වගේම විවාහ යෝජනා වලින් අඩුවක් නැහැ කියන්නේ?

 එහෙම නැහැ.

 * නයෝමි පෙම්වතියක් නේද?

 ඔව්. පෙම්වතියක්. කවුද පෙම් කරන්නේ නැත්තේ?

 * ඔහුත් ක්‍ෂේත‍්‍රයට සම්බන්ධයි නේද?

 නැහැ. එයා ක්‍ෂේත‍්‍රයේ කෙනෙක් නෙවෙයි. මම කොහොමත් ක්‍ෂේත‍්‍රයේ කෙනෙක් සම්බන්ධ කරගන්න කැමැති නැහැ. එයා ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයේ කෙනෙක්.


දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment