ගල්බොක්ක කඳු පන්තියේ කැල්සයිට් කැපීමට එරෙහිව විරෝධතා

284

* ජල මූලාශ‍්‍රවලට උපත දෙන රක්ෂිත වනාන්තරයක්ලහිරු වීරසේකර

* පැය දෙකක් ඇඹිලිපිටිය – රත්නපුර මාර්ගය අවහිර වෙයි


සංඛපාල ගල්බොක්ක කඳු පන්තියේ සිමෙන්ති නිෂ්පාදනය සඳහා කැල්සයිට් කැපීමට රජය මගින් අවසර දීමේ ක‍්‍රියාවට එරෙහිව ඊයේ (23 දා) පෙරවරුවේදී විරෝධතාවක් පැවැත්විණි. ඒ උඩවලව සංඛපාල ගල්කොරිය මංසන්දියේදීය. සංඛපාල ගල්බොක්කයාය කඳුවැටිය  සුරැකීමේ ව්‍යාපාරය මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.

ගල්බොක්ක කඳු පන්තියේ කැල්සයිට් කැපීමට එරෙහිව විරෝධතා

විරෝධතාකරුවන් දහසකට ආසන්න පිරිසක් ඇඹිලිපිටිය – රත්නපුර මාර්ගයේ කොටසක් අවහිර කරමින් පෙරවරුවේ විරෝධය දක්වන ලද අතර පසුව ඇඹිලිපිටිය රත්නපුර මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර කරමින් ඔවුහු විරෝධතාවයේ නියැලූනහ.

විරෝධතාකරුවන් කියා සිටින්නේ අක්කර 250කට වඩා වැඩි කොටසක් ප‍්‍රසිද්ධ සිමෙන්ති සමාගමක් සඳහා කැල්සියට් සිලිකේට් නිදි හා ඩොලමයිට් ලබාගැනීමට රජය මගින් ලබාදී ඇති බවයි. ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය පරිදි රත්නපුර දිස්ත‍්‍රික් ලේකම්ගේ හා ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය මත මෙම ඉඩම් අදාළ සමාගමට බදු ලබාදී ඇත.

ගල්බොක්ක කඳු පන්තියේ කැල්සයිට් කැපීමට එරෙහිව විරෝධතා

විරෝධතාව හේතුවෙන් පැය දෙකක් පමණ ඇඹිලිපිටිය – රත්නපුර මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ධාවනය අවහිර වූ අතර ජනතාව දැඩි අපහසුතාවට පත්වූ අයුරු දක්නට හැකි විය.

මෙම අවස්ථාවට ඒක්ව සිටි යූත් ෆෝ චේන්ජ් සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර:

මේ පරිසර සංවිධාන සියල්ල ඒක්වෙලා මේ අවට ගම්වාසීන්ගේ ප‍්‍රධානත්වයෙන් අපි කරන්නේ මේ ප‍්‍රදේශය වටා තියෙන සංඛපාල ගල්බොක්කයාය කඳු වැටිය කපල දාන්න, විනාශකරල දාන්න මේ වෙද්දී ආණ්ඩුවේ ජනතාවට වගකියන බලධාරීන් තීරණය කරල ඉවරයි. ගල්බොක්කයාය කඳු වැටියේ තියෙන ඩොලමයිට්, කැල්සියට්, සිලිකේට්. පාෂාණ ටික ගන්න මේ වෙද්දී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හම්බවෙලා තියනව කියල ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් නිල වශයෙන් කියල ඉවරයි. මේක රක්ෂිත වනාන්තර කඳු වැටියක්. මේකේ තියන ජෛව්‍ය විවිධත්වය, ශාක සත්තුන්ට නිවහන සපයන එක මේ ප‍්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ජල අවශ්‍යතා සම්පූර්ණ කරන ගොවිතැන්වලට ජල අවශ්‍යතාවයන් සපුරණ ජල මූලාශ‍්‍රවලට උපත දෙන්නේ මේ කඳු වැටියෙන්. ඒ නිසා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේකට විරුද්ධයි. අනෙක් ආයතන ඒකතුවෙලා මේ මොකක්ද කරන්න යන්නේ. මේ රක්ෂිත ප‍්‍රදේශ විනාශ කරන්න. අපි කිසිම විටෙක ඉඩ දෙන්නේ නැහැ.

සෞභාග්‍යයේ දැක්මේ ප‍්‍රතිපත්තිය අනුව මේ කොටසට යෝජිත වන රක්ෂණයට දැන් වවාගෙන යද්දී තමයි මේ කඳු වැටිය කපන්න හදන්නේ. මේ පුරා විද්‍යා භූමියක්. අද හොරුන්ගේ තිප්පළක් බවට පත්වෙලා. 5/2001 චක‍්‍රලේඛනය අහෝසි කරල වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අයිතිය අරගෙන කඳු පන්ති විනාශ කරනවා. මේ කඳුවැටිය ආරක්ෂා වනතුරු අපි දැඩි අරගලයක් කරනවා මේ ආරම්භය පමණයි.

පැය දෙකක් පමණ විරෝධතාවය පැවැති අතර මෙහිදී ලහිරු වීරසේකර සහ පොලිස් නිලධාරීන් අතර උණුසුම් කතාබහක්ද ඇති විය. පසුව වගකිව යුතු නිලධාරියකු මෙම ස්ථානයට නොපැමිණි අතර නැවත ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලට පැමිණ වෙනත් දිනකදී දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ජනතාව දැනුවත් කිරීමෙන් අනතුරුව පිරිස විසිර ගියහ.

ඕමල්පේ – ප‍්‍රගීත් ජනක

advertistmentadvertistment
advertistmentadvertistment