ග්ලයිපොසෙට් තහනම ඉවත් කළ ගැසට්ටුව ගැසුවේ බහිරවයද?

596

නෑ මේක ගැහුවේ රෙජිස්ටාර් ඔහු තනතුරෙන් ඉවත් කළා – ඇමැති මහින්දානන්ද

මේක නීතිමය පටලැවිල්ලක් අපි ගැසට්ටුවක් ගැසුවේ නැහැ – පලිබෝධනාශක නියෝජ්‍ය රෙජිස්ටාර්

රජයේ තීරණයට පටහැනිව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කළ පළිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර්වරයා වහාම එම තනතුරෙන් ඉවත් කළ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 දා) පැවැසීය.

නැවත ග්ලයිෆොසෙට් තහනම පැනවීමේ ගැසට් නිවේදනය කරන බව පැවසූ ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

අපේ රජය පරිසර හිතකාමී කෘෂිකර්මය පිළිබඳ තීරණයක් ගෙන තිබෙනවා. එසේ තිබියදී පළිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර්වරයා ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරලා. මේක සම්පූර්ණ නීති විරෝධී කි‍්‍රයාවක්. ඒ නිසා එම පුද්ගලයා ඊයේම එම තනතුරෙන් ඉවත් කළා. ඒ වගේම ග්ලයිෆොසෙට් තහනම නැවත පනවන්නත් උපදෙස් දුන්නා.

මේ පුද්ගලයා මීට කලිනුත් රසායනික පොහොර ගෙන්වන සමාගමකට අවශ්‍ය පරිදි කෘමිනාශක ගෙන්වලා. ඒ ගැනත් විනය පරීක්‍ෂණ කි‍්‍රයාත්මක වෙනවා. ඔහු එක සමාගමකට පක්‍ෂව කැබිනට් පති‍්‍රකා තොරතුරු එවලා තිබෙන අයෙක්. මේ පුද්ගලයා තනතුරෙන් මේ වන විට ඉවත් කර තිබෙනවා.

ග්ලයිෆොසෙට් වල් නාශකය ඇතුළු මිනිස් සෞඛ්‍යයට දැඩිව බලපාන බව කියන තවත් පළිබෝධ නාශක හතරක් තහනම ඉවත් කරමින් තම ආයතනය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කර නොමැති බව පළිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලයේ නියෝජ්‍ය රෙජිස්ට‍්‍රාර් ලසන්ත රත්නවීර මහතා ප‍්‍රකාශ කළේය.

නොවැම්බර් 22 වැනිදා නිකුත් කර ඇති අංක 2255/5 දරන ගැසට් නිවේදනය පිළිබඳව අප කළ විමසීමේදී ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

ඉහත ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ තම රෙජිස්ට‍්‍රාර්වරයා විසින් බවට එහි දක්වා ඇතත් ඔහු විසින් හෝ කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් හෝ එවැන්නක් නිකුත් කර නොමැති බවත් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ කවුරුන්ද යන්න තම රෙජිස්ට‍්‍රාර් කාර්යාලයට තවමත් ප‍්‍රශ්නයක් බවත් නියෝජ්‍ය රෙජිස්ට‍්‍රාර්වරයා සඳහන් කළේය.

මේ පිළිබඳව සොයාබලා දින කිහිපයකින් තමන්ට කරුණු පැහැදිලි කළ හැකි බව සඳහන් කළ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ සාමාජිකයන් 15කින් සමන්විත පළිබෝධ නාශක තාක්‍ෂණික උපදේශන කමිටුවේ අනුමැතියකින් තොරව මෙවන් තීරණයක් නොගෙන ගැසට් නිවේදනයක් නිකුත් කළ නොහැකි බවයි. මෙම නිවේදනය නීතිමය කි‍්‍රයා මාර්ගයක එක් පියවරක් විය හැකි බවද ඔහු සඳහන් කළේය.

මේ පිළිබඳව කරුණු දැන ගැනීම සඳහා අප අවස්ථා කිහිපයකදීම පළිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර් ජේ. ඒ. සුමිත් මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.

මෙසේ පෙරේදා (22 දා* නිකුත් කර ඇති අංක 2255/5 දරන ගැසට් නිවේදනය මගින් තහනම ඉවත්කර ඇත්තේ 2014-12-22 සඳුදා අංක 1894/4 දරන ගැසට් නිවේදනය මගින් අනුරාධපුර, පොලොන්නරුව, කුරුණෑගල මොනරාගල දිස්ති‍්‍රක්ක 4 හා බදුල්ල දිස්ති‍්‍රක්කයේ මහියංගණය, රිදීමාලියද්ද සහ කන්දකැටිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ භාවිතය, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම තහනම් කරන ලද ග්ලයිෆොසේට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිෆෝස් හා කාබොෆියුරාන් නමැති වල්නාශක හා පළිබෝධ නාශක පස් වර්ගයයි.

කෙසේ හෝ නියෝජ්‍ය පළිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර්වරයා විශ්වාසය පළ කළේ එම තහනම් ලැයිස්තුවේ ඇති රසායනිකයක් තහනම ලිහිල් කිරීමට අදාළව ඊට පෙර පැරණි ගැසට් නිවේදනය පරිච්චින්න කිරීමේ නීතිපති දෙපාර්තමේන්තුවේ කි‍්‍රයාදාමයට අනුව මෙම පටලැවිල්ල සිදුවන්නට ඇති බවයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන, අනුර බාලසූරිය, ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment