ග්‍රහ බල දුර්වල කරන පාප පීඩාව

46

කේන්ද්‍රයක ග්‍රහ තත්ත්වය විමසා පලාපල කීමේදී දෛවඥයකුගේ අවධානය යොමුවන කරුණු කිහිපයක් වේ. ග්‍රහයන්ගේ රාශි අධිපති නම් ග්‍රහයන් තැන්පත්ව සිටිනා රාශි, ඒවායේ අධිපතියන් සිටිනා රාශි, ග්‍රහයන්ගේ (උච්ච නීචාදි) බල – දුබලකම් ආදිය ඒ අතර ප්‍රධාන කාරණා වේ. ඒ සමගම දෛවඥයකුගේ අවධානය යොමුවන තවත් විශේෂ කාරණයක් නම්, ග්‍රහ සංයෝග හා ග්‍රහ දෘෂ්ටියි. රවි – චන්ද්‍ර – කුජ – බුධ – ගුරු – ශුක්‍ර – ශනි – රාහු – කේතු යන නව ග්‍රහයෝ කිසිවිටෙක තනිතනිව නොසිටිති. යටත් පිරිසෙන් රාහු – කේතු දෙදෙනාගෙන් එක්කෙනකු සමග තවත් ග්‍රහයකු යෝග වී සිටිනු දැකිය හැකිය. එබඳු ග්‍රහයන්ගේ එක්වීම් ග්‍රහ සංයෝග නම් වේ.

ග්‍රහ දෘෂ්ටි නම් වනුයේ, ග්‍රහයන්ගේ බැල්මයි. කේන්ද්‍රයේ එක් කොටුවක සිටින ග්‍රහයකුගේ රශ්මිය/ ග්‍රහ කිරණ තවත් ග්‍රහයකු සිටින කොටුවකට වැටුණු කල අර මුලින් කී ග්‍රහයාගේ දෘෂ්ටිය දෙවැනුව කී ග්‍රහයාට ලැබී ඇතැයි කියනු ලැබේ. ඒ සඳහා ඒ දෙවන ග්‍රහයා මුලින් කී ග්‍රහයාගේ කිරණ මාලාවට හසුවිය යුතුය.

ග්‍රහයකු තවත් ග්‍රහයකුගෙන් පීඩාවීම යන්න විමසා බැලිය යුත්තේ මේ පසුබිමේ සිටය. ග්‍රහයන් අතර ශුභ – අශුභ යනුවෙන් බෙදීමක් ඇති බව කවුරුත් දනිති. මොවුන් අතර අශුභ ග්‍රහයන් ලෙස සැලකෙන ග්‍රහයෝ පාප ග්‍රහයෝ නම් වෙති. නව ග්‍රහයන් අශුභ හෙවත් පාප ග්‍රහයෝ නෛසර්ගික පාපීන් යනුවෙන් හැඳින්වෙති. එහි අර්ථය වන්නේ නිසර්ගයෙන් හෙවත් ස්වභාවයෙන්ම පාපීන් වන බවයි. එක් එක්

ලග්නයට පාප ග්‍රහයෝ වෙන වෙනම දැක්වෙති. ඔවුන් ගැන පසුව කරුණු දක්වමු. දැන් නෛසර්ගික පාපීන් පිළිබඳව විමසා බලමු.

නෛසර්ගික පාපීහු නම් රාහු, කේතු, කුජ, ශනි යන ග්‍රහයෝයි. එයට අමතරව යමකුගේ හඳහනෙහි 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා ද පාපියකු සේ හැඳින්වේ. (දෙර්කාණයක් යනු, ලග්නය තුනට බෙදූ කල එයින් එක් කොටසෙකි. ඒ අනුව දෙර්කාණ 36ක් වේ. මේවා සර්ප, ජල, පක්ෂි, සෞම්‍ය ආදී නම්වලින් හැඳින්වේ. උපන් ලග්නයේ සිට ගණන් බලනවිට අටවැනි ලග්නයේ මුල් දෙර්කාණය 22 වැනි දෙර්කාණය වේ. එය අධිපති ග්‍රහයා ඒ කේන්ද්‍රය හිමිකරුට පාපග්‍රහයකු ලෙස හැඳින්වේ). ඇතැම් විටෙක රවි ද පාප ග්‍රහයකු සේ ගැනේ.

කේන්ද්‍රයක යම් ග්‍රහයකු මේ කියන ලද පාප ග්‍රහයකු සමග සංයෝග වී ඇත්නම් නැතහොත් පාප ග්‍රහයකුගේ දෘෂ්ටියට ලක්වී ඇත්නම් ඒ ග්‍රහයා පාප පීඩිත ග්‍රහයකු ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස, යම් කේන්ද්‍රයක ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහයා ශනි සමග සංයෝග වී ශනි – ශුක්‍ර යෝගයක් දක්නට ලැබෙතැයි සිතමු. එකල සිකුරු ග්‍රහයා ශනිගෙන් පීඩා වී ඇතැයි කියනු ලැබේ. එසේ නැතහොත් වෙනත් කේන්ද්‍රයක ශනි ලග්නයේ සිටියදී සිකුරු හත් වැන්නේ සිටිතියි සිතමු.

එකල සිකුරාට ශනිගේ දෘෂ්ටිය වැටේ. එයට සප්තම දෘෂ්ටිය යැයි කියනු ලැබේ. මෙසේ පාප ග්‍රහයකුගේ දෘෂ්ටියට ලක්වීම නිසා ද සිකුරු පාප පීඩිත වේ.

පාප පීඩිත ග්‍රහයා ශුභයකු වුව ද ඔහුගෙන් එතරම් ශුභ ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැකිය. යට දක්වන ලද උදාහරණයේම සිකුරු හතෙහි සිටීම විවාහයට ශුභ වුව ද ශනිගෙන් පීඩාවීමෙන් ඒ ශුභ ඵල අහිමි වී යයි. ශුභ ඵල අහිමි වී යනු පමණක් නොව අශුභ ඵල ද ලැබේ. බොහෝ ජ්‍යොතිෂ ග්‍රන්ථවල දැක්වෙන අන්දමට ශනි – ශුක්‍ර යෝගය නැතහොත් ශනිගෙන් සිකුරුට දෘෂ්ටි එල්ල වීම විවාහයට අශුභ වේ. විවාහ නොවී සිටීමට හෝ විවාහය බිඳවැටීමට හෝ හේතු විය හැකිය. අනෙක් පාප ග්‍රහයන් ගැන ද මෙසේම සිතාගත යුතුය.

එහෙත් මෙහිදී සැලකිල්ලට ගතයුතු තවත් කරුණු වේ. පාප ග්‍රහයා දුර්වලව කේන්ද්‍රයේ දුර්වල ස්ථානයක සිටියදී ඔහුගේ බලපෑමට හසුවන ශුභ ග්‍රහයා ප්‍රබලව (උච්ච, ස්වක්ෂේත්‍ර ආදී තත්ත්වයක) සිටී නම් එවිට අශුභ ඵල අඩුවනු ඇත. එසේම ගුරු වැනි ප්‍රබලයකුගේ බැල්මට හසුවුවහොත් එවිට ද පාපියාගේ බලය දුර්වල වී අශුභ ඵල අඩු වනු ඇත.

අප මෙහිදී සරල ලෙස දැක්වුව ද ග්‍රහයන් පාප පීඩිත වීම සවිස්තරව සාකච්ඡා කළ යුතු මාතෘකාවකි. මහා පුරුෂ යෝග ආදී ප්‍රබල ග්‍රහයෝගවල පවා බලය අඩු වීමට පාප පීඩා වීම හේතු වේ. ඉදිරියේදී ඒ පිළිබඳ තවත් කරුණු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමු.

එක් එක් ලග්නයට අනුව ද පාප ග්‍රහයෝ සිටිති. මේෂ ලග්නයට ශුක්‍ර, බුධ, ශනි පාපයෝ වෙති. එහෙත් මෙහිදී පාපයන් යනුවනේ ගැනෙන්නේ යට දක්වන ලද නෛසර්ගික පාපයෝමය.

ජගත්පාල ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment