ගල්අඟුරු මෙටි්‍රක් ටොන් 63,000ක්  රැගත් නැවක් අද පුත්තලමට

118

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මෙටි්‍රක් ටොන් 63,000 ක් රැගත් නැවක් අද (25 දා) පුත්තලමට පැමිණෙයි.

මෙලෙස තවත් නැව් 02 ක් මේ මස 30 වැනිදා සහ ලබන මස 05 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය. මේ වසරට අදාළව ගල්අඟුරු මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවත් එයට එරෙහිව අධිකරණයට යෑම නිසා එම ටෙන්ඩරයට ඉදිරිපත් වී සිටි සමාගම ගල්අඟුරු සැපයීමෙන් ඉවත් විය.

එම සමාගම ඉවත්වීම නිසා පසුගිය වසරේ (2021) කැඳවූ ටෙන්ඩරයට අනුව ගල්අඟුරු නැව් 19 ක් ලබාගැනීමේ හැකියාව විදුලිබල මණ්ඩලය සතු වෙයි. ඉන් නැව් 05 ක් මිලදී ගැනීම සඳහා කටයුතු කර තිබෙන අතර එම ටෙන්ඩරයෙන් තවත් නැව් 03 ක් ගැනීමට අදහස් කර ඇත.

බලාගාරය සතු ගල්අඟුරු සංචිත මේ මස 30 වැනිදා අවසන්වීමට නියමිතව තිබූ අතර එසේ වූවානම් බලාගාරය අක්‍රියවීමට ඉඩ තිබුණි. නමුත් විදුලිබල මණ්ඩලය පැරණි ටෙන්ඩරයට අනුව ගල්අඟුරු නැව් 03 ක් ගැනීමෙන් පසු ලබන වසරේ පෙබරවාරි මැද පමණ වනතෙක් එම ප්‍රමාණයෙන් බලාගාරයේ කටයුතු සපුරා ගැනීමට අදහස් කර තිබේ.

බලාගාරයේ යන්ත්‍ර 03 න් 02 වැනි යන්ත්‍රය අලුත්වැඩියා කර පරීක්‍ෂණ මට්ටමේ පවතී. එයින් නිපදවන විදුලි බලය යම් ප්‍රමාණයක් අද (25 දා) ජාතික පද්ධතියට එක්කිරීමට හැකිවනු ඇතැයි බලාගාර ඉංජිනේරුවෝ පවසති.

ඊයේ (24 දා) විදුලි කප්පාදුවක් නොකළ ද විදුලි ඉල්ලුම අඩුවීම නිසා බලාගාරයේ යන්ත්‍ර දෙකෙන් නිපදවන විදුලිය මෙගාවොට් 540 ක ප්‍රමාණය 400 දක්වා අඩු කිරීමට කටයුතු කර ඇතැයි ද ඔවූහු කියා සිටියහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment