ග්‍රහයන් ගෙන දෙන සුබ අසුබ

1099

කෙනෙකුගේ කේන්ද්‍රයේ රවි ග්‍රහයා බලයෙන් යුතුව සිටින විට උසස් ගෞරවයෙන් රැකියාවක් ලැබීමේ වාසනාව හිමිවෙයි. කීර්ති ප්‍රශංසා ලබන නම්බුනාම ලබන පුද්ගලයකු ද වේ. දේශපාලන ක්‍ෂේත්‍රයේ මෙන්ම රාජ්‍ය තන්ත්‍රයේ උසස් තනතුරු දරන්නෝ ද බොහෝවිට රවි බලවත්ව උපන්නෝ වෙති. ඔවුන් කාරුණික මෙන්ම හැමවිටම සතුටින් කල් ගෙවන්නෝය. දුරදක්නා නුවණින් යුතුව බුද්ධිමත්ව කටයුතු කරති. රවි බලවත්ව ලග්නයේ සිටියහොත් උස්වූ දේහයක් හිමි වේ. වටකුරු මුහුණක් පිහිටන අතර රත් පැහැයෙන් යුතු දෙනෙත් වෙයි.

රවි ග්‍රහයා දුබල වුවහොත් අහංකාර උඩඟු ගතිවලින් යුතු වෙයි. අන්‍යයන්ගෙන් ලැබෙන ආධාර උපකාර මත ජීවත්වීමට සිදුවෙයි. පියාගේ දේපළ හා ධනය ද විනාශ කිරීමට පෙළඹෙයි.

සඳු කේන්ද්‍රයේ බලවත්ව පිහිටියහොත් දුටුවන් ප්‍රිය උපදවන ලස්සන අගපසඟ හිමි දේහයක් හිමිවෙයි. කාරුණික ගතිගුණවලින් පිරුණු ඔවුන් සතුටින් විනෝදයෙන් කාලය ගත කිරීමට වැඩි ප්‍රියතාවක් දක්වති. සඳු හත්වැන්නේ වෙයි ද මකර ලග්නයෙන් ජනිතව උපන්නේ ද නැතහොත් හත අධිපති වෘෂභ රාශියේ සිටින තරුණියක් නම් පාසල් වියේදීම සහකරු හමුවෙයි. චන්ද්‍රයා බඳු පියකරු රුවකින් යුතු තමාගේ අදහස්වලට ගැළපෙන හිමිකරුවකු වී සාර්ථක යුගදිවියක් ගත කිරීමට වාසනාව හිමිවෙයි. හැමවිටම සතුටින් කාලය ගත කරයි. සඳු හෙවත් චන්ද්‍රයා දුබල වුවහොත් මේ සියලු ගතිගුණ වෙනස් වෙයි. අවිනිශ්චිත ජීවිත ගත කරන ඔවුන් හැමවිටම නින්දා අපහාසවලට ලක්වෙයි. සඳු නීච වී රාහු ද කු-ජ ද යෝග වූ සිවුවැන්න පුරා සැරිසරයි නම් ප්‍රසිද්ධ පුද්ගලයකු වුවත් සූක්ෂ්ම අයුරින් අන්‍යයන් රවටන කපටි පුද්ගලයකු වෙයි.

කුජ බලවත් වුවහොත් මධ්‍යම ප්‍රමාණයේ ශරීරයකින් යුතු වෙයි. නිර්භීත වූ කෙනෙකු මෙන්ම යුද්ධයට දක්ෂකම් පෙන්නන්නකු වෙයි. කේන්ද්‍රයේ කොටුදොළස පුරා කොතැනක සිටියත් කුජ බලවත් නම් යම්කිසි ස්ථාවරයක් හිමි රැකියාවක නියැළීමට වාසනාව ඇත. කටක ලග්නයෙන් ඉපිද දසවැන්නේ කුජ රජ වුවහොත් රාජ්‍ය පාලනයේ යෙදීමේ වාසනාව ද හිමි වෙයි. යුදකාමියකු වීමට ද බොහෝවිට අවකාශ ඇත. කුජ දුබල වුවහොත් නපුරු සිත් ඇත්තෙකු වන අතර නිතර කල කෝලාහලවලට ද මැදිවේ. කැරලිකාර කටයුතු මෙහෙය වන්නට දක්ෂයෝය. විශ්වාස කළ නොහැකි පුද්ගලයන් වන අතර නපුරු චේතනා සිත් ඇත්තෝය.

බුධ බලවත්ව ලග්නයේ සිටින අය සාමාන්‍ය ප්‍රමාණයේ ශරීරයක් හිමිය. කිසියම් තාලයකට ගමන් කරන ගමන් විලාශයක් ඇති අතර තරමක් දිගැටි මුහුණක් ඇත. දික්වූ අතපය හිමිවෙන අතර හිසකෙස් තඹ පැහැය ගනී. බුද්ධිමත් වන අතර ස්ථානෝචිත නුවණ මෙහෙයවා අකටයුතුකම් කිරීමට අති දක්ෂයෝය. කපටි මෙන්ම වාද විවාදවලට ද ඉතා දක්ෂය.

ජ්‍යොතිෂ විද්‍යාවට ද බෙහෙවින් ලැදි බවක් දක්වයි. විහිළුවෙන් නිතර කල් ගෙවයි. බුධ දුබලනම් භාෂා ශාස්ත්‍රයන් නොදනී. අන්‍යයන්ට ඊර්ෂ්‍යා කරයි. බුධ දුබලනම් ගොළුවෙකු, බිහිරෙකු වීමට ද ඉඩ ඇත.

ගුරු බලවත්වූ අයට උස්වූ දේහයක් හිමි වේ. රන්වන් පාටින් දිදුළන ඝන වූ රැලි ගැසුණ කේශ කලාපයක් ද හිමි වෙයි. ඇස් දිගැටිය. පපුව පළල් වන අතර ඉඟටිය සිහින්ය. පැහැදිලි කටහඬක් හිමිය. කරුණාවෙන් යුතු වන අතර ගෞරවයකින් යුතුව සමාජයේ ජීවත් වෙයි. ආගන්තුක සත්කාරයට ප්‍රිය වෙයි. උගත් බුද්ධිමත් වන අතර නොයෙක් ශිල්ප ශාස්ත්‍රයන් ඉගෙනීමේ දක්ෂයකු වෙයි. බෝධි සත්ව ගුණයෙන් යුතු එවන් අය මහණ වුවහොත් උතුම් වූ බුද්ධ පුත්‍රයෙක් වන්නේය. වෘෂභ ලග්නය වී තුන්වැන්නේ සඳු භවනේ බලවත් ගුරු යෙදුනහොත් බලවත් සහෝදර පිරිසක් ද හමුවෙයි. ගුරු දුබල වූ විට අරපිරිමැස්ම නොදන්නා අහංකාර කුහක ගති මෙන්ම නිශ්ඵල කාර්යයන්හි යෙදෙන අනුවණකම් කරන අසිහියෙන් යුතු දුර්වල අයෙකු වෙයි.

සිකුරු බලවත් වූ විට මධ්‍ය ශරීරයක් හිමි පියකරු පෙනුමකින් දීප්තිමත් හිසකෙස් පළල් වූ නීල වර්ණයෙන් යුතු නෙත්ද, උස්වූ නාසයක් ද හිමි අයෙකු වෙයි. යුවතියක් නම් රූ රැජනකට සමාන අයෙකු වෙයි. එම යුවතිය හිමි කර ගන්න නම් ඔබේ කේන්ද්‍රයේ හත්වැන්න සිකුරුගේ රාශියක් විය යුතුමයි. කේන්ද්‍රයේ කොහේ තොතැනක සිකුරු සිකුරුගේම ස්ථාන හිමිව තිබුණහොත් සුබ විපාකයන් නොපමාව ලැබීමේ වාසනාව හිමිවෙයි. කාරුණික හදවතක් ඔවුනට හිමිය. සත්‍යවාදීව කටයුතු කරන ඔවුන් සංගීතයට ද ඉතාමත් ලැදිය. ප්‍රේම විවාහයක් කර ගැනීමේ වාසනාව ද හිමිය. සමාජශීලී වන අතර හැම කටයුත්තකදීම ඔවුනට උසස් තැනක් හිමිවෙයි. සිකුරු දුබල වුවහෙත් චරිතයට කැලළක් කර ගනියි. කලහකාරී සිතක් ඇත. භාෂා ශාස්ත්‍ර හැරි හැටි නොදනී හිතුවක්කාර අදහස් ඇත. සුරාපානයට මෙන්ම දූ කෙළියට ද ප්‍රියතාවක් දක්වයි. ස්ත්‍රියකගේ කේන්ද්‍රයේ එවැනි යෝගයක් වුවහොත් අභිසරු ලියක් වෙයි. මෙම අය තරබාරු තොල් මහත මසින් පිරුණ බවක් ද මුහුණ පිරුණු බවක් ද පෙන්නුම් කරයි.

සෙනසුරු බලවත් වූ විට උස් ශරීරයක් හා දික්වූ අවයව හිමිය. එකට එක්වූ ඝන ඇහි බැම ඇත. තරමක් වක්වූ දිගු නාසයක් වෙයි. කම්මුල්වල ඇට උඩට නෙරා ඇති අතර කාලවර්ණ වූ පෙනුමකින් හා ඉතා සිහින්වූ සිරුරක් හිමිය. වියදම් කිරීමේදී අරපිරිමැස්මෙන් යුතුව ක්‍රියා කරයි. දුක සැප දෙකම සමව විඳ දරා ගැනීමේ ශක්තියක් ඇත. ආත්ම ගරුත්වය පණ මෙන් රකී. කිසිම දිනෙක ආලය, ආදරය නොකරයි. හත්වැන්නේ යෙදුනහොත් දෙමාපියන් ගෙනෙන මංගල යෝජනාවක් අනුව විවාහය සිදුවෙයි. සෙනසුරාට සෙනසුරාම එක්විය යුතුය. සෙනසුරු දුබල වුවහොත් ඊර්ෂ්‍යා සහගත කුහක අදහස් ඇති අයෙකු වෙයි. පාපකාරීය. ධනයෙන් යුතු වුව ද අධික ලෝභී බවක් පෙන්වයි. කාල වර්ණයෙන් යුතු අශෝභන පෙනුමකි. සෙනසුරු දුබල නම් සත්‍ය වශයෙන්ම දුප්පතෙකු ලෙස දිවි ගෙවයි. කොතරම් ධනය තිබුණත් තිබෙන බවක් පිටතට නොපෙන්වයි.

රාහු බලවත් වුවහොත් බොහෝ ප්‍රසිද්ධ වෙයි. නිතර සංචාරයේ යෙදෙන රැකියාවක් උරුම වෙයි. දැවැන්ත උස පුද්ගලයකු විය හැක. කරන කියන කටයුතුවලින් ප්‍රසිද්ධිය ලැබෙයි. කෙසේ හෝ තම කටයුතු සාර්ථක කර ගනී. දේශපාලන ක්ෂේත්‍රයේ ජයග්‍රහණ නිසැකවම අත් වේ. ලොතරැයි වාසනා ද හිමිවීමට වාසනාව ඇත. හත්වැන්නේ යෙදුණේ නම් ප්‍රසිද්ධ විවාහයක් සිදුවෙයි. රාහු දුබල වුවහොත් අසිහියෙන් යුතුව කටයුතු කරයි. නීච කතා අසන්නට සිදු වේ. හදිසි විවාහයක් කර ගනියි.

කේතු බලවත් වූ විට උස් වූ කෙසඟ සිරුරක් හිමිවෙයි. ජ්‍යොතිෂ විද්‍යාවට, ගුප්ත විද්‍යාවට ලැදිය. එමගින් ප්‍රසිද්ධිය ලබයි. දහවැන්නේ යෙදුනහොත් ජීවිතේ අවසන් භාගයේදී ප්‍රකට කෙනෙකු වේ. කේතු දුබලනම් ඔහුගේ සහකාරිය ද කෙසඟය. ඊර්ෂ්‍යා සහගත කුහක අධම අයෙකු වෙයි. කේතු හතේ යෙදුනහොත් එය අවාසනාවන්ත පිහිටීමක් වේ.

හිඹුටානේ පියතිලක ද අල්විස්,
158, හිඹුටාන, මුල්ලේරියාව නව නගරය.
දු.අංකය – 0716212020, 0112419574.

advertistmentadvertistment
advertistmentadvertistment