ගල්අඟුරු හිඟයෙන් පැය 10  විදුලි කප්පාදුව අනිවාර්යයි

198

ලංවිම ඉංජිනේරුවෝ කියති

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් විදුලිය ජනනය කිරීමට අවශ්‍ය ගල්අඟුරු මෙටි්‍රක් ටොන් 960,000 ක හිඟයක් ලබන 20 වැනිදායින් පසු මතුවන නිසා අනිවාර්යයෙන්ම දිනකට පැය දහයක් පමණ විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංවිම ඉංජිනේරුවරු කියා සිටිති.

අප්‍රේල් මාසයට පෙර ගල්අඟුරු නැව්වාර 38 ක් මෙරටට ගෙන ඒමට සැලසුම් කර තිබුණත් නැව්වාර 14 ක් සඳහා ණයවර ලිපි නිකුත් කර ගැනීමට නොහැකි වීම හා කැඳවූ ටෙන්ඩර්වලට අදාළ සමාගම් මිල ගණන් ඉදිරිපත් නොකළ නිසා ගල් අඟුරුහිඟය මතුව ඇත.

කෙසේ වෙතත් ගල්අඟුරු නැව්වාර 24 ක් සාර්ථකව සිදුකරමින් පසුගිය මාස අටේදී නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය සාමාන්‍ය පරිදි විදුලිය ජනනය කළ බව ද ඉංජිනේරුවරු සඳහන් කළහ.

නමුත් ඉකුත් අප්‍රේල් මාසයේ සිට වාරකන් කාලය (බටහිර වෙරළ නිරිතදිග මෝසම් වැසි සමය) ආරම්භ වූ නිසා අප්‍රේල් සිට ලබන ඔක්තෝබර් දක්වා කාලයේදී ගල්අඟුරු මෙරටට ආනයනය කළත් ඒවා ගොඩබෑමට නොහැකි වී තිබේ.

එනිසා ලබන 20 වැනිදායින් පසුව නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සංචිත නොමැතිවීම නිසා එය ස්වයංක්‍රීයව නතර වනු ඇතැයි ද ඔවූහු කීහ.

මෙගාවොට් 900කට ආසන්න විදුලිබල ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක් කරන මෙම බලාගාරය නැවතුනහොත් දිනකට පැය දහයක පමණ කාලයක් විදුලිය කපාහැරීමට සිදුවන බව ද ඔවූහු කියති.

ගල්අඟුරු සංචිත සම්බන්ධයෙන් මීට මාස කිහිපයකට පෙර වරින්වර ‘දිවයින’ මගින් තොරතුරු හෙළි කළත් වගකිවයුතු නිලධාරීන් හා විෂය භාරව කටයුතු කළ ඇමැතිවරුන් නිසි පියවර නොගත් නිසා රට යළි අඳුරට පත්වනු ඇතැයි ලංවිම ඉංජිනේරුවරු තවදුරටත් පැවසූහ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment