ග්‍රහ ලොවේ තොරතුරු බිඳක්

2032

රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු, යුරේනස්, නැප්චුන් සහ ප්ලූටෝ ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙහි ග්‍රහයින් ලෙස නම් කර ඇත. මෙම ග්‍රහයින් අතරින් බුධ, ගුරු, ශුක්‍ර සහ පූර්ණ චන්ද්‍රයා ආදී ග්‍රහයන් ශුභ ග්‍රහයන් ලෙස ද රවි, කුජ, ශනි, රාහු, කේතු සහ අව චන්ද්‍රයා අශුභ ග්‍රහයන් ලෙස ද ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙහි හඳුන්වා දී ඇත. මේ අතරට යුරේනස්, නැප්චුන් සහ ප්ලූටෝ යන ග්‍රහයින් තිදෙනෙක් ද ග්‍රහ ලෝකයේ සැරිසරති. එම ග්‍රහයින් තිදෙනාගෙන් ප්ලූටෝ ග්‍රහයා ක්‍රමක්‍රමයෙන් හැලී ගොස් දැනට භාවිතයේ නොමැත.

රාහු සහ කේතු යන ග්‍රහයින් දෙදෙනා ඡායා ග්‍රහින් ලෙස ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ හඳුන්වනු ලබයි.

මෙම ග්‍රහයන් අතරින් රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු සහ කේතු යන ග්‍රහයන් නවදෙනා හැඳින්වීම සඳහා ඒ ඒ ග්‍රහයන්ට ගැළපෙන අන්දමේ රූප ද යොදා තිබේ.

ඒ ඒ ග්‍රහයන් පිළිබඳ විස්තර පහතින් පෙළගස්වමු.

රවි ග්‍රහයා

රතු ඇස් ඇති, පිත අධික, ප්‍රඥාවත්, කෙස් අඩු, අතිශයින් තැවෙන, රන් ඔටුන්නක් හිස පැලඳි රූපයකි.

රවි ග්‍රහයාගේ වාහනය අශ්වයාය. ආයුධය සිරිවැය ය. දේවස්ථානවල වාසය කරයි. පුරුෂ, කෲර ගතිගුණ ඇති, තඹවන් පාට, ක්ෂත්‍රිය වාංශික, රජ නිලයේ රාම අවතාරයෙන් දකුණු දිශා බල ඇති ග්‍රහයෙකි.

රවි ග්‍රහයා ලෝකයේ මූලිකයා වෙයි. ලෝකයේ පියා වේ. දවල් කාලයේ උපදින්නන්ට පියා වේ.

● වියළි පුරුෂ, උෂ්ණ ග්‍රහයෙකි.

පියා, නායකයා, රජතුමා, රජය යනාදිය නියෝජනය කරයි.

ශරීරයේ කොටස් වශයෙන් හෘදයවස්තුව, ඇටකටු, පිරිමින්ගේ දකුණු ඇස, ස්ත්‍රීන්ගේ වම් ඇස, කට, උගුර සහ මොළය යන ස්ථාන රවි ග්‍රහයාට හිමි වෙයි.

නිර්භීතභාවය, අවංකභාවය, පාලන ශක්තිය, ශරීර ශක්තිය, ධර්මය පිළිබඳ කටයුතු, වටිනා අවස්ථාවන් ලැබීම, වගකීම, හදිසි වෙනස්වීම්, අලුත් මිත්‍ර සම්බන්ධතා, බලය, දීර්ඝායුෂ, ප්‍රසිද්ධිය, ගෞරවය, ක්‍රියාශූරත්වය, භක්තිය, ස්ථිර ප්‍රේමය, සප්‍රාණිකභාවය, අවබෝධ ඥානය, චිත්ත වේගය ආදී සියලු උසස් ගතිගුණ රවි ග්‍රහයාගෙන්ම ලැබෙන බැවින් රවි ග්‍රහයා ම ප්‍රධානියා වේ.

“හිරු නො මරයි” යනු ඉගැන්වීමකි.

රජුන්ට, රාජ්‍යයට, එම රාජ්‍යයේ උසස් අයට රවි ග්‍රහයා බලවත් වෙයි. රවි ග්‍රහයා උෂ්ණ ග්‍රහයෙක් වුවත් අඟහරු ග්‍රහයා තරම් සැර නොවේ.

යම් කේන්ද්‍රයක රවි ග්‍රහයා උච්චව හෝ ස්වක්‍ෂේත්‍රව පිහිටිය හොත් ප්‍රධානත්වය, තේජවන්තකම, යහපත් එඩිතරකම ඇති වේ. කිසිවකුට හිස පාත් නො කරයි. එසේ වූ විට උසස් අයගෙන් උදව් උපකාර ලබාගැනීමට බාධාවක් වේ.

රවි ග්‍රහයා නීච වීම ද ගුණයෙකි. සාමාන්‍ය මිනිසා ප්‍රකටව උසස් වෙයි. රජවරුනට රවි ග්‍රහයා නීච වීම හොඳ නැත. පිරිහෙයි.

රවි ග්‍රහයා නරක් වීමෙන් බෙල්ලේ ග්‍රන්ථි මහත්වීම, රුධිර පීඩන අමාරු, ලේ ගැලීම්, හෘද රෝග, හිසට සම්බන්ධ පිත් අමාරු, කතා කිරීමට බැරිවීම, තද උන රෝග, අව්වේ යෑමෙන් ඇති වන රෝග හිසට සම්බන්ධ රෝග ආදිය ඇති වේ.

රවි ග්‍රහයාට අයිති දිශාව දකුණ ය. දකුණු දිශාවට දික් බලය.

සඳු ග්‍රහයා

වා, සෙම්, අධික, ප්‍රඥාවන්ත, රවුම් අතපය ඇති, දැකීමට ප්‍රිය උපදවන, රස කතා ඇති, චංචල ගති ඇති, කාමාශාව අධික, ජටාවක් හිස පැළඳි රූපයකි.

සඳු ග්‍රහයාගේ වාහනය ඇතාය. ආයුධය බඳවෙළුමය. වාසස්ථාන ජලස්ථානයන්ය. ස්ත්‍රී සෞම්‍ය, සුදු වර්ණයෙන් යුත්, වෛශ්‍ය වංශික, රජ නිලයෙන් යුත් උතුරු දිශා බල ඇති ග්‍රහයෙකි.

සඳු ලෝකයේ මවු වේ. රාත්‍රි කාලයේ උපදින්නන්ට මවු වේ. චංචලභාවයට සඳු ග්‍රහයා බලවත් වේ. ලෝකයේ පුරාණයේ සිට ම සඳු ග්‍රහයා දිව්‍ය මාතාව ලෙස පිළිගෙන එයි. පෘථිවි ගෝලයේ වාසය කරන්නා වූ සියලු සත්ත්වයන්ගේ ද, ගස් කොළංවල ද එපමණක් නොව, ගල්, ජලය ආදියේ වෙනස්වීම් සඳු ග්‍රහයා නිසා ම ඇති වේ. සඳු ග්‍රහයා මනුෂ්‍යයාගේ හිතට අධිපතිය. රෝග වැළඳීම සඳු ග්‍රහයාගේ බලපෑම මත සිදුවේ. ශරීරයේ තෙත ගතියට හෙවත් සෙමට අධිපති වේ.

යම් කේන්ද්‍රයක සඳු ග්‍රහයා උච්ච වී ඇත්නම් එය රූප ශෝභනත්වයට හා යහපත් හිත ඇතිවීමට හේතුවේ. ස්ත්‍රී කේන්ද්‍රයක සඳු ග්‍රහයා උච්ච වී ඇත්නම් එය උසස් ම ගුණාංගයකි.

දරුවන් කුස පිළිසිඳ ගැනීම, දරු උත්පත්ති, ස්ත්‍රීන්ගේ ඔසප්වීම ආදිය සඳු ග්‍රහයාගේ බලපෑම අනුව සිදුවෙයි.

සඳු ග්‍රහයා දිනපතා අඩු වැඩි වන බැවිනුත් ගමන ඉතා ශීඝ්‍ර බැවිනුත්, වෙනස් වන ගතිය නොහොත් චංචලභාවය, ස්ථිරත්වයක නො සිටීම හිතේ භය ගතිය හා පරිහානිය සඳු ග්‍රහයා නිසා ම සිදුවෙයි. පුර සඳු ග්‍රහයා සියලු යහපත් දේවල් දෙන ශුභයකු වාගේම අව සඳු ග්‍රහයා සියලු අයහපත දෙන අශුභයෙකි. පුර සඳු ග්‍රහයා ශරීරයේ පිරිසිදු ලේ ගමන් කරන නාඩිවලටත් අව සඳු ග්‍රහයා අපිරිසිදු ලේ ගමන් කරන නාඩිවලටත් අධිපති වෙයි. මොළය, තෙල, සෙම, සෙම්වැදලි සඳු ග්‍රහයාගේ බලයට යටත් වෙයි. පුරුෂයන්ගේ වම් ඇස ද ස්ත්‍රීන්ගේ දකුණු ඇස ද සඳු ග්‍රහයාගේ බලයට යටත් වෙයි. ගවයන්ගේ වැඩට, දෙහි , දොඩම් ආදී යුෂ සහිත පලතුරු වැවීමට, ශුභ ගමන් යෑමට සඳු ග්‍රහයා බලවත් වේ.

මනුෂ්‍ය ශරීරයේ සඳු ග්‍රහයාට අයත් වන කොටස් වන්නේ උගුර, සෙම් නාළය, ආමාශය, ගර්භාෂය, මුත්‍රාශය, ස්ත්‍රීන්ගේ පයෝධර සහ සියුම් අංගයන්ය.

සඳු ග්‍රහයා නරක්වීමෙන් අපස්මාරය, පක්‍ෂඝාතය, බෙල්ල මහත්වීම, කාශ රෝග, සරම්ප, පණු රෝග, වලිප්පු, සන්නි රෝග, ග්‍රහණි රෝග, පාචන රෝග, බඩේ දරුණු කැක්කුම, කළු ලේ නහර මතුවීමේ රෝග, පෙණහැල්ලේ රෝග, උගුරේ රෝග, ගෙඩි, කඩුවේගන්, දද, පිස්සු රෝග, සිහිය අඩුකම, ස්ත්‍රීන්ගේ ශුද්ධ වීමේ රෝග, ඇස් රෝග, බඩවැල් කැක්කුම, ඇපන්ඩිසයිටිස් හෙවත් ගුල්ම රුදාව සහ වකුගඩු රෝග ආදී රෝග ඇති වේ.

සඳු ග්‍රහයාට අයිති දිශාව උතුර ය. උතුරු දිශාවට දික් බලය.

කුජ ග්‍රහයා

කෲර රතු ඇස් ඇති, චපල, පපුව පළල්, පිත් අධික, ක්‍රෝධ ඇති, නහර ඉලිප්පී, ශක්තිමත් මධ්‍යම ප්‍රමාණයේ සිරුරක් ඇති, ප්‍රඥාවන්ත, රති කෙළියෙහි ලොල්වූ ඔටුන්නක් හිස පැලඳි රූපයකි.

කුජ ග්‍රහයාගේ වාහනය මොනරා ය. ආයුධය රතු අංකුසය, වාසස්ථාන අග්නිස්ථානයන්ය. පුරුෂ, කෲර ගති ඇති, ලේ රතු වර්ණ, ක්ෂත්‍රිය වාංශික, සේනාධිපති නිලයෙන් හෙබි නරසිංහ අවතාරයෙන් යුක්ත වූ කුජ ග්‍රහයාට අයත් දිශාව දකණු දිශාව ය. දකුණු දිශාවට බල ඇති ග්‍රහයෙකි.

ග්‍රහ තරුවලින් පෘථිවියට සමාන ගතිගුණ ඇති එකම ග්‍රහයා කුජ ග්‍රහයා ය. එම තරුව පෘථිවියට ඉතාම කිට්ටු තරුව ය. ජ්‍යොතිෂ් ශාස්ත්‍රයේදී කුජ ග්‍රහයාට ‘භූමිපුත්‍ර’ කියා නමක් පුරාණයේ සිට භාවිත කරනු ලැබේ.

පෘථිවියට මෙන්ම කුජ ග්‍රහයාට (තරුවට) ද රෑ දවල් වශයෙන් පැය 24ක් ඇත. ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී කුජ ග්‍රහයා පාප ග්‍රහයකු ලෙස ගණන් ගනී. එසේ පාය ග්‍රහයකු වූ නමුත් මනුෂ්‍යයාගේ ධෛර්ය, නිර්භීත ක්‍රියාවලට ඉදිරිපත් වීම, එවැනි කටයුතුවලට ඇති ආශාව, ආත්ම විශ්වාසය, ඉදිරියට යන තේජවන්ත ගතිය, ස්ථිර අදස් ඇති ගතිය, සටන්කාමී බව, තීක්‍ෂණ අවබෝධය, විවාද ශක්තිය ආදී උසස් ගතිගුණවලින් කුජ ග්‍රහයා ප්‍රධානත්වයක් ගනී.

එමෙන්ම හිත හිතා නොසිට ක්‍රියාවෙහි යෙදෙන ගතිය, නිදහස ඉතා තදින් ප්‍රිය කරන, පාලන කටයුතු ක්‍රමානුකූලව කරගෙන යෑමට සැලැස්ම පිළියෙල කිරීමේ ශක්තිය, කඩිසරභාවය, පිරිස් නායකත්වය, පාලන බලය, රසායන ව්‍යා විශාරදත්වය, පටන්ගත් වැඩය මඟ නතර නොකොට ස්ථිරව දිගට ම කරගෙන යෑමේ ශක්තිය, සතුරන් ඉදිරියේ නොනැමෙන බව, ලෞකික ආශාව ආදී ගතිගුණ කුජ ග්‍රහයා නිසා ඇතිවේ. එසේම දීර්ඝ ගමන් බිමන්, විදේශ සංචාර ආදියෙහි කුජ ග්‍රහයා බලපවත්වයි.

කුජ ග්‍රහයා නරකට හිටියොත් නොයෙක් දරුණු උෂ්ණ රෝගවලට, හදිසි අනතුරුවලට, බරපතළ තුවාලවලට භාජනය වීමට ඉඩ ඇත. ආගිය හැම තැනදීම අවාසනාවන්ත සණ්ඩු සරුවල්වලට මුහුණපාන්නට සිදුවේ. අන්තිමේදී කෝපය ඉහ වහා ගොස් තමාම පාලනය කරගැනීමට නොහැකිව මිනීමරුවකු වීමට ද ඉඩ ඇත.

කුජ ග්‍රහයා සහෝදර කාරක වේ. සහෝදරයින්ට, ඉඩම්වලට, තර්ක ශාස්ත්‍රයට කුජ ග්‍රහයා අධිපති වෙයි. කුජ ග්‍රහයා ක්‍රියාවෙහි ඉතාමත්ම කඩිසරය. හොඳ හෝ නරක වැඩියෙන් දේ.

කුජ ග්‍රහයා ලග්නයෙන් නොහොත් පළමුවන භාවයෙහි තැන්පත්ව ඇති පුද්ගලයන් බොහෝ විට දරුණු විපත්වලට මුහුණපායි. දරුණු මරණවලට ද මුහුණ පාන්ට සිදුවේ. හිසට තුවාල වීම නම් නියමයි.

ශරීරයේ නළල, නාසය, රහස් ස්ථාන, ලේ හා මස් පිඬු ආදියට අධිපතිත්වය දරයි. කුජ ග්‍රහයා තියුණු උෂ්ණ රෝග සාදයි. තද උණ රෝග, දැවිලි රෝග, වසූරිය, මහා මාරිය, ලේ නහර පිපිරීම, ආයුධවලින් ඇතිවන තුවාල, වස විස කැවීමෙන් ඇතිවන අනතුරු, ගබ්සාවීම්, මුත්‍ර අඩස්සිය වැනි දරුණු රෝග ද තියුණු රක්ත වාතය යනාදී තද වේදනා සහිත දරුණු රෝග කුජ ග්‍රහයා විසින් සාදයි.

කොටි, ව්‍යාඝ්‍ර ආදී දරුණු සතුන්ටත්, උකුසු, රාජාලි ආදී පක්‍ෂීන්ටත් අධිපති වෙයි.

කුජ ග්‍රහයාට අයිති දිශාව දකුණය. කුජ ග්‍රහයා දකුණු දිශාවට දික් බලය.

බුධ ග්‍රහයා

වා, පිත්, සෙම් එකසේ ඇති නිතර සිනාසෙන කවට බස් දොඩන, සත්‍යවාදී ශ්‍රේෂ්ඨ ශරීරයක් ඇති අභිචාරිකාවන් වැනි රන් ඔටුන්නක් හිස පැලඳි ඥානවන්ත ලක්‍ෂණ රූපයකි.

බුධ ග්‍රහයාගේ වාහනය මීමාය. ආයුධය සුදු සකය. වාසස්ථාන වනුයේ ක්‍රීඩාස්ථානයන්ය. නපුංශකයෙකි. සෞඛ්‍ය ගති ඇති කොළපාට වර්ණයෙන් යුත් වෛශ්‍ය වාංශික කුමාර නිලයක් දරන බුධ අවතාරයෙන් යුක්ත නැඟෙනහිර දිශා බලයෙන් යුක්තය.

ග්‍රහ තරු අතරින් ඉතාම කුඩා ග්‍රහ තරුව බුධය. සූර්යයාට ඉතාම කිට්ටු ග්‍රහයා බුධය. බුධ ග්‍රහයා සූර්යයාගෙන් අංශක 28ක් ඈතින් පිහිටා ඇත.

ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී බුධ ග්‍රහයාට ස්වකීය බලයක් නැත. තමාට ළංවූ වෙනත් ග්‍රහයකුගේ හෝ තමා සිටිනා රාශියේ ගතිගුණ ගන්නා ග්‍රහයකු ලෙසින් හැඳින්වේ. වා, පිත්, සෙම් ආදී රෝගවලට වෙන වෙනම විශේෂතා නොමැතිව තුන් දොසට ම එකසේ බවක් පෙන්වා දී තිබේ. බුධ නෛසර්ගික පාපයෙක් නොවේ. බුධ ග්‍රහයා පාප සංයෝග යෙදීමෙන් පාපයෙක් බවට පත්වේ. බුධ ග්‍රහයා ශුභ ඵල දීමේදී ප්‍රමුඛයා වන අතරම අශුභ පල දීමේදී දුර්මුඛ වෙයි. බුධ ග්‍රහයා වැරදි නො කරන්නේම නොවන බව සඳහන්ය. ඥානයට අධිපතිය. කාව්‍යකරණය, ව්‍යාකරණ, න්‍යාය ශාස්ත්‍රය, ඥානයෙන් කරන සියලු කාර්යයන්, විදුලි, තැපැල්, දුම්රිය ආදි වැඩ බුධ ග්‍රහයාට අයිතිය. ජ්‍යොතිෂ් ශාස්ත්‍රයේදී බුධ ග්‍රහයා ආරක්‍ෂකයා හැටියට පෙන්වා දී ඇත. බුධ ග්‍රහයා සඳු ග්‍රහයා සමග එක්වූ විට ශුභ ඵල දෙන්නේ කලාතුරකින් බව පෙන්වාදී ඇත.

තීක්ෂණ නුවණ, සත්‍යවාදි බව, කතාලීලාව, ඉගෙනීම, කතාවේ ලිවීමේ දක්‍ෂතාවය පොත්පත් ලිවීම, ඉගැන්වීම, චිත්‍ර කර්මාන්තය, සියුම් කැටයම් කර්මාන්ත බුධ ග්‍රහයා බලවත් වූ අයට ඉබේම වාගේ පුළුවන් වෙයි. නොයකුත් භාෂා විශේෂඥයෝ දියුණු පොත්පත් වෙළෙන්දෝ, ප්‍රිය රස ආහාර වෙළෙන්දෝ, සනීපාරක්‍ෂක දේ වෙළෙදාම් කරන්නෝ බුධ ග්‍රහයා බලවත් වූ අය වෙති. නීතිඥ වෘත්තියේ යෙදෙන්නන්ට ද බුධ ග්‍රහයා බලවත් වී ඇත.

යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර ආදී කටයුතුවලට ද බුධ ග්‍රහයා බලවත්ය. බුධ ග්‍රහයා දුබල වී උපන්නහු ගොතගසන්නෝ වෙති. බුධ ග්‍රහයා නීචව දුෂ්ට ස්ථානවල සිටියදී උපන් අය සිහි කල්පනාව අඩුවූවෝ වෙති. තමන් යෙදෙන යෙදෙන කටයුත්තෙහි පාඩු විඳගන්නෝ වෙති. බොරු කීමට දක්‍ෂයෝ වෙති. රැවටිලිකම්වලට හා හොර අත්සන් ගසා වංචා කිරීමට කටයුතු කරන්නෝ වෙති.

දිව, පෙණහැල්ල, නාසය, හිස්මුල්, අත්, නහරවල පැවැත්ම, ශරීරයේ ඇතුළ, පිට සියුම් සිවිය බුධ ග්‍රහයාට අයිතිය.

බුධ ග්‍රහයා නරක්වීමෙන් සිහිමද පිස්සුව, ගොළු හෝ ගොත බව, දිවේ රෝග, කන් ඇහීම අඩුකම, කල් පවතින හිසරදය, හිස බර ගතිය, හිටිහැටියේ ක්ලාන්ත වී වැටීම ආදී රෝග සෑදෙයි.

බුධ ග්‍රහයාට අයිති දිශාව නැඟෙනහිරය. බුධ ග්‍රහයා නැඟෙනහිර දිශාවට දික් බලය.

ගුරු ග්‍රහයා

සෙම අධික, රන්වන් කෙස් ඇති, යහපත් ගුණධර්ම ඇති ප්‍රඥාවත්, සියලු ශාස්ත්‍රයන් දන්නා බොහෝ වස්ත්‍රාභරණයෙන් සමන්විත, කහපාට මහත් ශරීරයක් ඇති ඔටුන්නක් හිස පැලඳි රූපයකි.

ගුරු ග්‍රහයාගේ වාහනය මිනිසා ය. ආයුධය කළසය, වාසස්ථානය භාණ්ඩාගාරයය. පුරුෂ, සෞම්‍ය, සුදු කහපාට, බ්‍රාහ්මණ වංශික, මන්ත්‍රී නිලයෙන් යුතු වාමන අවතාරයෙන් හෙබි ගුරු ග්‍රහයාගේ දිශාව නැඟෙනහිරය.

ගුරු ග්‍රහයා ලග්නයේ තැන්පත්ව උපදින අයවලුන්ගේ ශරීර මහත් වෙන බවත් ගුරු ග්‍රහයා බලවත් වූ විට ශරීර මහත ඇත්තන් උපදින බවත් ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ උගන්වා ඇත.

හැම දෙයක්ම පතුරුවන විශාල කරවන ග්‍රහයා ගුරු ග්‍රහයා වෙයි. අතීතයේ පටන් ගුරු ග්‍රහයා ‘ගුරු’ මෙන් සලකා තිබේ. ගුරු ග්‍රහයා බොහෝ ආගම්වලට ද සම්බන්ධ කර තිබේ. මොන අන්දමින් සිදු වුවත් ගුරු ග්‍රහයාට දී තිබෙන නම් ගුරුන් වහන්සේ, යුක්ති පසදින්නා ආදී තේරුම් ඇති උසස් ඒවාය. මනුෂ්‍යයාගේ යහපත, වැඩිදියුණුව, උසස් වීමට අවශ්‍ය කරන සියලු යහපත් දේට ගුරු ග්‍රහයා බලපවත්වයි.

දැකීමට, ආශ්‍රය කිරීමට ප්‍රිය උපදවන කුළුපඟගතිය, කොතැනටත් කාටත් ගැළපෙන සෞම්‍ය ගතිය, ලෞකික දේ සම්බන්ධව පතළ ඥානය, දුකට පත් අයට පිහිටවන අනුකම්පා සහගත ගතිය, විශ්වාසවන්තකම, මධ්‍යස්ථව යුක්තියෙහි පිහිටීම, සාමාන්‍ය දැනීම, කලබල නොවන ගතිය, ඉක්මණින් චංචල නොවන හිත, නිතර මතු දියුණුව බලාපොරොත්තු වන ගතිය, ගෞරවය රැකගැනීම, දියුණුවේ ස්ථිරභාවය, ඍජුකම, සමාජයට ප්‍රියවීම, ආගමේ හා රජයේ පවතින නීතිගරුකභාවයට අවනත වීම ආදී උසස් ගුණධර්මවලට ගුරු ග්‍රහයා අධිපති වේ. එසේම උතුම් පැවිදිකමද ගුරු ග්‍රහයාගෙන් ලැබේ. නිතරම හොඳ නම ඇසීමට සූදානම්ව සිටී.

මේ දේවල්වලට අමතරව උසස් ඉගෙනීම වාසනාවන්තභාවය, ශරීර සනීපය, නිරෝගිකම, මවුපිය ගුරුවරුන්ට සැලකීම සහ ගරු කිරීමට ඇති ආශාව, චරිතයේ පිරිසිදුකම ආරක්‍ෂා කරගැනීම, ධනය, ප්‍රසිද්ධිය ආදී දේවල්වලින් ද යුක්තය.

ගුරු ග්‍රහයා පුත්‍රකාරකයා මෙන්ම ධන කාරකයා ද වේ.

ආගමික ස්ථාන, ව්‍යාස්ථාන, ධාන්‍යාගාර, මුදල් රැස් කරන ස්ථානවලට ගුරු ග්‍රහයා අධිපතිවේ. මනුෂ්‍යා දෙවන ආත්මයට හෙවත් අනිත් ලෝකයට උසස් කර ගෙන යෑමට ගුරු ග්‍රහයා උත්සාහ කරයි. ශරීරයේ තෙල හා මහත්වන ගුණය, කැවුත්ත, ලේ ධාවනය, මස් පිඬු, පෙණහැල්ලේ ජල සිවිය, ආදියට ද අධිපති වේ.

ඕනෑවට වඩා ශරීරය මහත්වීම, ලේ විෂවීම, මොළේ තදවීම, පෙණහැල්ලේ දිය පිරෙන ‘ප්ලුරසි’ නම් රෝගය, විදුරුමස් දියවීමේ රෝග, දිය පීනස, බඩ පුරවා දැමීම, සෙංගමාලය, මුත්‍ර සමග ධාතු පහවීම, දියවැඩියාව, ලේ විෂවීමෙන් හැදෙන රෝග, සන්නිපාත උන, ගුරු ග්‍රහයා නරක්වීමෙන් ඇතිවන රෝගාදිය වේ. අශ්වයින්ට,

ගොනුන්ට, ඇතුන්ට, මුවන්ට, ගෘහවාසී සතුන්ට හා මොනර ආදී ලක්ෂණ සතුන්ට අධිපති වේ.

කොස් වැනි හොඳ ලී වර්ග වලට ද බලපවත්වයි. ගුරු ග්‍රහයාට අයිති දිසාව නැඟෙනහිරය. ගුරු ග්‍රහයා නැඟෙනහිර දිශාවට දික්බලය.

ශුක්‍ර ග්‍රහයා

ශුක්‍ර ග්‍රහයාගේ වාහනය ගොනා ය. ආයුධය වල්විදුනාය, වාසස්ථාන සයනාගාරය, ස්ත්‍රී සෞමය ගුණයෙන් යුත් තලඑළලු, බ්‍රාහ්මණ වංශයට අයත්, මන්ත්‍රී බලය දරන භාගිව අවතාරය සහිතව උතුරු දිසා බලයෙන් යුක්තය.

කාමය, බලය, සැපය, කාන්තිය, සුන්දරත්වය සහ නිල්වන් රෝමයන්ගෙන් යුත්, ශෝභන, උතුම් ශරීරයක් ඇති, යහපත්, ඇස් ඇති කාව්‍යකාර, සෙම්වැනි, වාතාධික, බොකටු කෙස් ඇති, සියලු ගුණධර්මයන්ගෙන් හෙබියාවූ ඔටුන්න හිස පැලඳි රූපයයකි.

සිකුරු තරුව සූර්යාගෙන් හෙවත් රවි ග්‍රහයාගෙන් අංශක 48ක් ඈතින් පිහිටා ඇත. පෘථිවියට සමානය. ප්‍රමාණයෙන්ද පෘථිවිය තරම් වේ. සිකුරු තරුව ඝන මීදුම් පටලයකින් වැසී තිබෙන බැවින් ඉතා සීතල වේ. සිකුරු තරුව ලොකුවට දිලිසෙන කාලයක් ද කුඩාවට පෙනෙන කාලයන්ද දක්නට ලැබේ. ගුරු ග්‍රහයා ළඟට සෞම්‍ය ග්‍රහයා සිකරු ග්‍රහයායි. සිකුරු ග්‍රහයා ගුරු ග්‍රහයාගේ පුත්‍රයා වශයෙන් ජ්‍යොතිෂ් ශාස්ත්‍රයේදී පෙන්වා දී තිබේ. එසේ පුත්‍රයෙකු ලෙස හැඳින්වුවත් සිකුරු ග්‍රහයා හඳුන්වන්නේ ස්ත්‍රියක් ලෙසය.

ශුභ ඵල දීම අතින් පළමු වැනියා සිකුරු ග්‍රහයාය. මනුෂ්‍යයාගේ ඔපය, කෞශල්‍යය හා සංදර්ශනය පිළිබඳ සියලු දේට අධිපති වන්නේ සිකුරු ග්‍රහයාය. ලක්ෂණගතිය පිරිසිදුගතිය, ප්‍රීතිය, ප්‍රේමය, ආදී යහපත් ගුණධර්ම සිකුරු ග්‍රහයාගෙන් ලැබේ. මිනිසා සමාජයෙහි ප්‍රියකරන ආලය, කරුණාව, යහපත් විවාහය, සැපයේ වාසය, වාසනාවන්ත ලෙස ප්‍රීතියෙන් කල් ගෙවීම, මිත්‍රත්වය, පිරිසිදුව ඇඳීම, අධික ලෙස වියදම් කිරීමෙන් කාලය ගෙවීම, කෙළි සෙල්ලම්වලට ඇති ආශාව, රූප සොබාව, සිකුරු ග්‍රහයා බලවත්, අයට ඇති ගුණාංගයෝ වෙති. තරුණ වයසට බලවත්වේ.

සේද වෙළෙන්දෝ ලක්ෂණය බඩු වෙළෙන්දෝ, රසායන ද්‍රව්‍ය වෙළෙන්දෝ, සංගීත ශාස්ත්‍රඥයෝ, ස්ත්‍රී සමාජයෙහි නිතර හැසිරෙන්නෝ සිකුරු ග්‍රහයාගේ අය වෙති.

දහවල් කාලයේ උපන්නවුන්ට සිකුරු ග්‍රහයා මවු වේ. සිකුරු ග්‍රහයා ස්ත්‍රීකාරකය.

යම් අයෙකුගේ කේන්ද්‍රයක, සිකුරු ග්‍රහයා කෝණ ගතවීම, කේන්ද්‍රගතවීම හෝ එකොළොස්වන භාවයේ තැන්පත්ව සිටී ම යහපත්ය. ස්වක්‍ෂේත්‍ර හෝ උච්චවීම නම් ඉතා ම යහපත්ය. සිකුරු ග්‍රහයා බලවත් අය මුළු ජීවිත කාලයම සැපසේ ගත කරයි. අකලට මහලු නොවන තරුණ පෙනුම, සැහැල්ලු රස ආහාර අනුභවයට ලැබීම, සෞන්දර්යයට වුවමනා දේ ලැබීම, විශේෂයෙන් ස්ත්‍රීන්ගෙන් හා සාමාන්‍යයෙන් සියල්ලන්ගෙන්ම සැලකිලි ලැබීම, පිය වාග් චාතුර්යය ඇතිවීම, කාමභෝගී වීම භාර්යාව හෝ ස්වාමියා සමග යහතින් වාසය කිරීමට හේතු වාසනාව ලැබීම සිකුරු ග්‍රහයා බලවත් අයට දායා ද වශයෙන් ලැබී තිබේ.

සිකුරු ග්‍රහයා නරක්වීමෙන් සෙම්ගෙඩි, බෙල්ල මහත්වීම, මුත්‍රරෝග, දිය වැඩියාව, වකුගඩු දුර්වලවීම වැනි අසනීප ආදිය සෑදෙයි.

එළු, බැටළු වැනි සතුන්ටත් පරවි, ගේ කුරුලු වැනි පක්ෂීන්ටත් දෙළුම්, ඇපල් ආදී රස පලතුරුවලටත්, සාදික්කා සඳුන් ආදී ගස්වලටත් සිකුරු ග්‍රහයා බලපවත්වයි.

සිකුරු ග්‍රහයාට අයිති දිශාව උතුරය. සිකුරු ග්‍රහයා උතුරු දිශාවට දිග්බලය.

සෙනසුරු (ශනි) ග්‍රහයා

කපුටා වාහනය කරගත්, නදවටය ආයුධය කරගත්, කසළ ස්ථානයන් වාසස්ථාන කරගත් නපුංශ, කෲර, කළුපාට වර්ණයෙන් යුත් වංශය ක්ද්‍රවූ මෙහෙකාර නිලයක් දරන ඉදිබු අවතාරයෙන් බස්නාහිරට දික්බලය සිටින ග්‍රහයෙකි සෙනසුරු ග්‍රහයා. දුෂ්ට, නීච, පෙනුමෙන් යුත් කෙට්ටු ශරීරයක් ඇති රතු ඇස් හා ලොකු දත් ඇති වාතාධික, අලස, තියුණු කෙස්, ලොම් ඇති ශරීරයේ වම්පස කොර ගසන රළු වචන භාවිත කරන ජටාවක් හිස පැලඳි රූපයකි.

ග්‍රහ ලොවේ හැම ග්‍රහයෙකුට ම වඩා වෙනස් ග්‍රහයෙකි සෙනසුරු ග්‍රහයා. එනම් තෙතමනය අඩුකමයි. අනෙක් හැම තරුව ම දියේ යටට කිඳා බසියි. සෙනසුරු තරුව උඩ පාවෙයි. සෙනසුරු ග්‍රහයාට හිරු නොහොත් රවි ග්‍රහයා වටේ යෑමට අවුරුදු 2, 1/2 ක් ගතවේ.

සෙනසුරු ග්‍රහයාගේ දිළිඳුකම, අවාසනාවන්තකම, අනන්ත දුක් විඳීම, දුක් විඳිද්දී තව තවත් දුක් විඳීම, කම්මැලිකම, සීමාවක් නැතිව කටයුතු කල් දැමීම, කටයුතුවලට පැමිණෙන බාධා, අධෛර්ය, බලාපොරොත්තු සුන්වීම, සුව වූවායින් පසුත් ලකුණු ඉතිරිවන රෝග, බර කටුක වැඩ, ශරීරය කෙට්ටුවීම, ශරීරය දුර්වර්ණවීම, ඇට බිඳීම, බල වීර්ය අඩුවීම, මරණය ආදිය පුරාණාචාර්යවරුන් සෙනසුරු ග්‍රහයාට අයිති කරදී තිබේ. මහලුවියට සෙනසුරු ග්‍රහයා අධිපතිවෙයි.

සෙනසුරු ග්‍රහයාගේ මෙම අයහපත් පැත්ත එහෙමත් නැත්නම් නරක දේවල්වල හොඳ පැත්තක්ද තිබේ. හැම කළු වලාකුළකම රිදී රේඛාවක් ඇති වා සේම සෙනසුරු ග්‍රහයාගේද එවන් රිදී රේඛාවක් ඉස්මතු වෙයි. එහෙත් එසේ වීමට නම් සෙනසුරු ග්‍රහයා බලවත්ම ශුභ දෘෂ්ටි ලැබ හොඳ තැනක සිටිය යුතුය.

දුක් විඳීමේදී ඇති ඉවසීම, පිරිමසාගෙන කටයුතු කිරීමේ ශක්තිය, රහස් හෙළි නොකිරීම, සිතුදේ ජය පරාජය නොසලකා එසේම කිරීම, ආත්ම දමනය, ආගමික භක්තිය විපතට කලින් භය වී සූදානම් වීම ආදිය ශනි ග්‍රහයාගේ හොඳ ගති ගුණ වේ.

බලවත් වූ සෙනසුරු ග්‍රහයා කේන්ද්‍රයේ හොඳ තැනක තැන්පත්ව උත්පත්තිය ලැබූ අය සත්‍යවාදී වෙයි. පුණ්‍ය කටයුතුවල යෙදෙයි. භාවනානුයෝගී වෙයි. චිත්ත ඒකාග්‍රතාවය ඇතිකර ගැනීම ඉතා කරුණාවන්ත වීම, තාපස ජීවිත මෙන් ගතකිරීම, කල්පනා කර බලා කටයුතු කිරීම, රෝගීන්ට, අසණයින්ට සංග්‍රය කිරීම, සැලකීම, ආදී මෙලොව නොව පරලොව පිණිස ආදි උසස් ගුණධර්මවල පිහිටයි.

එහෙත් නරකට සිටින සෙනසුරු ග්‍රහයා පිළිබඳ මිනිසුන් අතරේ පවතින ව්‍යවහාරය වන්නේ සෙනසුරා ලබල ද? සෙනසුරු ඒරාෂ්ටකය ලබලා ද? යන්නය. මෙසේ අසනු ලබන්නේ යමෙක් දැඩි සේ දුක් විඳිනු දැකීමෙන්, අකාල මරණයකට මුහුණ පාන්නට සිදුවුවොත්, ලෙඩ රෝග වූවොත්, නඩු හබවලට පැටලී හිටියොත් හා අනේක දුක් කරදරවලට මුහුණ පාන්නට සිදුවන අවස්ථාවලදීය.

එසේ වුවත් බලවත් ශුභ දෘෂ්ටි ලැබ, බලවත් ස්ථානයක තැන්පත්වී සිටින සෙනසුරු ග්‍රහයා මනුෂ්‍යයා වස්තුවෙන් හා කීර්තියෙන් උසස් කරවයි. එසේම ඒ හැම දෙයක්ම නැතිකර දමයි. එම නිසා සෙනසුරු ග්‍රහයාගෙන් වැඩියෙන් ලැබෙනවාට වඩා ටිකක් ලැබීම හෝ නො ලැබීම හොඳය.

සෙනසුරු ග්‍රහයාට සූර්ය (රවි) ග්‍රහයාගේ පුත්‍රයා යැයි කියනු ලැබේ.

සෙනසුරු ග්‍රහයා තද ගති ඇත්තෙකි. ඒ නිසාම ස්වර්ගයේ හෝ අපායේ යතුර තිබෙන්නේ සෙනසුරු ග්‍රහයා අතේය යන්න ජනතාව අතර ව්‍යවහාර වෙයි. උසස් වුවොත් රාජ්‍ය පාලකයෙකු හෝ එවැනි තත්ත්වයක විශාල ධනයක්, බලයක් ඇත්තකු කරයි. ඒ වාගේම පහත් උවොත් අන්ත කාලකණ්නි හිඟන්නෙකු කරයි. එහෙම නැත්නම් ඉතාම යහපත්, ගුණවර් ධාර්මිකයෙකු හෝ නින්ධිත අපරාධකාරි පාපතරයකු බවට පත්කරයි. මේ දේවල් කරන්නට අවස්ථාව එළැඹුණනොත් නොකර සිටින ග්‍රහයෙක් නොවෙයි සෙනසුරු ග්‍රහයා. හොඳ හෝ නරක කරන්නට අවස්ථාව ආවොත් කිරීම සෙනසුරු ග්‍රහයාගේ ගතියයි. එම නිසා ඕනෑම අයෙකුගේ කේන්ද්‍රයක සෙනසුරු ග්‍රහයා යහපත්ව සිටීම යෙහෙකි.

මනුෂ්‍ය ශරීරයේ දකුණු කන, මුත්‍රාශය, නහර, ඇට, දත්, ඇලදිව, පිටුපස කොඳුඇටය, පක්වාශය, සෙනසුරු ග්‍රහයාට හිමිය. වම් පාදය ද සෙනසුරු ග්‍රහයාට හිමි බව කියැවේ.

සෙනසුරු ග්‍රහයාගේ මහ දශාවේදී හෝ නරක ග්‍රහයෙකුගේ සෙනසුරු අන්තර් දශාවේදී හෝ වම් පාදය බිඳී යයි. කොර කරයි. තුවාල කරයි. අඩු තරමේ උලුක්කුවක්වත් කරයි. සියලු අඩස්සි රෝග, සියලු වාත රෝග,දත් රෝග, කන් බිහිරිවීම, උගුරේ රෝග, යටි බඩ කොරවීම, වැනි තද වේදනා ගෙන දෙන රෝග, කාශ රෝගය, පිළිකා, ගෙඩි, වමනය, ඔක්කාරය, කුෂ්ට රෝග, පක්ෂගාත රෝගය ආදී රෝග, සෙනසුරු ග්‍රහයා නරක්වීමෙන් සෑදේ. සියලු සන්නි රෝග ද සෙනසුරු ග්‍රහයාගෙන්ම සෑදේ.

වෘක්ක, බළල්, බලු, වලස්, ඔටු, මහීෂ, ආදී සතුන්ට ද කිඹුල්ලු, සර්ප ආදී සතුන්ට ද වවුල්, බකමූණු ආදී සතන්ට ද තල, මුං, මෑ ආදී පැළෑටි වර්ග වලට ද බල පවත්වයි.

සෙනසුරු ග්‍රහයා අයිති දිශාව බටහිරය. සෙනසුරු ග්‍රහයා බස්නාහිරට දිග්බලය.

රාහු ග්‍රහයා

රාහු ග්‍රහයා නයි ඔළුවක් හා මිනිස් කඳක් ඇති ධූමාකාර නිල් කළු, දුම්බීමට ප්‍රිය භයංකර උස් ශරීරයක් ඇති වාතාධික, ප්‍රඥාහීන, සමේ රෝග සහිත රූපයකි.

අශ්වයා වාහනය කරගත්, රේමස ආයුධයක් ඇතිව, නියමිත වාසස්ථානයක් නැති, පුරුෂ, කෲර ධූම, නිල් වර්ණයෙන් යුත්,කිසිම වංශයක් නැති පිරිස නිලය කරගත් ඌරු අවතාරයෙන්, නියමිත දිශාවක් නොමැති ග්‍රහයෙක් වශයෙන් හඳුන්වාදිය හැකිය.

නොයෙකුත් මත දරන රාහු ග්‍රහයා ග්‍රහ තරුවක් නොවේ. රාහු සම්බන්ධ නොයෙකුත් මත ඇත. පෘථිවියත්, පෘථිවියේ සෙවනැලත් යැයි සමහරු කියති. ඒ මතය රාහු කේතු යන ග්‍රහයින් දෙදෙනාටම ය.

රාහු ග්‍රහයා ජ්‍යොතිෂයේදී ඉතා බලවත් ග්‍රහයෙක් වෙයි. රාහුගේ ඔළුව නයෙකුගේ මෙන්ද ශරීරය මනුෂ්‍යයෙකුගේ මෙන්ද හඳුන්වා දී තිබේ. ඇවිද්ද වීම රාහු ග්‍රහයාගේ ප්‍රධාන ක්‍රියාමාර්ගයයි. රාහු ග්‍රහයා ඔළුව අවුල් කර පිස්සෙකු මෙන් ඇවිද්දවයි. ඉගෙන ගන්නා කාලයේදී රාහු ග්‍රහයාගේ මහා දශාව ලැබුවොත් ඉගෙනීමට හානිකරයි. රාහු ග්‍රහයා මනුෂ්‍යයා ප්‍රකට භාවයට පත් කරයි. ලග්නයේ රාහු ග්‍රහයා සිටියදී උපන් තැනැත්තෝ කරනවාට වැඩි ප්‍රසිද්ධියක් උසුලයි.

රාහු ග්‍රහයා ඉදිරියට පැන ප්‍රසිද්ධිය ලබන්නට තැත් කරයි. රාහු ග්‍රහයා පස්සට යන්නාක් මෙන් ගණන් ගනී. රාහුගේ ගමන දවසකට කලා 03 කි. අවුරුද්දකදී අංශක 19 කලා 20 ක් යැයි රාහු ග්‍රහයාට රවුමක් යෑමට අවුරුදු 18යි මාස 07යි දින 13ක් ගතවේ.

රාහු ග්‍රහයා මිථුන, කන්‍යා, මේෂ, වෘෂභ, කටක සහ කුම්භ යන රාශි හයේදී ශුභපල දෙයි. රාහු හොඳ උනොත් හොඳට ම හොඳය.

රාහු ග්‍රහයා ඡායා ග්‍රහයෙක් යැයි මතයක් තිබේ.

කේතු ග්‍රහයා

කේතු ග්‍රහයා මිනිස් ඔළුව හා නයි කඳ ඇති සුදු ධූම වර්ණ ශරීරයක් ඇති, වණ කැළැල් ඇති, කෙට්ටු හිස ඔටුන්නක් පැලඳි රූපයකි.

නෙළුම් මල වාහනය කරගත්, පොත ආයුධය කරගත් වාසස්ථානයක් නොමැති නපුංශක, කෲර, ධූම සුදු වර්ණයෙන් යුත් කිසිම වංශයක් නැති, පිරිස නිලය කරගත් මත්ස්‍ය අවතාරයෙන් නියමිත දිශාවක් නොමැති ග්‍රහයෙක් වශයෙන් හඳුන්වාදිය හැකිය.

කේතු ග්‍රහයා ඥාන කාරක බැවින් ඉගෙනීම යහපත්ය. කේතු බුධ සමග හෝ ගුරු සමග සිටීම හොඳ ඥාන යෝගයකි. කේතු ග්‍රහයා සඳු සමග සිටීම ද ඥාන යෝගයකි. එහෙත් එසේ වූ කල සඳුගෙන් ලැබෙන සැප හානි කරයි. කේතු ග්‍රහයා ශනි ග්‍රහයා සමග සිටීම කල් පවතින දුක් දෙන රෝග සෑදීමේ ප්‍රවණතාවයකි. කේතු ග්‍රහයා සහ ශනි ග්‍රහයා යන දෙදෙනා එකම භාවයක සිටීනම් ඉතාම නරක වෙයි. තෙත් ගතිය වැඩි සීතල රෝග ද සාදයි.

නොයෙකුත් මත දරන කේතු ග්‍රහයා ග්‍රහ තරුවක් නොවේ. කේතු සම්බන්ධ නොයෙකුත් මත ඇත. පෘථිවියත්, පෘථිවියේ සෙවනැල්ලක් යැයි සමහරු පවසති. ඒ මතය රාහු කේතු දෙදෙනාටම ය. කේතු ග්‍රහයා ජ්‍යොතිෂ් ශාස්ත්‍රයේදී ඉතා බලවත්වෙයි.

කේතු හකුළුවන ග්‍රහයාය. අප්‍රසිද්ධ වශයෙන් ගෙදරට වී වාසය කිරීමට කැමැති ග්‍රහයෙකි. කේතු හඳුන්වා දී තිබෙන මිනිස් ඔළුවෙන් පෙන්නුම් කරන්නේ මිනිසා පිළිබඳ හොඳ දැනුමක් ලබාදෙන ඥානය ලබාදෙන ග්‍රහයකු බවයි. ඇවිදීමට කකුල් නොමැති හෙයින් එක තැනකට කර පොත පතට ඥානය දියුණු කරන දේට, ගුප්ත දේට හිත විහිඳුවයි. පිරිසිදුකම ඉතාම ඉහළින් සැලකුවත් ශරීරයේ හොරි, දද, කුෂ්ට, හම දූෂ්‍ය වීමේ අසනීප ආදිය ඇති කරයි. ස්ත්‍රීන් කෙරෙහි හිත පොළඹවයි. විරුද්ධකාරයන් නැත. මිත්‍රයින් වුවද ඇසුර අතේ දුරිනි. කලට වේලාවට කෑම්, බීම්, හා අනිත් සියලු සැප පහසුකම් බලාපොරොත්තු වෙයි. කරන ඕනෑම කාර්යයක් උඩින් පල්ලෙන් නොකර ඉතා හොඳින් කල්පනාකාරීව පරිස්සම් සහිතව මනා ඕනෑකමින් සිදුකරයි.

හොර රහසේ ස්ත්‍රීන් හෝ පුරුෂයින් සමග සම්බන්ධකම් පවත්වා රටෙත්, ලෝකයෙත් අවනම්බු, අපහාස, විඳීමට සිදුවේ. හොර වංචාකාරයෙකු, යටි උගුල් අටවන්නෙකු, බොරු සිල් කාරයෙකු ලෙස රටේ පැතිරේ. හිතේ චංචල ගතිය, භය, අවිශ්වාසය, සැකය ආදී නිසා පළපුරුද්දෙන් කරන දෙයක් වුවත් හරියාකාරව කිරීමට නොහැකිවේ. හිතෙන් දුක් විඳීමට සිදුවේ.

මේ මොන අයහපත් දේවල් සිදුවුවත් කේතු ග්‍රහයා බලවත්නම් රට ම පිළිගත් පණ්ඩිතයෙක් වෙයි. පොත්පත් හා හිත දියුණුවෙන අන්දමේ කටයුතුවලින්ද ගුප්ත දේවල්වලින්ද උසස් වන අතරම උසස් ඵල නෙළා ගත හැකිය. ගුරුහරුකම් ලබා ගැනීමට අන්‍යයන් තමා ළඟට පැමිණේ. අලුත් ගෙයකට වී සැපසේ පිරිසිදුව වාසය කළ හැකිය. යුක්තියෙන්, ධර්මයෙන් සාමාන්‍ය ජනයාට සේවය කළ හැකිය. මහජන ප්‍රසාදයට ලක්වේ. නම්බුව, ප්‍රශංසා, නිරායාසයෙන්ම ලැබේ. මිල මුදල් අතින්ද යහපත්වේ. එහෙත් හමේ රෝග, සෙම් අමාරු, පැපොල සරම්ප, නහර දුර්වලවීම, තුවාල, දද කුෂ්ට ආදී රෝග ඇතිකරයි. කේතු ග්‍රහයා සිංහ තුලා, වෘශ්චික, ධනු, මකර සහ මීන යන රාශිවලදී ශුභ ඵල දෙයි. කේතු ග්‍රහයා හොඳ උනොත් හොඳට ම හොඳයි.

කේතු ග්‍රහයා ඡායා ග්‍රහයෙක් යැයි මතයකි.

ග්‍රහ ලොවේ තොරතුරු බිඳක්

දේශමානය, ජ්‍යොතිෂව්‍යා විභූෂණ, ජ්‍යොතිෂවේදී,
උපාලි ආරියරත්න
ප්‍රදර්ශන මාවත,
අංක 26, දෙමටගොල්ල, උකුවෙල
දු:ක:- 077 9179162

advertistmentadvertistment
advertistmentadvertistment