ගල් අගුරු සංචිත රැකගන්න නොරොච්චෝලේ ගල් කරයි

607

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු නැව් වාර 14ක් සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීම නිසා ගල්අඟුරු සංචිත ලබන අගෝස්තු මස වනවිට අවසන් වනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරුවරු හෙළි කරති.අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් (මෙගාවොට් 300) නතර කර දැමුවේ සීමිත ගල් අඟුරු සංචිත ආරක්‍ෂා කර ගැනීමේ උපක්‍රමයද අනුගමනය කරමින් යැයි ඔව්හු කියා සිටිති.මේ නිසා ගල්අඟුරු බලාගාරයේ දෙවන විදුලි ජනන යන්ත්‍රය 18 සිට දින 75 කට පද්ධතියෙන් ඉවත් කරනු ලැබීය.අප්‍රේල් මාසයේ සිට ලබන ඔක්තෝම්බර් දක්වා වාරකන් කාලය (බටහිර වෙරළ නිරිත දිග මෝසම් වැසි සමය) බැවින් මේ දිනවල ගල්අඟුරු ගෙනාවත් ගොඩබෑමට නොහැකි නිසා දැනට ගල්අඟුරු සංචිත සෑහෙන්නේ ලබන අගෝස්තු දක්වා පමණක් යැයිද එම බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් නවතා දැමීමට සිදුව තිබේ.මෙම බලාගාරය සඳහා ගල්අඟුරු මෙටි්‍රක් ටොන් මිලියන 2.28 ක් අවශ්‍ය වන බවට බලාගාර භාර ඉංජිනේරුවන් ගල්අඟුරු සමාගමට මීට පෙරාතුව දැනුම් දී තිබිණි.නමුත් අප්‍රේල් ආරම්භ වූ වාරකන් කාලයට පෙරාතුව බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ගෙන ඒමට නොහැකි වී ඇත.

ඊට හේතු වූයේ අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ගල්අඟුරු සැපයුම් සමාගම් මිල ගණන් ඉදිරිපත් නොකිරීම හා අදාළ ටෙන්ඩර් කිහිපයක් අවලංගු කිරීමය.ඒ අනුව මෙකී කාලයට අදාළව ගල්අඟුරු නැව් වාර 38 ක් සඳහා ණයවර ලිපි නිකුත් කරීමට ගල්අඟුරු සමාගම කටයුතු යොදා තිබිණි. මහජන බැංකුව හරහා ඊට අදාළ ණයවර ලිපි 38න් 22ක් විවෘත කළත් ඉතිරි ණයවර ලිපි 16 ක් නිකුත් කර ගැනීමට ඩොලර් හරස් වූ බව ඉංජිනේරුවෝ කියා සිටිති.කෙසේ වෙතත් අවසාන මොහොතේ ණයවර ලිපි දෙකක් නිකුත් කළත් අවශ්‍ය ගල්අඟුරු නැව්වාර 14 ක්ම අවලංගු වී ඇත.මේ අනුව ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය මෙටි්‍රක් ටොන් 132,000 ක් ගෙන්වා ගනු ලැබුවත් ලබන ඔක්තෝම්බර්, නොවැම්බර් දක්වා අවශ්‍ය ගල්අඟුරු මෙටි්‍රක් ටොන් 960,000 කට ණයවර ලිපි නිකුත් කරගැනීමට නොහැකි වී ඇත.ඒ අනුව එකම විකල්පය ලෙස ගල්අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අලුත්වැඩියා සඳහා නවතා සීමිත ගල් අඟුරු සංචිත ආරක්‍ෂාකර ගැනීමට සිදුවී ඇත.මේ තත්ත්වය හමුවේ ලබන ජූලි මාසයේ සිට ගල්අඟුරු බලාගාරයෙන් විදුලිය ලබා ගැනීමද අභියෝගාත්මක තැනකට පත්ව ඇතැයිද ඉංජිනේරුවරු හෙළි කර සිටිති.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment