ගල්කිස්ස උසාවියේ නඩුකාරයා ඉදිරිපිටම සාක්‍ෂිකරුට වෙඩි : කුරුමානම වරදී වෙඩික්කරු පලායයි

355

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගයක් අතරතුර විත්තිකූඩුවේ සිටි සැකකරුවකුට ඊයේ (04 දා) වෙඩි තබා වෙඩික්කරු පලා ගොස් තිබේ. මෙම වෙඩි තැබීමේ සිද්ධියත් සමග මහෙස්ත්‍රාත්වරයා සහ අධිකරණ ශාලාවේ සිටි නීතිඥවරුන් ඇතුළු පිරිස දැඩි ලෙස භීතියට පත්වූහ.

වෙඩි ප්‍රහාරයෙන් විත්තිකූඩුවේ සිටි සැකකරුට අනතුරක් සිදු වී නැති අතර අනූනවයෙන් ඔහු දිවි බේරා ගත් බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කළේය.

අධිකරණ ශාලාවේ නඩු විභාග වන අවස්ථාවේ ිපිස්තෝලයක් සඟවා ගෙන ශාලාවට ඇතුළු වී එහි වාඩි වී සිටි වෙඩික්කරු සැණින් ක්‍රියාත්මක වී මෙලෙස විත්තිකූඩුවේ සිටි සැකකරු ඉලක්ක කොට වෙඩි තබා ඇත.

එලෙස වෙඩි තබන අවස්ථාවේදී ඉලක්කය වැරදීම නිසා විත්තිකූඩුවේ සිටි සැකකරුට හානියක් සිදු වී නැත. සැණින් ක්‍රියාත්මක වූ වෙඩික්කරු ඔහු ළඟ තිබූ පිස්තෝලය ද සමගින් අධිකරණ ශාලාවෙන් පිටට දිව ගොස් ඇත. එම අවස්ථාවේදී අධිකරණ පරිශ්‍රයේ පොලිසිය හා බන්ධනාගාර නිලධාරීන් ද සිට ඇති අතර වෙඩි තබා පලා යන සැකකරු මෙල්ල කර ගැනීමට කිසිවකුට හැකියාව ලැබී නැත.

පසුව වෙඩික්කරු ගල්කිස්ස අධිකරණ ශාලාවේ බැම්මේ එල්ලී එළියට පැන නිරුපද්‍රිතව පලා ගොස් ඇත.

ක්‍රෙඩිට් කාඩ් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු වැල්ලවත්ත පොලිසිය මගින් ඊයේ (04 දා) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබිණි.

ඒ අනුව ඊයේ (04 දා) දහවල් 1.20ට පමණ සැකකරු විත්තිකූඩුවට ගොඩ වූ සැණින් ක්‍රියාත්මක වූ වෙඩික්කරු ඔහු ඉලක්ක කොට වෙඩි තැබීම සිදු කර ඇත.

මෙම විත්තිකූඩුවේ සිටි සැකකරු වැලිගම ප්‍රදේශයේ පදිංචි අයෙකි.

වෙඩි තබා පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය මෙහෙයුම් අරඹා ඇත. අධිකරණ ශාලා පරිශ්‍රයට ඇතුළු වී සිදු කළ මෙම වෙඩි තැබීම බරපතළ සිද්ධියක් යැයි ද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

හේමන්ත රන්දුණු, කැස්බෑව – ජයසිංහ, පින්සිරි ආරියරත්න, බී ගෝමස්

advertistmentadvertistment
advertistmentadvertistment