ග‍්‍රහමාරු රැසක් සමඟ  අලූත් අවුරුද්ද උදාවෙයි

1331

තවත් අලූත් අවුරුද්දක් අපේ‍්‍රල් 14 වැනිදා උදාවෙයි. ජ්‍යොතිෂයට අනුව එය ශක රාජ වර්ෂ 1944 විෂ්ණු විංශතියට අයත් ශුභකෘත් නම් සංවත්සරය වෙයි. අවුරුදු උදාව අපේ‍්‍රල් 14 පූර්ව භාග 8.41 ට සිදුවන අතර තත්කාලයේ සිකුරු හිමි වෘෂභ ලග්නය, මේෂ නවාංශකය හා පුවපල් නැකතේ හතරවන පාදය උදාවන්නේය. ශුක‍්‍ර හෙවත් සිකුරු ග‍්‍රහයා රාජාධිපති වෙයි.

අවුරුදු උදාව යනු සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වීමයි. මේ හැර තවත් ග‍්‍රහමාරු රාශියක් මේ මාසය ඇතුළත සිදුවේ. එනම් කුජ අපේ‍්‍රල් 7 කුම්භ රාශි ගතවීමද, අපේ‍්‍රල් 8 දා බුධ මේෂ රාශි ගතවීමද, අපේ‍්‍රල් 12 දා රාහු මේෂයට හා කේතු තුලාවට මාරුවීමද 13 වැනිදා ගුරු මීන රාශිගතවීමද සිදුවීම විශේෂත්වයකි. ශ‍්‍රී ලංකාව හිමි කුම්භ ලග්නයේ කේන්ද්‍රය තුළ වෙනස්කම් ගණනාවක් ඉන් අපේක්‍ෂා කළ යුතුවේ.

මේ ලිපිය ලියන අපේ‍්‍රල් 3දා වන විට ශ‍්‍රී ලංකාවාසීන් සිටින්නේ දැඩි ආර්ථික අර්බුදයක බව නොකිවමනාය. විදුලිය, ගෑස්, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සපයා ගැනීම දුෂ්කරවී ඇති අතර මෙම ගැටලූ කවදා විසඳේ දැයි කිව නොහැකිය. ඉදිරියේ මොකද වෙන්නේ යැයි අපගෙන් විමසන අය බොහෝය. මේ ප‍්‍රශ්නයට පිළිතුරක් දීමට උත්සාහ කිරීම මේ ලිපියේ අරමුණයි.

මෙහිදී සංක‍්‍රාන්ති කේන්ද්‍රය මෙන්ම කුම්භ ලග්නය හිමි ලංකා කේන්ද්‍රය ද සැලකිය යුතුවේ. සංවත්සර කේන්ද්‍රයේ රාජ්‍ය කාරක රවි දොලොස්වැන්නේ දුර්වලවීම නිසා රාජ්‍ය නායකයාට බරපතළ ගැටලූ ඇතිවිය හැකි බව පෙනේ. විදේශ වලින් පවා අපේක්‍ෂිත සහයෝගය ලැබීම අපහසු වෙයි. මේ තත්ත්වය ඉදිරි මාස දෙකක පමණ කාලය තදින් පවතී. පාලක පක්‍ෂයට ශුභ කාලයක් නොවේ. රවිගෙන් නිවේදනය වන විදුලි අර්බුදයටද ඉක්මනින් විසඳුමක් ලබාදිය හැකි නොවේ. රාජ්‍ය වියදම් පාලනය කර ගත නොහැකිවේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විවිධ බාධා ඇතිවේ. පාලකයන්ගේ තැන ආරක්‍ෂක හමුදා හා පොලිසියට පැවරෙන කාලයකි.

මැයි 29 දින දක්වා ජනතාවට කිසියම් සහනයක් අපේක්‍ෂා කළ හැකි නොවේ. ඉන් පසුව යම් තරමක සහනදායක බවක් ඇතිවිය හැකිය. නමුත් ගුරු ග‍්‍රහයා බලවත් වන බැවින් ව්‍යාපාර අංශවල යම් ප‍්‍රගතියක් ඇතිවේ. වෛiවරුන් හෝ සෞඛ්‍ය අංශවල යම් සහනදායක බවක්ද ඇතිවිය හැකිය. පාලක පක්‍ෂය හා විපක්‍ෂයේ සමහර කොටස් අතර සමගි සන්ධාන ඇතිවීමට ඉඩ තිබේ. එමෙන්ම වාරි මාර්ග ක්‍ෂේත‍්‍රයට හා කෘෂිකර්මාන්ත වලටද තිබූ බරපතල ගැටලූ විසඳාගත හැකි බව පෙනේ. එමෙන්ම ආගම දහම කෙරෙහි ජනතාවගේ වැඩි නැඹුරුවක් ඇතිවිය හැකිය.

ජුලි 13 දක්වා පවතින මෙම මිශ‍්‍රඵලදායක තත්ත්වය නැවත වරක් කරදරකාරී තත්ත්වයකට පරිවර්තනය වෙනවා ඇත. වසර මුලදී තිබූ තත්ත්වයම නොවුණත් ජනතාවට පීඩාකාරී තත්ත්වයක් පවතී. ජනවාරි දක්වා තත්ත්වය එසේය. උපන් ලග්නය අනුව උදාවන වසරේ සුබාසුබ පහත පලවේ.

මේෂ

අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. නීතිමය ගැටලූ වලට විසඳුම් ලැබේ. උසස් අයගේ උදව් උපකාර ලැබේ. ගෘහ ජීවිතය සතුටුදායකයි. ශනි දශා ගතකරන අයට අපේ‍්‍රල් 29 පසුව අපල අඩුවී යයි. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබේ. නමුත් රුධිරගත සීනි, කොලෙස්ටරෝල් වැනි රෝගාබාධ ඇත්නම් වෛi උපදෙස් අනුව කටයුතු කිරීමට සැලකිලිමත් විය යුතුය. විදේශ ගමන් සාර්ථක වේ. අවිවාහක අයට මංගල යෝග යෙදේ. වාසනාවට වඩා උත්සාහය ගැන විශ්වාසය තබා කටයුතු කිරීමෙන් සුබපල ලැබේ. ගුරු දශා තරමක් අපලයි. සුබපාට රතු, සුබ අංකය 3.

වෘෂභ

රැකියා හෝ ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීමට පහසුකම් සැලසේ. නමුත් මාසයක පමණ කාලය වියදම් ඉහල යයි. තැන්පත් ධනය පවා වැයවීමට ඉඩ තිබේ. අධ්‍යාපන කටයුතු වලටද බාධා පවතී. නීතිමය ගැටලූ වලට මැදිහත් නොවීමට වගබලාගන්න. එහෙත් උත්සාහය වැඩිවේ. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබේ. අලූත් මිතුරන් හඳුනාගත හැකිවේ. සහෝදරයකුගේ

රැකියා ප‍්‍රශ්නයකට විසඳුම් ලැබේ. මුල් මාසය ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතු වලට තරමක බාධා පවතී. ඌෂ්ණාධික රෝග රුධිර ධාවනය පිළිබද ගැටලූ වලින් ප‍්‍රවේශම් වෙන්න.

සුබපාට මිශ‍්‍රලා, සුබ අංකය 6.

මිථුන

වසර දෙකකට අධිකව පැවැති ශනි ඒරාෂ්ඨක අපල කාලය නිමවෙයි. කරදර රාශියක නිමාවක්් දැකිය හැකිවේ. අසනීප සුව අතට හැරේ. සේවක සහයෝගය ලැබේ. රැුකියා ව්‍යාපාර සාමකාමීව ගතවේ. උසස් අයගේ උදව් ලැබේ. උසස් මිතුරන් හඳුනාගැනීමටද අවස්ථා උදාවේ. උත්සාහය ධෛර්යය වැඩිවේ. නීතියේ පිහිට ලැබේ. ජුලි අගෝස්තු මාසවල සුබකටයුතු වලට සුබ නැකත් උදාවේ. කේතු දශා ගතකරන අය ශරීරයේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්න. නව ව්‍යාපාර ආරම්භයටද සුදුසු කාලයකි.

සුබපාට ලාකොල, සුබ අංකය 4.

කටක

ව්‍යාපාර හෝ  රැකියා අංශවල සතුටුදායක තත්ත්වයක් ඇතිවේ. සමාජයේ ඇති පිළිගැනීම හා ගෞරවය ඉහල යයි.

රැකියා ලාභ ලැබේ. උත්සාහය ධෛර්යය වැඩිවේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. මේ අතර විදේශ අධ්‍යාපනයක් ලැබීමට තිබූ බලාපොරොත්තු ඉටුකර ගත හැකිවේ. දුරගමන් යෙදේ. දුර පළාත්වල සිටින අයගේ උදව් ලැබේ. ආගම දහමට හිත යොමුවේ. පිංකම් හෝ සමාජ සේවා වලට සම්බන්ධවිය හැකිවේ. ශනි දශා ගතකරන අය ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුවේ. ක්‍ෂණික කෝපය හා කලබලවීම නිසා ගැටලූ ඇතිවිය හැකියි. ඉවසීමෙන් කටයුතු කිරීම මැනවි.

සුබ පාට කහ තැඹිලි, සුබ අංකය 5.

සිංහ

ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබදායකයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විදේශ අධ්‍යාපනයක් ලැබීමට තිබූ අපේක්‍ෂාවක් ඉටුකරගැනීමට කරුණු යෙදේ. පෙර පින වාසනාව ඉස්මතු වේ. පසුගිය දිනවල තිබූ ගැටලූ විසඳේ. අසනීප තිබුණේ නම් ඒවා සුව අතට හැරේ. විනෝදාංශ වලට අනවශ්‍ය ලෙස බරවීම නිසා දියුණුවට බාධා විය හැකිය. බිරිඳ හෝ සැමියාට සුබයි. අවිවාහක අයට මංගල යෝග යෙදෙනවා ඇත. ගුරු දශා ගතකරන අයට තරමක බාධා තිබේ. ශරීර සෞඛ්‍ය රැුකගැනීමට උනන්දු වෙන්න. රැුකියා ව්‍යාපාර අංශවල සතුටුදායක තත්ත්වයක් පවතී.

සුබ පාට රතු, සුබ අංකය 01.

කන්‍යා

කන්‍යා ලග්නය හිමි අවිවාහක තරුණ තරුණියන් හෝ මංගල යෝජනා හෝ පෙම් සබඳතා ස්ථිර වීමට කරුණු යෙදේ. විවාහ සහකරුට සුබ දායකයි. හවුල් ව්‍යාපාර වලින් ලාභ ලැබේ. ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතු වලට අන් අයගේ උදව් ලැබේ. ආදායම් සතුටුදායක වේ. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබේ. වසරේ මුල් මාස දෙකක පමණ කාලය ඌෂ්ණාධික රෝග, ස්නායුගත රෝග වැනි අසනීප වලින් ප‍්‍රවේශම් විය යුතු කාලයයි. රාහු දශා ගතකරන අය අදාළ ග‍්‍රහ ශාන්ති කර්ම කරගැනීම මැනවි. චන්ද පිරිත භාවිතා කරන්න.

සුබපාට මිශ‍්‍රලා, සුබ අංකය 6.

තුලා

ලග්නපති සිකුරු සමඟ කුජ පස්වැන්නේ ගමන් කරන මේ වසරේ මුල් කාලය විවාහ කටයුතු ස්ථිර වනවා ඇත. මංගල යෝග යෙදෙන කාලයයි. ව්‍යාපාර වලට යොදවන මුදල් වලින් ලාබ ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු වලින් සාර්ථක ප‍්‍රතිඵල ලබේ. විවාහ සහකරුටද සුබයි. හදිසි ධනලාභ ලැබීමට ඉඩ තිබේ. අධ්‍යාපන කටයුතු වලට බාධා වන ලෙස අලස බව හා වැඩ කල්දැමීම හේතුවිය හැකියි. උනන්දුවීම වැදගත්ය. සේවක පක්‍ෂයේ සහයෝගය ලැබේ. ගුරු දශා ගතකරන අයට සුවිශේෂී තත්ත්වයන් ඇතිවිය හැකියි. ආහාර හා නින්ද අතපසුකර ගැනීම සුදුසු නොවේ.

සුබ පාට මිශ‍්‍රලා සුබ අංකය 6.

වෘශ්චික

ගුරු පස්වැන්නේ ගමන් කරමින් උදාවන මේ වසර ඔබේ අධ්‍යාපන කටයුතු වල සාර්ථක බවක් පෙන්වයි. විභාග වලින් සමර්ථවීමටත්, යහපත් ගුරුවරුන් ඇසුර ලැබීමටත් ඉඩ ලැබේ. හදිසි ධනලාභ ලැබීමටද ඉඩ තිබේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. දරුවන් ගැන සිතා සතුටුවිය හැකි වේ. වසරේ මුල් මාස දෙක තුළදී ඉක්මන්වීම හා ක්‍ෂණික කෝපය නිසා පවුලේ අය අතර අමනාපකම් ඇතිවිය හැකි බව සිහිතබාගන්න. උසස් අයගේ උදව් ලැබේ. චිත්ත ධෛර්යය වැඩිවේ. කේතු දශා ගතකරන අයට තරමක බාධා පවතී. යකඩ, විටමින් අඩංගු ආහාර ගැනීමට උනන්දු වෙන්න.

සුබපාට සුදුක‍්‍රීම්, සුබ අංකය 2

ධනු

පසුගිය කාලයේ තිබූ දැඩි අවිවේකී බව පහව යයි. ගෘහ ජීවිතය සාමකාමීව ගතවේ. මවුපියන්ට සුබදායකයි. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. බිරිඳ හෝ සැමියාටද ශුභයි. ගෘහාශ‍්‍රිත ව්‍යාපාර කරන අයට සතුටුදායක ප‍්‍රතිඵල ලැබේ. අධ්‍යාපන කටයුතුද සාර්ථක වේ. විභාග වලින් සමර්ථ විය හැකිවේ. නව ව්‍යාපාර ආරම්භයට හා ගෙවල් ඉදිකිරීමට තිබූ බාධා ඉවත් වේ. රාහු දශා ගතකරන අයට තරමක බාධා පවතී. චන්ද පිරිත භාවිතා කරන්න. අදාළ ග‍්‍රහ ශාන්ති කර්ම කරගන්න.

සුබපාට කහ තැඹිලි, සුබ අංකය 5.

මකර

ගෘහ ජීවිතය මිශ‍්‍රපලදායකයි. මුල් මාස දෙක පමණ කාලය සුළු සුළු බාධා පවතී. නමුත් පසුව එය සුබ අතට හැරේ. සේවක පක්‍ෂයේ සහයෝගය ලැබෙන නිසා රැුකියා ව්‍යාපාර සාර්ථක කරගත හැකියි. නව ව්‍යාපාර ආරම්භයට සුබ නැකත් යෙදේ. සහෝදරයකු ගැන සතුටුදායක ආරංචියක් ලැබේ. ආදායම් තත්ත්වය සතුටුදායක නමුත් වියදම් පාලනය කර ගැනීම වැදගත් වේ. මේ අතර වෙනදාට වඩා අවිවේකී බවක් ඇතිවිය හැකියි. ගුරු දශා විශේෂයි. කලට වේලාවට ආහාර ගැනීමට හා විවේකය ලැබීමට සැලකිලිමත් වෙන්න.

සුබ පාට නිල්, සුබ අංකය 7.

කුම්භ

උදාවන වසර පෙරට වඩා සුබදායක බව පෙනේ. ආදායම් මාර්ග වලට තිබූ බාධා ඉවත්වේ. ගෘහජීවිතයේ දියුණුවට කරන දේ සාර්ථක වේ. ආයෝජනවලින් ලාභ ලැබේ. උනන්දුව හා ධෛර්යය වැඩිවේ. රැුකියා ව්‍යාපාරවල සේවක සහයෝගය ලැබේ. නීතිමය ගැටලූ විසඳේ. අසල්වාසීන් සමඟ අමනාපයන් තිබුණේ නම් දුරුවේ. සමගිය ඇතිවේ. ප‍්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. ආගම දහමට හිත ඇදී යයි. විවාහ සහකරුට ද සුබදායකයි. විවාහ මංගල යෝජනා ස්ථිර වේ. ව්‍යාපාර වලට යොදවන මුදල් වලින්ද ලාභ ලැබෙනවා ඇත.

සුබ පාට නිල් සුබ අංකය 7.

මීන

ලග්නපති ගුරු ලග්නයටම ගමන් කරන නිසා පසුගිය දිනවල තිබූ කරදර අඩුවෙනවා ඇත. දරුවන්ගේ දියුණුව දැක සතුටුවීමට හැකිවේ. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සුබ නැකත් යෙදේ. ශනි ඒරාෂ්ඨක තත්ත්වයක්ද පවතින නිසා සෙම් රෝග, වාතාබාධ වැනි අසනීප ඇත්නම් නිසිලෙස ප‍්‍රතිකාර ගැනීමට සැලකිලිමත් වෙන්න. එමෙන්ම කේතු දශා ගතකරන අයටද ශරීරයේ පෝෂණ ඌනතා ගැන සැලකිලිමත් වීම අවශ්‍ය වේ. යකඩ, විටමින් අඩංගු ආහාර ගැනීමට අමතක නොකරන්න. කරණීය මෙත්ත සූත‍්‍රය භාවිතා කරන්න.

සුබපාට කහ තැඹිලි, සුබ අංකය 05.

ග‍්‍රහමාරු රැසක් සමඟ  අලූත් අවුරුද්ද උදාවෙයි

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
 දු.අංකය – 0771 234 313



 

advertistmentadvertistment
advertistmentadvertistment