ගල් අඟුරු මිථ්‍යාව වෙනුවට පුනර්ජනනීය විදුලි විසඳුම

647

ශ්‍රී ලංකාවේ එකම ගල් අඟුරු බලාගාරය වන ලක්විජය බලාගාරය නොහොත් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ඉදිකිරීම් 2006 වර්ෂයේ ආරම්භ කෙරිණි. එය මෙගාවොට් 300 බැගින් නිපදවන විදුලි උත්පාදක යන්ත්‍ර තුනකින් සමන්විත වේ. මෙගාවොට් 900 ක ධාරිතාවයකින් යුක්ත වන මෙම බලාගාරය අදියර දෙකකින් චීනයෙන් ලබා ගත් ඩොලර් බිලියන 1.4 ක ණය මුදලක් මත ඉදිකරන ලදී.

බලාගාරයේ දෙවන අදියර 2010 මැයි මස දී, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ආරම්භ කරනු ලැබූ අතර, වැඩ අවසන් කරන ලද එම අදියර 2014 සැප්තැම්බර් 16 වන දින දී චීන ජනපති ෂී ජිංපිං සහ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්ව, ජාතික විදුලි බල පද්ධතියට තවත් මෙගා වොට් 600ක් එකතු කරමින් විවෘත කරන ලදී. මෙගා වොට් 900ක ධාරිතාවක් ලබාදෙන ලක්විජය විදුලි බලාගාර ව්‍යාපෘතියෙහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු චීනයේ CMEC ආයතනයයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ආධාර ලබා දී ඇත්තේ චීනයේ එක්සිම් බැංකුව මගිනි. මෙම ණය මුදල විදුලි බල මණ්ඩලය විසින් නොගෙවන අතර එය භාණ්ඩාගාරය විසින් ගෙවනු ලබයි. එනම් එය භාණ්ඩාගාරයට බරක් වී ඇති ව්‍යාපෘතියක් ලෙසට හැඳින්විය හැකිය. පාර්ලිමේන්තුවේදී විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් එවකට අමාත්‍යවරයකුව සිටි අජිත් පී. පෙරේරා මහතා පවසා සිටියේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම සඳහා ගනු ලැබූ ණය චීනයේ එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර අත්සන් කෙරුණු ගැණුම්කරු ණය ගිවිසුමෙහි Buyers Credit Agreement – කොන්දේසි යටතේ නැවත රජයේ භාණ්ඩාගාරය විසින් ගෙවන බවයි.

ඒ මුදල් ගෙවන්නේ අර්ධ වාර්ෂිකව බවත් ණය මුදලෙහි නැවත ගෙවීමේ කාලය වසර 15 ක් බවත් හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව මෙම ණය මුදල් භාණ්ඩාගාරය විසින් ගෙවන බවත් 2015 වර්ෂයේ දී අවස්ථා දෙකකදී ඇමෙරිකානු ඩොලර් මිලියන 87 ක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 25.8 ක් ගෙවා ඇති බව හෙළිදරව් කරන ලදී. 2016 වර්ෂයේ ණය වාරිකය ලෙසට ඇමෙරිකානු ඩොලර් මිලියන 94.7 ක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 23.6 ක් ගෙවා ඇති බවට අජිත් පී. පෙරේරා මහතා එහිදී හෙළි කරන ලදී.

21 වන ශත වර්ෂය තිරසාර සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කරන ශතවර්ෂයකි. එනම් 20 වන ශත වර්ෂයේ සංවර්ධනය පරිසර හිතකාමී නොවීම හේතුවෙන් අදූරදර්ශී සංවර්ධනයේ පිරිවැය මිනිසාට ගෙවීමට සිදු වීම නිසයි. ඒ නිසාම වර්තමානයේ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාලීමට පුනර්ජනනීය බලශක්තිය ව්‍යාපෘති කෙරෙහි ලෝකය අවධානය යොමු කර ඇත. ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සඳහා ආයෝජනය කිරීමට සුදුසුකම් බහුලව ඇති රටකි. සමකයට ආසන්නව පිහිටි රටක් බැවින් හිරු එළිය වර්ෂය පුරාවටම සෑම ප්‍රදේශයකටම හොඳින් ලැබෙයි. ඊට අමතරව ජල විදුලිය, සුළං බලශක්තිය මගින් විදුලි නිෂ්පාදන සඳහා ආයෝජන සිදු කිරීමට සුදුසු වාතාවරණයක් ශ්‍රී ලංකාව තුළ පවතී. මෙවන් වටපිටාවක් යටතේ ගල් අඟුරු බලාගාරයක් සඳහා ආයෝජනය කිරීම ශ්‍රී ලංකාවේ සංවර්ධනයට කුමන ආකාරයට බලපෑම් එල්ල කරන්නේද යන්න මේ වන විට රටක් වශයෙන් ප්‍රතිපල අත්විඳින්නට සිදුව ඇත. ගල් අඟුරු මෙරට ඇති සම්පතක් නොවන අතර විදෙස් රටවලින් ආනයනය කරන අමුද්‍රව්‍යයකි. ගල් අඟුරු ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් සොයා ගැනීම පසුගිය කාලය තුළදී දැඩි අභියෝගයක් විය. ගල් අඟුරු රැගත් නැව් සඳහා ඩොලර් ගෙවීමට නොහැකි වීම නිසා විදුලි කප්පාදු සිදු කළ අවස්ථා එමටය. ශ්‍රී ලංකාවේ වර්තමානයේ ඇති ආර්ථික අර්බුදය ඩොලර් හිඟය හා බැඳී පවතින අතර බලශක්ති අවශ්‍යතාවන් ඩොලර් මත යැපීමට සිදු වීම නිසා එහි බැරෑරුම්කම තීව්‍ර වී ඇත.

● නඩත්තු කිරීමේ සංකීර්ණ ක්‍රියාවලිය

ලක්විජය විදුලි බලාගාරය අනෙකුත් ගල් අඟුරු බලාගාර මෙන් කොටස් ගණනාවකින් සමන්විත දැවැන්ත පද්ධතියක් වන බැවින් හා අතිශයින් සංකීර්ණ ක්‍රියාවලියකින් සමන්විත වන බැවින්, එය එකවර නතරකර ගැනීම හෝ නතර වූ විට එය නැවත එකවර පණගැන්වීම හෝ කළ නොහැක්කේ එය සිසිල් වන තුරු දින ගණනාවක් බලා සිටිය යුතු නිසා ය. තව ද, ගල් අඟුරු බලාගාරවලටම ආවේණික හේතූන් මත විටින් විට බලාගාරයේ සේවය ලබා ගැනීමට නොහැකි අවස්ථාවන් ද උද්ගත වී ඇත.

● නඩත්තු සඳහා බලාගාරය අක්‍රීය කිරීම

නඩත්තු කටයුතු සඳහා, වසර හතරකට වරක් නියමිත දින ගණනක් ඒ ඒ ඒකකය මුළුමනින්ම අක්‍රීයකර තැබීම අනිවාර්ය අවශ්‍යතාවකි. මෙය A මට්ටමේ අලුත්වැඩියාවක් ලෙස හඳුන්වනු ලැබේ. ඒ සඳහා එක් ජනක යන්ත්‍රයක් දින 100 ක පමණ කාලයක් බැගින් අක්‍රීයකර තැබීමට අවශ්‍ය වේ. නියම කරනු ලැබ ඇති තවත් නඩත්තුවක් B මට්ටම ලෙස නම්කර තිබෙන අතර, එම අලුත්වැඩියාව සඳහා සෑම වසර දෙකකටම වරක් එක් ජනක යන්ත්‍රය බැගින් දින 30-35ක කාලයක් සඳහා අක්‍රීය කරනු ලැබේ. ඉහත මට්ටමේ නඩත්තු දෙකම නොයෙදුනු වසරක දී C මට්ටමේ නඩත්තුවක් නිර්දේශ කර ඇති අතර, ඒ සඳහා දින 20ක පමණ කාලයක් අක්‍රීයකර තැබීමට සිදුවේ.

මහා පරිමාණයේ විදුලි බිඳවැටීමක් ජාතික විදුලිබල පද්ධතියේ සිදුවුවහොත්, එවැනි විචල්‍යයක් ක්ෂණිකව දරා ගැනීමේ හැකියාවක් ගල් අඟුරු බලාගාරයක් සතුව නොපවතියි. එම නිසා එවැනි අවස්ථාවක දී බලාගාරය ස්වයංක්‍රීයව අක්‍රීය වන්නේ අඛණ්ඩව ධාවනය වුවහොත් යන්ත්‍ර සූත්‍රවලට හා පද්ධතියට සම්බන්ධ කර ඇති උපකරණවලට සිදුවිය හැකි හානිය නවතා ගැනීමට යි. එසේ අක්‍රීය වූ බලාගාරය නැවත පණගැන්වීමට අවම වශයෙන් දින තුනක පමණ කාලයක් ගත වේ. ඒ එම යන්ත්‍රය නැවත පණගැන්වීමට එම ජනක යන්ත්‍රය සිසිල් විය යුතු බැවිනි. මෙලෙස ගල් අඟුරු බලාගාරයක් අක්‍රීයවීම මෙවැනි ගල් අඟුරු බලාගාරවල දැකිය හැකි සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වී ඇත.

● නඩත්තු කටයුතු චීන විශේෂඥයන් ලවාම සිදු කිරීම

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනක යන්ත්‍ර අක්‍රීය වූ අවස්ථාවන්හිදී ඒවා අලුත්වැඩියා කිරීම සඳහා අක්‍රීයව තැබුණු අතර, ඒ සඳහා චීන විශේෂඥයන් වරින් වර මෙරටට පැමිණ තිබුණි. එම චීන විශේෂඥයන් මෙරටට පැමිණීම ප්‍රමාද වුවහොත් එහි පාඩුවද මෙරට ජනතාවට දරා ගැනීමට සිදු වී ඇත.

නොරොච්චෝලේ බලාගාරය ඉදිකළ චීන සමාගම තත්ත්වයෙන් බාල උපාංග යොදා ගෙන ගල් අඟුරු
බලාගාරය ඉදිකර ඇති බවට වෘත්තිය සමිති චෝදනා කර සිටියි. බලාගාරය ඉදිකිරීමේදී තත්ත්වයෙන් බාල උපාංග යොදා ගෙන ඇති බවට වන පූර්ණ නිගමනය අද දක්වා සිදු කර ඇති නඩත්තු කටයුතු අනුව ඔප්පු වී ඇති බවට වෘත්තිය සමිති චෝදනා කර සිටියි. ඇතැම් අවස්ථාවලදී බලාගාරයේ නළ පද්ධතියේ සිදු වන පිපිරීම් සහ ඇතැම් අවස්ථාවලදී වෑල් වලින් හුමාලය ලීක් වීම් සිදු වී ඇති බවට වෘත්තිය සමිති වැඩිදුරටත් චෝදනා කර සිටියි.

නොරොච්චෝලේ බලාගාරයේ නඩත්තු හා අලුත්වැඩියා කටයුතු චීන ජාතිකයන්ට පැවරී ඇත. මෙම ගල් අඟුරු බලාගාරයේ නඩත්තු හා අලුත්වැඩියා කටයුතු සඳහා චීන විශේෂඥයන් විසින් සිදු කරන නඩත්තු සේවා සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක ගෙවීම් මීට පෙර සිදු කර ඇත. බලාගාරයේ චීන නිෂ්පාදකයන් සමඟ ඇති සේවා ගිවිසුම් කිහිපයක් පසුගිය කාලය තුළ කල් ඉකුත් වී ඇති නව සේවා ගිවිසුම් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් පැන නැඟී ඇති බවට වාර්තා වේ. සපයන ලද සේවාවන් සඳහා ගෙවීම් කල් යෑම සහ සේවා ගිවිසුම අලුත් නොකිරීම හේතුවෙන් පසුගිය වසරවල නොරොච්චෝලේ බලාගාරයේ අලුත්වැඩියා කිරීමේ කටයුතු සහ අමතර කොටස් සෙවීම දුෂ්කර කාර්යක් විය. වසර ගණනාවක් තිස්සේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෝෂ හේතුවෙන් ඇති වූ සැලසුම් නොකළ විදුලි බිඳවැටීම් ගණනාවක් වාර්තා විය. මෙවැනි සිද්ධීන් කිහිපයක් පිළිබඳව පසුගිය කාලය තුළ විමර්ශනය කර ඇත. නමුත් එම විමර්ශන කටයුතු හුදු වාර්තාවලට පමණක් සීමා වී ඇත.

● හදිසි තාක්ෂණික දෝෂ හේතුවෙන් වන පාඩුව

පසුගිය වසර වන විට 20 වතාවකට වඩා වැඩි වාර ගණනක් විවිධාකාරයේ තාක්ෂණික දෝෂ හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය වසා දැමීමට කටයුතු කර ඇත. එවැනි වසා තබන කාලය තුළදී විදුලි බල මණ්ඩලයට විකල්ප ඩීසල් බලශක්තිය මිලදී ගැනීම සඳහා දිනකට ඇමෙරිකානු ඩොලර් මිලියන 3.3 ක් වැය කිරීමට සිදු වන බවට ගණන් බලා ඇත. 2022 ජූනි 17 වැනි සිදු කළ වසා දැමීම නිසා දෙවැනි බලාගාර ඒකකය දින 75 ක කාලයක් සඳහා ක්‍රියා විරහිතව පැවැතිණි. ඒ තුළින් විදුලි බල මණ්ඩලයට සිදු වූ අමතර පාඩුව අතිමහත්ය. මීට අමතරව 2023 වසරේ විදුලිය නිපදවීම සඳහා ගල් අඟුරු ආනයනයට වැය වන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 640ක් ලෙසට ගණන් බලා ඇත. ඩීසල් යොදා තාප විදුලිය නිපදවීමට මසකට ඩොලර් මිලියන 100ක් වැය වන බවට ගණන් බලා ඇත.

මේ ආකාරයට ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවන් සපුරා ගැනීමට පුනර්ජනනීය බලශක්තිය ව්‍යාපෘති කෙරෙහි අවධානය නොකර ගල් අඟුරු සහ ඉන්ධන දහනය මගින් විදුලිය නිෂ්පාදනය කිරීම වර්තමානයේ විදුලි ඒකකයක් සඳහා වන පිරිවැය වැඩි වීමට හේතුවක් බව නොරහසකි. විශේෂයෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරය වැනි වියදම් අධික, ණය බරින් රට හෙම්බත් කරන ව්‍යාපෘති වර්තමානයේ ශ්‍රී ලංකාව පත්ව ඇති ආර්ථික අර්බුදයට යම් ආකාරයකින් හෝ දායක වී බව නිසැකවම කිව හැකිය. එහි ප්‍රතිපලයක් ලෙසට මහජනතාවට අසාමාන්‍ය විදුලි බිලක් අද වන විට ගෙවීමට සිදුවී ඇත.

ආචාර්ය නීතිඥ ලලිත් ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment