ගල්අඟුරු ටෙන්ඩරය ඩුබායි සමාගමකට පැවරීමට එරෙහිව ඕමල්පේ හිමිගෙන් අයිතිවාසිකම් පෙත්සමක්

235

රජයට ඩොලර් මිලියන 500 කට අධික පාඩුවක් සිදුකරමින් ලංකා කෝල් (ගල් අඟුරු) සමාගම සිදුකළ අධිශක්ති ගල් අඟුරු මෙට්‍රික්‌ ටොන් මිලියන 4.5 ක් සැපයීමේ ටෙන්ඩරය ඩුබායි රාජ්‍යයේ බ්ලැක් ෂෑන් කොමෝඩිට්ස් සමාගම වෙත පිරිනැමීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් ජාතික හෙළ උරුමය පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඕමල්පේ සෝභිත හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

එම මතභේදාත්මක ටෙන්ඩරය ඩුබායි සමාගමට පිරිනැමූ ලංකා කෝල් සමාගම, කැබිනට් මණ්ඩලය, විශේෂ ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයන් සහ තාක්‍ෂණ ඇගයුම් කමිටුවේ සාමාජිකයන් මෙන්ම ඩුබායි බ්ලැක් ෂෑන් කොමෝඩිට්ස් සමාගම එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ලියාපදිංචි ගල් අඟුරු සැපයුම්කරුවකු නොවන පෙර කී ඩුබායි සමාගමට එම ටෙන්ඩරය ලබාදීමේ අරමුණින් ටෙන්ඩර් වගන්ති සංශෝධනය කිරීම ඇතුළු සමස්ත ක්‍රියාවලියම සිදුකර ඇති බවත් එකී අහිතකර ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳපොළේ පවතින මිලට වඩා අවම වශයෙන් ඩොලර් මිලියන 500 ක් පමණ වැඩිපුර ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදු වී ඇති බවත් ඕමල්පේ සෝභිත හිමියන් සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වූ විශාලතම ජාත්‍යන්තර ටෙන්ඩරයක් වුවද එම ටෙන්ඩරයට අදාළ සංශෝධන නිසි පරිදි ප්‍රකාශයට පත් නොකිරීමෙන් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිසට තරගකාරී ටෙන්ඩර් මිල ගණන් ඉදිරිපත් කිරීම වළක්වා ඇති බවත් උන්වහන්සේ සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

එබැවින් එකී ටෙන්ඩර් ක්‍රියාවලියට අදාළ සංශෝධන හා නිර්දේශ අධිකරණයට කැඳවා නිසි විමර්ශනයක් සිදුකිරීමට බලධාරීන්ට නියෝග කරන ලෙසත්, එකී අයුතු ක්‍රියාදාමය නිසා තමන්වහන්සේ ඇතුළු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරන ලෙසත් එමගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment